2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

බිත්තරයක් හින්දා පැයක් තරහවෙලා හිටියා.....

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

මෙදා සැරේ My Pet ගැන සුන්දර කතාවකට අපි සමඟ එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ තමා අපි කවුරුත් දන්නා 
දමිතා අබේරත්න.

• දමිතා කියමුකෝ අපිට ඔබේ සුරතලා කවුද කියලා?
මගේ ළඟ ඉන්නේ බල්ලෝ දෙන්නෙක්.

• ඇයි ඔබ බල්ලන්ට විතරක් ප්‍රිය කරන්නේ?
මම පොඩි කාලේ ඉඳන් හැම සතෙකුටම ආදරේ කරනවා. අනික මම නිර්මාංශ කෙනෙක්. ඇත්තටම කිව්වොත් මස් රහක්වත් මම කොහොමද කියලා දන්නේ නෑ. එහෙම වෙලා තියෙන්නේ සත්තුන්ට මම ආදරේ නිසා. මම දැඩිව විශ්වාස කරනවා. අපි හුස්ම ගන්නවා වගේම සතුන්ටත් හුස්ම ගන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය විනාශ කරන්න කිසිසේත් අයිතියක් අපිට නෑ කියලා මම විශ්වාස කරනවා. හැබැයි මම බල්ලන්ට කැමති බල්ලා තමා මිනිසාට ළඟම හිතවතා. ඒක නිසා මම බල්ලන්ට ටිකක් වැඩිපුර කැමැතියි. ඒ වගේම බල්ලන් හදනකොට වෙන සතෙක් හදන්න අමාරුයි. ඒක සත්තු හදන අය දන්නවා.

• අපි ආසයි ඔබ ළඟ ඉන්න සුරතලුන් දෙන්නා ගැන විස්තර දැනගන්න.
එක්කෙනෙක් බන්ටි. අනිත් කෙනා වින්සි. බන්ටි තමා මල්ලි. වින්සි කියන්නේ අක්කිට. මල්ලි බබාට අවුරුදු 3යි. අක්කි බබාට අවුරුදු 7ක් වෙනවා. අපිට මෙයාලා දෙන්නව දරුවෝ දෙන්නෙක් වගේ. මෙයාලා දෙන්නට පොඩ්ඩක්වත් සැරකරන්න බෑ. බැරිවෙලාවත් සැර කළොත් පැයකට දෙකට යාළු කරගන්න වෙන්නේ නෑ. මම උදේට නැගිටපු ගමන් කරන්නේ මෙයාලා එක්ක සෙල්ලම් කරන එක. ඊටපස්සේ සෙල්ලම් කරලා ඉවර වුණාට පස්සේ මම ඉඳගන්න පුටුවක් තියෙනවා. අපේ මල්ලි බබා කරන්නේ සෙල්ලම් කරලා හති වැටුණහම මාව ඇදගෙන ඇවිත් ඒ පුටුවේ ඉන්දවනවා. ඊටපස්සේ එයා මගේ කකුල් දෙක ඉස්සරහට එනවා. අක්කි බබා විලුඹ පැත්තට හේත්තු වෙලා මහන්සි යවනවා. ඔහොම තමා මම එයාලා එක්ක දවස ගෙවන්නේ. අනික මම කියන්නම ඕනේ මම මොනතරම් ප්‍රශ්නෙක හිටියත් මෙයාලා දෙන්නත් එක්ක ගෙවන වෙලාවට සියලු ප්‍රශ්න නැතිවෙනවා. ඔය වගේ දේවල් තමා මෙයාලාගේ විස්තර.

• දමිතා ඔබ ළඟ සිටින බල්ලන් දෙදෙනාගේ වර්ගය මොකද්ද?
බන්ටි ගෝල්ඩන් රිට්රිවර් කෙනෙක්. වින්සි ශිට්සු කෙනෙක්.

• බන්ටි සහ වින්සි කරපු අමතක නොවන සිදුවීම් ඇති නේද? කියන්නකෝ ඒ සිදුවීම ටිකක් අපිට?
හැම දවසකම අමතක නොවන සිදුවීම් තමා මෙයාලා කරන්නේ. ඒ තරම් දේවල් තියෙනවා. ඊයේ පෙරේදා දවසක මල්ලි බබාගෙන් හොඳ අමතක නොවන සිදුවීමක් වුණා. ගෙදර බිත්තර හදනවා නම් ඒ දෙන්නට වෙනම බිත්තර දෙකක් හදනවා. ඒ දෙන්නට දුන්නේ නැත්නම් බේරුමක් වෙන්නේ නෑ. අපේ අම්මිටයි මගේ මහත්තයටයි බිත්තර හදලා දෙනකොට මල්ලි බබා කුස්සියට දුවගෙන ආවා. එතකොට මම කිව්වා මල්ලි බබා ඔයා දැන් කෑවා. ඒ නිසා ඔයා කරදර කරන්න එපා බිත්තර ඉල්ලලා. ඔයා දැන් කෑවා විතරයි කියලා. මම ඒක කිව්වේ කුස්සියේ ඉඳන්. අම්මි TV එක බල බලා සාලෙට වෙලා හිටියේ. මල්ලි බබා එතනට ඇවිල්ලා හයියෙන් හුස්මක් යවලා ගෙදර සාලේ බිම වැටුණා කියලා අම්මි කිව්වා. මම අම්මිගෙන් ඇහුවා ඇයි ඒ කියලා. අම්මි කිව්වේ අර මම සැරින් කතා කරපු නිසා වෙන්න ඇති කියලා. එදානම් මට පැයකට වඩා කාලයක් ගියා එයාව යාළු කරගන්න. ඔන්න ඔය වගේ සිද්ධි ගොඩක් තියෙනවා. ඒ වගේම අක්කි බබාගෙත් තියෙනවා. අක්කි බබා නාන්න යන්න පොඩ්ඩක්වත් කැමති නෑ. එයාට (න) යන්න කිව්වොත් ඇති එයා ගිහිල්ලා හැංගෙනවා. මේ ළඟදි අම්මි ඉස්සරහ සැටි එකේ ඉඳන් කිව්වා පුළුවන් නම් ගන්න ට්‍රයි එකක් දෙන්න කියලා. මෙයා හිටියේ සැටි එක යට. මම එයාට කතා කරා එන්න පුතේ අක්කි කියලා කිව්වා විතරයි සැටිය වටේ රවුම් තුනක් විතර දිව්වා. අපි කට්ටියටම හිනා. ඔය වගේ දේවල් තමා මෙයාලගේ අමතක නොවන සිදුවීම්.

• ඔබට කොහොමද මේ දෙන්නව හම්බවුණේ?
මට බන්ටිව හම්බවුණේ තයිනිගෙන්. තයිනි ළඟ බල්ලෝ ගොඩක් ඉන්නවා. එයා තමා මට බන්ටිව දුන්නේ. බන්ටි ගේන්න කලින් මගේ ළඟ තව බල්ලෙක් හිටියා. එයාගේ නමත් බන්ටි. එයා මැරුණා. අපේ අම්මි එයාව ගොඩක් ආදරෙන් හැදුවේ. එයා නැතිවුණාට පස්සේ අපේ අම්මිට ECG වැඩිවුණා. අඩුවුණේම නෑ. ඊටපස්සේ මම තයිනිට කීවා බලන්නකෝ අපේ බන්ටි නැතිවුණ දවසේ ඉඳන් අපේ අම්මිගේ ECG අඩු වෙන්නේ නෑ. එයා ගැනමයි කියවන්නේ කියලා. ඊටපස්සේ තයිනි මට කිව්වා මම ගාව ඉන්නවා බල්ලෝ ඔයා ඇවිල්ලා එක්කෙනෙක් අරන් ගිහිල්ලා බන්ටි කියලාම අම්මාට දෙන්න කියලා. ඒත් මම එයාට කීවා ආයෙ නම් මම බල්ලෝ ගේන්නේ නෑ. හිතට ගොඩක් දුකයි කියලා. ඔහොම ටික කාලයක් ගියත් අම්මිගේ ECG නෝමල් වෙන්නේම නෑ. ඊටපස්සේ මම තයිනිට කිව්වා මම ඇවිල්ලා ඔයාගේ බල්ලන්ව බලන්නද කියලා. එයා කිව්වා එන්න කියලා. මම යනකොට එතන බලු පැටව් 7යි හිටියේ. මම ඔක්කොම අතගාලා අතගාලා ඉද්දි බන්ටි බබා ඇවිල්ලා මගේ කකුලේ වෙළුනා. ඊටපස්සේ මම තයිනි නංගිගෙන් ඇහුවා. මෙයාව අරගෙන යන්නද කියලා. තයිනි ඊටපස්සේ කිව්වේ ඔයාට කැමති කෙනෙක් අරන් යන්න අක්කි කියලා. ඔන්න ඔහොම තමයි බන්ටි බබා ගෙදරට ආවේ. ඊටපස්සේ තමා මගේ අම්මගේ ECG එක නෝමල් වුණේ. වින්සි බබාව දුන්නේ ගයේෂා පෙරේරා.

• මෙයාලාගේ උපන්දින එහෙම සමරනවාද?
ඔව්. උපන්දින සමරනවා. ඒ වගේම මගේ ළඟ හිටපු නැතිවුණ හැම සුරතලෙකුටම එයාලා නැතිවුණ දවසට දානයක් දෙනවා. ඒ වගේම නැතිවුණ හැම සතෙකුටම පාංශුකූලයක් දෙනවා. හාමුදුරුකෙනෙක් වඩම්මලා බණ කියවනවා. මොකද එයාලා දරුවෝ වගේ අපිත් එක්ක ඉඳලනේ යන්නේ. ඒ නිසා කරන්න පුළුවන් හැමදේම මම මෙයාලා වෙනුවනේ කරනවා.

• දමිතා ඔබ කාර්යබහුල කෙනෙක්. ඔබට ඇති කාර්යබහුලත්වයත් සමඟ කොහොමද ඔබ සුරතලුන් ගැන බලන්නේ?
මොන වැඩේට ගියත් මෙයාලව අමතක කරන්නේ නෑ. කොච්චර කාර්යබහුල වුණත් මෙයාලත් එක්ක ඉඳලා තමා යන තැනක යන්නේ. අපේ අම්මි කියනවා මම කොහේ හරි යනකොට මෙයාලා දෙන්නා ජනේලේ ළඟට වෙලා ගොඩක් වෙලා බලන් ඉන්නවා කියලා. සමහර දවස්වලට මම උදේම වැඩවලට ගියොත් රූට ඇවිල්ලා හරි මෙයාලත් එක්ක ටික වෙලාවක් හරි ඉඳලා තමා නිදියන්න යන්නේ. මේ දවස්වල නම් එයාලා ගොඩක් සතුටින් ඉන්නේ. මොකද මම ගෙදරමනේ ඉන්නේ. අනික අපේ අම්මි පැය 24ම ගෙදර ඉන්නේ. ඒක නිසා මම කොච්චර කාර්යබහුල වුණත් මෙයාලව අමතක කරන්නේ නෑ.

• ඔබ ඇති කරන්න කැමති හොඳ වර්ගයේ සතුන් විතරද?
එහෙම එකක් නෑ. මම මුලින්ම හැදුවේ සාමාන්‍ය බල්ලෙක්ව. එයා දැන් නැතිවෙලා. අම්මයි මමයි පාරට බැස්සොත් අපේ පිටිපස්සෙන් වැඩිපුරම එන්නේ සත්තු. මොකද මමයි අම්මයි පාරේ ඉන්න සතුන්ට කෑමදෙනවා. සමහර දවස්වලට රූට පාරේ ඉන්න බල්ලෝ අපේ ගෙදර ළඟට ඇවිල්ලා ඉන්නවා අපි කෑම දෙනකම්. ඒ නිසා මම කවදාවත් හොඳ වර්ගයේ අයට විතරක් සලකන කෙනෙක් නෙවෙයි. හැම සතෙකුටම එක වගේ ආදරය කරන කෙනෙක්.

• ඔබගේ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මමයි අම්මයි මෙයාලාව වඩාගන්නවා. හුරතල් කරනවා. හැබැයි එයා එහෙම කරන්නේ නෑ. ඒත් එයත් ගොඩක් ආදරෙයි. මල්ලි බබයි, අක්කි බබයි එයාගේ කකුල් දෙක ළඟ වැටිලා ඉන්නවා. හැබැයි ඇඟට නගින්නේ නෑ. බන්ටිටයි, වින්සිටයි අසනීපයක් වුණොත් එයා තමා ඉස්සෙල්ලාම බෙහෙත් ගේන්න අරන් යන්නේ.

• ඔබ වගේ සුරතලුන් හදන්න ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?
සතෙක් හදන එක මනසට ලොකු සහනයක්. සතෙකුට ආදරය දක්වන එකෙන් අපේ සිතුවිලි හරි පිවිතුරු වෙනවා. අපේ ලෝකෙටම ආදරයක් ඇතිවෙනවා. ඒ කියන්නේ සතෙකුට ආදරේ කරන වෙලාවට අපේ සියලුදේ අමතක වෙනවා. එතකොට ඒ සියලු දේ මේ විශ්වයට එකතු වෙනවා. එතකොට මේ ලෝකයම ලස්සන වෙනවා. ඒක නිසා මම කියන්නේ ඔයාලත් පුළුවන් තව සතුන්ට ආදරය කරන්න. කෑම බීම දෙන්න. ඒක ලොකු පිනක්.