මේ සති අන්තයේ My pet ගැන කතා කරන්න අපි සමඟ එකතු වන්නේ ඔබ අපි කවුරුත් දන්නා ගායන ශිල්පිනියක් සහ ගුරුවරියක්.. ඒ තමයි අනුරාධා නන්දසිරි.
අනුරාධා ඔබේ සුරතලා කවුද?
මම පොඩිම කාලේ අපේ ගෙදර සතුන් ගොඩක් ඉඳලා තියෙනවා. හාවෝ, ඉබ්බෝ, මාළු වගේ ගොඩක් අය ඉඳලා තියෙනවා. ඒ වුණාට පවුලේම සාමාජිකයෝ වගේ අදටත් ඉන්නේ පූසෝ සහ බල්ලෝ විතරයි.
ඔබ ළඟ දැනට පූසෝ බල්ලෝ කී දෙනෙක් ඉන්නවාද?
දැන් මම ළඟ ඉන්නවා පූසෝ 9 දෙනෙක් සහ එක බල්ලෙක්. මෙයාලාට වඩා හිටියා. එයාලා වයසට ගිහින් නැතිවුණා. තවත් කට්ටිය පැනලා ගිහිල්ලත් තියෙනවා.
අපි ආසයි දැනගන්න එයාලගේ නම්?
චුක්කි, චුක්කි 2, කෝපි, මල්ටි, සුකී, බිහිරන්ති තමයි පූසෝ කට්ටිය. බල්ලගේ නම තමයි කලුනි. එයා ගැහැනු සතෙක්. මම කලින් එයාට නම දාලා තිබ්බේ කලූ කියලා එයා කළු පාට නිසා. ඒත් මෙයා ගැහැනු සතෙක් නිසා මගේ මහත්තයා කිව්වා කලූ කියන්න එපා කලුනි කියලා නම දාමු කියලා. ඉතින් දැන් එයා කලුනි.
දැනට ඔබ ළඟ සිටින සතුන්ගෙන් ඔබ ගොඩක් ආදරය කරන හෝ විශේෂත්වයක් දක්වන කෙනෙක් ඉන්නවාද?
එහෙම විශේෂ කෙනෙක් නෑ. මම ඔක්කෝටම එක වගේ ආදරෙයි. එක එක අය එක එක විදිහට තමා හැසිරෙන්නේ. දැනට මම ළඟ ඉන්න අයගෙන් වැඩිමල්ම කෙනා මට ටිකක් විශේෂයි. හැබැයි මම හැමෝටම එක වගේ තමා ආදරේ කරන්නේ.
අපි ආසයි දැනගන්න දැනට ඔබ ළඟ ඉන්න වැඩිමල්ම සුරතලාගේ වතගොත?
එයාගේ නම චුක්කි. එයාට දැනට අවුරුදු 15ක් වෙනවා. එයාව මම ගෙනාවේ එංගලන්තයෙන්. මම විවාහවෙලා එංගලන්තයේ ජීවත්වෙන කාලයේ තමා මට මෙයාව හම්බවුණේ. මම පොඩි කාලේ ඉඳන් ගොඩක් සතුන් හදපු කෙනෙක්. ඒත් අපි එංගලන්තයට ගියාම අපි ළඟ හුරතලයට කවුරුත් හිටියේ නෑ. මම හරි පාළුවෙන් හිටියේ. ඔහොම ඉන්නකොට මාත් එක්ක එකට වැඩ කරන යාළුවෙක් හිටියා ඇමෙන්ඩා කියලා. එයා ළඟ පූසෝ ගොඩක් ඉන්නවා. එයා මට කීවා මම ඔයාට එක පූස් පැටියෙක් දෙන්නම් කියලා. එහෙම තමා එයා අපි ළඟට ආවේ.
අනුරාධා.. ඔබ චුක්කිගේ උපන්දිනය එහෙම සමරනවද?
චුක්කිගේ උපන්දිනය ඔක්තෝබර් මාසයේ තමා තියෙන්නේ. ඒත් එහෙම සමරන්නේ නෑ. මම දැකලා තියෙනවා විවිධ සමාජ මාධ්‍යවල කේක් කපලා විවිධ ආකාරයට සතුන්ගේ උපන්දින සමරනවා. ඡායාරූප දාලා තියෙනවා. ඒත් මම නම් එහෙම කරලා නෑ. හැබැයි ලන්ඩන් ඉන්න කාලේනම් චුක්කිගේ උපන්දිනය දවසට ඒ අවට ඉන්න පූසන්ට Pets foods එහෙම දාලා එනවා. ඒකට අමතරව නම් කිසිම දෙයක් කරලා නෑ.
කාර්යබහුලත්වයත් එක්ක මෙයාලා ගැන අවධානය යොමු කරන්න ඔබට පුළුවන්ද?
මම මොන වැඩේ තිබුණත් මෙයාලා ගැන බලන්න වෙලාව වෙන්කරගෙන තියෙන්නේ. අපි හතර දෙනාම කොහේ හරි යනවානම් සකුන්තලා පුංචි හරි නන්දනී ඇන්ටි හරි මෙයාලව බලාගන්න එනවා. එයාලත් සතුන්ට ගොඩක් ආදරේ කරන අය. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ මෙයාලව හදන්න. ඒ වගේම මට මොන රාජකාරිය තිබුණත් මම උදේම නැඟිටපු ගමන් කරන්නේ මෙයාලා ඔක්කොටම කෑම දෙන එකයි. ඊටපස්සේ එයාලා කෑම කාලා ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. ලංකාවේ වගේ නෙවෙයි එංගලන්තයේ නීතිය අනුව අපි සුරතලුන් හදනවානම් එයාව ලියාපදිංචි කරන්නම ඕනෙ. අපිත් ඉතින් ගිහින් චුක්කිව ලියාපදිංචි කළා. මට කියන්න ඕනෙම කතාවක් තියෙනවා. චුක්කිව ලියාපදිංචි කළාට පස්සේ එයාට එන්නත් දෙන්න ඕනෙ. අවුරුද්දක් පාසා එන්නත් දෙන්න ඕනෙ. අපි චුක්කිව ලියාපදිංචි කරපු තැනින් සෑම අවුරුද්දකම අපිට තැපෑලේ කාඩ් එකක් එවනවා. මෙයාගේ නම චුක්කිනෙ. එතකොට මෙයාගේ අයිතිකරු මමනෙ. ඉතින් අර තැපෑලේ එන කාඩ් එක එන්නේ (To Chukki Nandasiri care of Miss Anuradha Nandasiri) කියලා. එයාලා අයිතිකරුගේ වාසගම දානවා හුරතලාටත්. එයාලා එවන කාඩ් එකේ තියෙන්නේ චුක්කිට ඊළඟට දෙන්න තියෙන බෙහෙත්” විටමින්, එන්නත් ගැනයි. ඔන්න ඔය වගේ රස කතා ගොඩක් තියෙනවා.
අනුරාධා.. ඔබගේ ස්වාමිපුරුෂයාගේ විරුද්ධත්වයක් නැද්ද සතුන් හදනවට?
එයත් සතුන්ට ගොඩක් ආස කරන කෙනෙක්. අපිට ගෙදරක ඇතිකරන්න පුළුවන් පූසෝ, බල්ලෝ, මාළු වගේ සතුන් විතරනෙ. ඒත් මෙයා කබරගොයි, තලගොයි, සරපයෝ වගේ සතුන්ටත් එක විදිහටමයි ආදරේ කරන්නේ. මේ දවස්වල ඇඳිරිනීතියත් එක්ක අපි හැමෝම ගෙදරනෙ ඉන්නෙ. ඉතින් මගේ සැමියා අපේ ගෙදර බැල්කනියේ වට්ටියක් තියලා පළතුරු ජාති, කෑම ජාති ඒකට දානවා. එතැනට කෑම කන්න කුරුලු ජාති ගොඩක් එනවා. සමහර කුරුල්ලන්ගේ නම්වත් අපි දන්නෙ නෑ. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නෙ. තව දෙයක් තමා.. එතනට එන හැම සතෙක්ම කෑම කන්න එන්නෙ එක එක වෙලාවට. ඉතින් මගේ සැමියා හොඳට දන්නවා ඒ ඒ වෙලාවට එන්නේ මොන සතාද කියලා. ඒ නිසා මට කියන්න ඕනෙ වුණේ මගේ ස්වාමිපුරුෂයා සතුන් හදනවාට කිසිම විරුද්ධත්වයක් නෑ කියන එකයි.
ඔබ වගේම සතුන්ට ලැදි, සතුන් ඇතිකරන අයට සහ ඇතිකරන්න ඉන්න අයට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද?
බල්ලෙක් හරි පූසෙක් හරි හදනවානම්, අසරණවෙලා ස්වාමියෙක් නැතිව දුක් විඳින කෙනෙක් අරන් හදනවානම්, ඒක ලොකු පිනක්. මම මේක අවස්ථාවක් කර ගන්නවා දෙයක් කියන්න. දැන් රැල්ලක් ඇතිවෙලා තියෙනවා අසරණ සතුන්ට පිහිටවෙන. ඉතින් එහෙම සංවිධාන ගොඩක් fb එකෙත් තියෙනවා. මමත් ඒවායේ සාමාජිකත්වය දරනවා. ඒවායින් අසරණ සතුන්ට පිහිටවෙන්න ගොඩක් අය ඉදිරිපත් වෙනවා. ඒක ලොකු දැක්මක්. ඉතින් මට කියන්න තියෙන්නෙ ඒ වගේ දේවල්වලට උදව් කරන්න කියලයි.