ටී.එම්. ජයරත්න කියන ප්‍රවීණ ගායකයාගේ පුතු ලෙසින් පමණක් නොව ආදරණීය ළෙන්ගතු සහෘද සිත් ඇති කලාකරුවකු ලෙස ඔහු හඳුන්වාදීම ඔහුට කරන උපරිම සාධාරණය සේ මට හැඟේ. ඔහු
ඉසුරු ජයරත්න.
• ඉසුරු මගේම නොවන මගේම ගීතය තෝරන්න කීවොත් මොකක්ද ඔබ තෝරන සින්දුව?
ආසම ගීත දාහක් විතර අතුරින් හැමදාම අහද්දී හදවත සංවේදී වන ගීතයක් තමා යමුනා මාලනී පෙරේරා ලියූ සුනිල් එදිරිසිංහ ගායකයාණන් ගායන ඈත ඉඳන් එන්නී සෙල්ලි සෙල්ලියේ කියන ගීතය.
• සින්දු දාහක් විතර අතුරින් ඇයි ඒ ගීතය ඔබේ ප්‍රියතම ගීතය බවට පත්වුණේ?
ඒ ගීතය අහද්දී මම හරිම සංවේදී වෙනවා. සැබෑ බිරිඳකගේ ආධ්‍යාත්මයේ ගුණ සුවඳ ගැනම තමා ඒ ගීතයෙන් කියැවෙන්නේ. මම ඉස්සරෝම ඔය ගීතය ඇහුවේ මට වයස අවුරුදු 12 දී 13දී පමණ. ඒ වයසේදී මට ඒ ගීතයේ තනුව තමා හිතට හුඟාක් දැනුණේ. රෝහණ වීරසිංහ මහත්මයාගේ මනබඳින තනුවක් මේ ගීතය තුළින් ඇහෙන්නේ. කොහොමත් ගීතයක් අහද්දී මුලින්ම මගේ හිත යන්නෙ තනුවට. ඊළඟට තමා පද රචනයට හිත යන්නේ. ගැහැනුන් ගැන වර්ණනා ඕන තරම් තිබෙනවා කවි ගී සාහිත්‍යය තුළ. ඒත් මේ ගීතය ගැහැනියක් කරන කැපකිරීම, ඉවසීම මේ හැමදේම ගැන කියනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් පවුල වෙනුවෙන් ඈ දරන මහන්සිය ගැන කියනවා.
ඈත ඉඳන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්වියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙකරයි නුඹ රත්නවල්ලියේ
බලන්න ඒ පදවල තියෙන ශබ්ද රසය හා අර්ථ රසය.
• යශෝධරාව කියන්නේ පෙරදිග සංස්කෘතිය තුළ එදා මෙදාතුර ලෝකයේ ඉපදුන උත්තම කාන්තා චරිතයයි. එවැනි ගුණ යම් පමණක් හෝ ඇති බිරිඳක්, ගැහැනියක් මේ ගීතය තුළ හුස්ම ගන්නා බව දැනෙන්න තරම් සමීප අත්දැකීමක් ඔබේ ජීවිතයේත් තියනවද?
බාල ළමා කැළ යවලා ඉස්කෝලේ
ආල හිමිට දාසිව උවටැන් පෑයේ
විශාඛා නොවී දුවනා සඳ පාරේ
කාට පෙනෙයි නුඹ දුක් උහුලන තාලේ
හොඳ බිරිඳක්, සැබෑ බිරිඳක් කවදාවත් තමන්ට කන්න අඳින්න නැතිවුණත් තමන්ගේ ස්වාමියා දරුවන් වෙනුවෙන් ඒ සියල්ල දරා ගනිමින් තමන්ගේ සියලු යුතුකම් වගකීම් ඉටුකරමින් කවදාවත් තමන්ගේ ස්වාමියාගේ වරදක් සමාජයට නොකියමින් ඔහුට නින්දා අපහාස නොකරමින් ඔහුගේ ගරුත්වය රකිමින් සියල්ල දරා ගන්නවා. ඇගේ ඒ ශක්තිය හරි ප්‍රබලයි. ඇය දරන දුක ලෝකයාට නොපෙනෙන්න ඇය ලස්සනට හිනාවෙලා ලෝකයට මුහුණ දෙනවා. ඇත්තටම ඒ තමා උතුම් ගැහැනුකම් ඇති ගැහැනුන්ගේ ගැහැනුකමේ ස්වභාවය. එවැනි ගැහැනුන්ට මම ගරු කරනවා.
පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
බාල රන් ද පඬු පොවලා අඳින්නියේ
භීත රකුසු නෙත් සොඬ මඟ හරින්නියේ
රෑට පහන සේ යළි ගෙට වඩින්නියේ
මේ ගැහැනියට පළඳින්න ලස්සන ආභරණ නෑ. ඒත් ගැහැනියක් අඳින්න පළඳින්න ආසයි. ඒ ආසාව ඇය කැප කරගෙන මුළු ජීවිතයම තමන්ගේ දරුවන් වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් කැපකරනවා. කවදාවත් තමන්ගේ ස්වාමියා ඉක්මවා යන්නෙ නෑ. හිතුවිල්ලකින්වත් ඔහුට වරදක් නොකර පතිවත ආරක්ෂා කරනවා. ඇතුළත ගිනි පිටතට නොදී සැමියාගේ ගෞරවය ආරක්ෂා කරගෙන වෙසෙන සැබෑ මව්වත් ගුණ ඇති මෙහෙම ගැහැනියක් ඉන්න තැනදී ගෙදර දෙවඟනක් ඉන්නවා හා සමානයි. ඒත් යථාර්ථය තුළ මෙවැනි ගුණ ඇති ගැහැනුන් විරලයි. හැබැයි මෙවැනි ගුණ ඇති ආදරණීය ශක්තිමත් බිරිඳක් මට ඉන්නවා.
• මේ ගීතයේ ඔබ කැමැතිම පද පේළිය කුමක්ද?
රූට පහන සේ යළි ගෙට වඩින්නියේ.... මේ පද පෙළට මම හුඟාක් ආසයි. දුක් කරදර කන්දක් පොදි බැඳගෙන හිටියත් ඇය තමයි ගෙදර කළුවරට පහනක් වෙලා දැල්වෙන්නේ. හැම උතුම් බිරිඳකටම විශාල උපහාරයක් ලෙස මම මේ ගීතය දකිනවා.
• මේ ගීතය ගැන ඔබ ඔබේ ආදරණීය බිරිඳ එක්ක කතා කරලා තියෙනවද?
අපි දෙන්නා ආසා හුඟාක් ගීත අපි එකට අහනවා. ඒ අහද්දී මේ ගීතය අපි දෙතුන් වතාවක් අහනවා. එහෙම අහද්දී අපේ ඇස්වලට කඳුළුත් එනවා. ඇත්තටම මේ ගීතය අහද්දී එයයි මමයි කොයිතරම් සංවේදී වෙනවද කිව්වොත් ඇස්වල කඳුළු පිරෙද්දී අපි දෙන්නා අත්දෙක අල්ලා ගන්නවා. අපි දෙන්නා ආවේ මල් පිපිණු පාරකම නොවෙයි. ඕන තරම් බාධක කම්කටොලු අපිට හමුවෙලා තියෙනවා. ඒත් ආදරයේ ශක්තිය හරි ප්‍රබලයි. ඒ නිසා තමා මට මගේ බිරිඳ ගැන මෙතරම් සුබවාදීව සුන්දර හැඟීමකින් කතා කරන්න පුළුවන් වුණේ. දුක් ගැහැට මැද අපි පහුකරගෙන ආව ගමන මතක් වෙනවා. මේ ගීතය මගේ ජීවිතයට හරි සමීපයි.
• මේ ගීතය ගැන බිරිඳ හැර වෙන කෙනෙක් එක්ක ඔබ කතා කරලා නැද්ද?
නැහැ... කතා කරලා නැහැ... හැබැයි වේදිකාවකදී මේ ගීතය ගයන්න ලැබුණොත් මම හරිම ආසාවෙන් මේ ගීතය ගායනා කරනවා.
• බිරිඳ ගැන මෙවන් අනුභූතියක් ඔස්සේ ලියැවුණු ගීතයත් ගීත රචකයෙක් ඔබට ලියා දුන්නොත් ඔබ කැමැතිද ඒ ගීතය ගයන්න?
හරිම කැමතියි. මම විශ්වාස කරනවා කලාකරුවෝ සමාජයේ අත නොගසපු කතා නොකරපු දේවල් ස්පර්ශ කරමින් ඒවා අභ්‍යන්තරයට කිඳා බහින්න ඕනෑ තමන්ගේ නිර්මාණ ඔස්සේ. ආදර ගීයකට වඩා සමාජ මෙහෙවරක් වගේ මෙවැනි ගීයක් ගයන්න මම ඇත්තටම ආසයි.
• ටී.එම්. ජයරත්න, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ වැනි පරම්පරාවලින් පසු පරම්පරාවක කලාවේ රැඳුණු කෙනෙක් තමා ඔබ. නව පරපුරට ඔබ රසවින්දනය ගැන කියාදෙන සිද්ධාන්ත මොනවාද?
ඉතාමත් දක්ෂ පුළුල් රසවින්දන පරාසයක් ඇති අය නව පරපුරේ ඉන්නවා. තරුණ පිබිදෙන පරපුරට මම කියන්නේ සාහිත්‍යෙයන් දුරස් වෙන්න එපා. සාහිත්‍ය රසය ස්පර්ශ කරන්න. රසවින්දනයට දොර කවුළු ඇරෙන්නෙ එතැනින්. පොත්පත් කියවන්න. තාක්ෂණය පසුපස විතරක් දුවන්න එපා. රැලි පසුපස යන්නන් වාලේ නොයා බුද්ධියෙන් හැඟීමෙන් අරමුණක් ඇති ගමනක් යන්න. නිර්මාණ කරන සංඛ්‍යාව නොවෙයි වැදගත්. ඒවායේ වටිනාකමයි වැදගත් කියන එක හිතන්න.
ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්වියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙකරයි නුඹ රත්නවල්ලියේ
බාල ළමා කැළ යවලා ඉස්කෝලේ
ආල හිමිට දාසිවැ උවටැන් පෑයේ
විශාකා නොවී දුවනා සඳ පාරේ
කාට පෙනෙයි නුඹ දුක් උහුලන තාලේ
පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
බාල රන් ද පඬු පොවලා අඳින්නියේ
භීත රකුසු නෙත් සොඬ මඟ හරින්නියේ
රෑට පහන සේ යළි ගෙට වඩින්නියේ