අද තනිකඩයා විශේෂාංගය හැඩ කරන්නේ වේදිකාව, සිනමාව හා පුංචි තිරය ජයගත් ප්‍රවීණ රංගන ශිල්පීනී මාලි ජයවීරගේ.
තනිකඩව ගෙවන මේ ජීවිතය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
මේ වගේ තනිකඩව ඉන්න මම ගොඩාක් පින් කරලා තියෙනවා කියලයි මම හිතන්නෙ. ඒ ගැන මම මහා පරිමාණයෙන් සතුටු වෙනවා.
ඔබ අවිවාහකව ඉන්න තීරණය කළේ තරුණ වියේදීමද?
අවිවාහකව ඉන්න මම ඒ කාලේ තීරණය කරගෙන හිටියෙ නැහැ. මට මතකයි ඉස්සර අම්මට කියනවා අවුරුදු 25 වෙනකොට කොහොම හරි මාව බන්දලා දෙන්න කියලා. මට ඕනකම තිබුණෙ අවුරුදු 25දී බැඳලා අවුරුදු 50 දී මගෙ දරුවො බන්දලා දෙන්න. මම ඇත්තටම විවාහයක් වෙනුවෙන් ලෑස්ති වුණා. ඒ කාලෙ ගෑනු ළමයිනෙ දෑවැදි එකතු කළේ. තමන්ට අවශ්‍ය රත්තරන් බඩු හදාගන්නවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු එකතු කරගන්නවා. මමත් ලොකු දෑවැදි පෙට්ටියකට බඩු මුට්ටු එකතු කළා. බෝතලේට දාන පුනීලයක් පවා මම අරගෙන තිබුණා. ඒ දෑවැදි පෙට්ටියේ මිනිහෙක් හැර ගෙදරට ඕනකරන හැම දෙයක්ම තිබුණා. අම්මලට මම කිව්වා සේරම ලෑස්තියි, හොඳ කෙනෙකුට බන්දලා දෙන්න කියලා. මට බිරිඳක් වෙන්න නෙවෙයි ඕනකම තිබුණෙ. මට අවශ්‍ය වුණේ අම්මා කෙනෙක් සහ ගෘහණියක් වෙන්න.
ඉතිං මනමාලයො ආවද ඔයාව බලන්න?
ඔව්. ගොඩක් ආවට මට හරි ගියේ නැහැනේ. ඒ කාලෙ අපේ ගෙදර 10.30, 3.30 ෂෝ දෙකක් වගේ දවස ගාණෙ මනමාලයො කට්ටි දෙකක් එනවා මාව බලන්න. අපේ අයියා දැන් කියනවා ඒ කාලෙ කෙසෙල් වත්තක කෙසෙල් කැන් කැව්වලු මාව බලන්න ආපු මනමාලයන්ට. ඒ වුණාට මොකක් හරි මගේ පිනකට ඒවා හරිගියේ නැහැ.
ඔයාගේ හිත ගිය කෙනෙක් හිටියෙ නැද්ද?
එහෙම තැන් තිබුණා. ඒත් මගේ හිත ගියේම නොගැලපෙන තැන්වලට. එක්කෝ මට වඩා වයසින් අඩු කෙනෙක්. නැත්නම් වෙන ප්‍රශ්නයක්. අපේ පන්සලේ හාමුදුරුවොත් මගේ වෙලාව බලලා අම්මට කියලා තියෙනවා එයාට බල කරන්න එපා, එයා කැමති වුණොත් විතරක් කරලා දෙන්න කියලා.
තනිකඩ ජීවිතය නිසා ඔබට තනිකම දැනෙන වෙලාවල් නැද්ද?
මට කලා ක්ෂේත්‍රයට ආවට පස්සේ රත්තරන් යාළුවො ටිකක් හම්බවුණා. ලංකාවේ වේදිකාව තුළ ඉහළින්ම ඉන්න කලාකරුවො රැසක් මට මුණගැසුණා. ඒ ගොල්ලො ආදරයත් එක්ක මට රුකවරණය දුන්නා. ඒ ගොල්ලො කවදාවත් පුහුණුවීමක් ඉවරවෙලා අපිව තනියම ගෙදරට එව්වේ නැහැ. ඒ ගොල්ලන්ට අද වගේ වාහන තිබුණෙ නැහැ. අඩුම ගානෙ බයිසිකලයක්වත් තිබුණෙ නැහැ. ඒ ආදරය හා රැකවරණය අපේ කාලෙ අය වැරදි විදිහට පාවිච්චි කළේ නැහැ. ඒ යාළුකම් නිසා මම තාම තනිකඩයි කියලා හිතෙන්නෙ නැහැ. ඒ වගේම මගේ පවුල ඇතුළෙනුත් ආදරය මහා පරිමාණයෙන් ලැබෙනවා. සහෝදර සහෝදරියන්ගෙ පවුල්වල හැමෝමත් මට ඒ ආදරේ දෙනවා.
තනිකඩකම ගැන දුකක් දැනිලා නැද්ද?
දුකක් නම් නැහැ. ඒත් මඟුල් ලෙවල්වල කපල් එකත් එක්ක විවාහක ජෝඩු පින්තූර ගන්න වෙලාවට හිතෙනවාමම තනිකඩයි නේද කියලා. ඒ වෙලාවට මට හිනා යනවා.
අවිවාහක අය දිහා සමාජය දකින කෝණය ගැන මොනවද හිතන්නෙ?
ඉස්සර නම් ඒක තදබල විදිහට තිබුණා. අපේ නෑදෑයො මගේ විවාහය ගැන අම්මගෙන් අහනකොට මාව මාතෘකාවක් වෙන නිසා මම සමහර මඟුල් ගෙවල්වලට නොගිහින් හිටියා. පස්සෙ මම ඒ නෑදෑයින්ගෙන් ඇහුවා ඇයි ඕගොල්ලො මම බඳින දවසට මට මොනවා හරි දේපලක් ලියලා දෙන්නද ඉන්නෙ කියලා.
ඉතින් ඔයාගෙ අර දෑවැදි පෙට්ටියට මොකද වුණේ?
මගේ සහෝදර සහෝදරියො බඳිනකොට ඒ දෑවැදි පෙට්ටිය හිස් වුණා ටික ටික බෙදලා. මම ඒක බෙදුවෙ කිසිම ලෝබකමක් නැතුව හරිම සතුටින්.
ඔබ අවිවාහක වීම ගැන අම්මා දුක් වුණාද?
මට හොඳ කෙනෙක් හොයලා දෙන්න අම්මා ගොඩාක් මහන්සි වුණා. ඒවා හරිගියේ නැහැයි කියලා එයා මට එක හිත රිදෙන වචනයක්වත් කියලා නැහැ. අද අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ. අම්මා නැති වෙනකම් එයාව බලාගත්තෙ මම. මම මේ ලෝකෙට එන්න ඇත්තෙ ඒ වෙනුවෙන් කියලා තමයි මට දැන් හිතෙන්නෙ. ඒක මම අකුරටම ඉටුකළා. අන්තිමට අම්මා මට කිව්වෙ මම නොබැඳ හිටිය එක ලොකු දෙයක් කියලා. ඒ තමයි මම අහපු වාසනාවන්තම වචන ටික.
අම්මට අයිති හැම දෙයක්ම එයා නැතිවෙන්න කලින් දරුවන්ටයි, සහෝදර සහෝදරියන්ටයි බෙදලා දුන්නා. මට මොකුත් නැහැ. මට ඕනෑ වුණෙත් නැහැ. සමහරු අම්මගෙන් ඇහුවා මාලිට මොනවද දුන්නෙ කියලා. අම්මා කිව්වා එයාට වෙන මොකුත් ඕනෙ නැහැ. එයා කරපු පින් ටික හොඳටම ඇති කියලා. දරුවො අම්මලට දෙන්න ඕනෙ ආදරය විතරයි.
දැන් හිතමුකො ඔයාට අවුරුදු 25යි කියලා. විවාහය ගැන ඔයාගෙ අදහස මොන වගේ වේවිද?
ආපස්සට මම අවුරුදු 25ට ගියොත් මම ප්‍රාර්ථනා කරන්නෙ මේ මොළේම මට ලැබියන් කියලා තමයි.