2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

විවාහය කල්ගිය හේතුව වෙලාවට කියන්නම්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 72

සුරාජ්.. මේ අවුරුදු මාසෙනේ. ඉතින්... මොකද වෙන්නෙ... මොනවද කරන්නෙ?

ඔව්... ඉතින් මේ දවස්වල අවුරුදු වැඩසටහන් තියෙනවා. අවුරුදු උත්සවවලට ආරාධනා ලැබෙනවා. අවුරුදු කුමරිය තරගවල විනිශ්චය මණ්ඩලයට මට ආරාධනා ලැබෙනවා. ඒ දේවලුත් එක්ක අවුරුදු මාසය ටිකක් කාර්යබහුලයි. ඒ වගේම “හාරකෝටිය” ටෙලිනාට්‍යයේ රෑපගත කිරීම් කරගෙන යනවා.

අලුත් ටෙලිනාට්‍යයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්. තුෂාර තෙන්නකෝන්ගේ “කා” කියන අලුත් ටෙලිනාට්‍යයට සහභාගි වෙනවා. ඒක සමාන්තර ලෝක අතර තියෙන සම්බන්ධතා ගැන කියවෙන නාට්‍යයක්. තුෂාරගේ අදහස වන්නේ මේ ලෝකය වගේම තවත් ලෝකවල අපි වගේම අය ඉන්නවා. ඒ අතර සම්බන්ධතා තියෙනවා. සමහරක් අවස්ථාවල ඔය දෙක මාරුවෙන්න පුළුවන් කියලා. ඒක ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.

සුරාජ් කියන්නේ රංගන ශිල්පියෙක් වගේම තර්තන ශිල්පියෙක්. නර්තන ශිල්පියෙක් වීමේ හීනයක් තිබුණද?

මම ඉස්කෝලේ යන කාලේ නර්තනය ඉගෙන ගත්තේ නෑ. මම පාසලේදි විෂයක් විදිහට කළේ චිත්‍ර විෂය. හැබැයි මගේ සහෝදරියන් නර්තනය ඉගෙන ගත්තා. මම පාසලෙන් අයින්වෙලා එක්තරා සන්නිවේදන ආයතනයක රැකියාවක් කළා. ඒ රැකියාව කරන අතරතුරේදි තමයි මට මගේ පළවෙනි ටෙලිනාට්‍ය ලැබුණේ.

මගේ මතකය හරිනම් ඒ “මගේ සඳ ඔබ” ටෙලිනාට්‍යය.. එහෙම නේද?

ඔව්... හරියටම හරි. ඒ ටෙලිනාට්‍ය ගොඩාක් ජනප්‍රිය වුණා. මිනිස්සු මගේ ගැන කතා කළා. නාට්‍යය ගැන කතා කළා. ඒ ටෙලිනාට්‍යය රගපෑවට පස්සේ මම රස්සාවෙන් අයින් වුණා. මම හිතුවේ තව නාට්‍යය මට ඒවි කියලා. නමුත් අවුරුද්දක් එකහමාරක් විතර වෙනකන් මට ටෙලිනාට්‍ය ලැබුණේ නෑ. ඒ කාලය තුළදි මම හෝටල් කළමනාකරණ මගේ ඩිප්ලෝමා එක ඉගෙන ගත්තා. ඒ කරන ගමන් මම ලතින් අමෙරිකානු නර්තනය හැදෑරැවා. මම 2002 ජාත්‍යන්තර මට්ටමේ තරගයකටත් ඉදිරිපත් වුණා. ඒක තිබුණේ ලංකාවේ. ඒකෙදි අංශ දෙකකදි මට ජයග්‍රහණය කරන්න ලැබුණා.

පහුගිය කාලෙදි සුරාජ් රංගනයටත් වඩා නර්තනයට වැඩිපුර කාලය වෙන්කළා නේද...?

ඔව්... පහුගිය කාලේ හිරු මෙගා ස්ටාර් තරගය තිබ්බා. ඉතින් ඒකෙදි මට හිරු නාලිකාව ආරාධනා කළා. ඊටපස්සේ මට කණ්ඩායමක් ලබාදුන්නා. එතනදි පෞද්ගලිකව මම කිසිම කෙනෙක් මගේ කණ්ඩායමට තෝරගත්තේ නෑ. මුල ඉඳලා අග වෙනතුරු එකටම හිටිය කණ්ඩායම අපි කිසිම කෙනෙක් අපේ කණ්ඩායමෙන් වෙනස් වුණේ නෑ. අයින් වුණේ නෑ.

කණ්ඩායම් නායකයෙක් වෙනවා කියන්නේ ලේසි නෑ නේද?

ඔව්... ඒක ඇත්ත. අපේ නර්තන කණ්ඩායමේ නර්තන පුහුණු කළේ සංඛ ප්‍රසාද්. ඔහුත් එක්ක මට නිර්මාණ කරන්න සිද්ධ වුණා. ඒ වැඩකටයුතුවලට ගොඩාක් කාලය වැයවුණා.

ඔය කාලෙදි ආරාධනා ලැබුණු නිර්මාණ ප්‍රතික්ෂේප කළාද?

ඔව්... මේ කාලෙදි නාට්‍ය දහයකට වැඩි ප්‍රමාණයකට මට රූපගත කිරීම්වලට ආරාධනා ලැබුණා. ඒත්.. ඒවා කරන්න මට පුළුවන් වුණේ නෑ. මම ඕනෑම වැඩක් කරනවනම් හරියටම කරනවා. උපරිමයෙන්ම කරනවා. මේ ක්ෂේත්‍රයේ මම දැන් අවුරුදු දාහතක් විතර ඉන්නවා. අද වෙනකන් කිසිම නාට්‍යයකට පොල්ලක් තියලවත්, කිසිම නාට්‍යයක අධ්‍යක්ෂකවරයාට අපහසුතාවක් ඇතිකළේවත් නෑ. කරන්න පුළුවන් වැඩක් තිබ්බොත් මම බාරගන්නවා. බැරිනම් කොච්චර වටිනා වැඩක් වුණත් මම බාරගන්නේ නෑ. මම කවදාවත් නිර්මාණ පෙරේතකමට බාරගන්නේ නෑ.

සුරාජ් ළඟදි විවාහ වෙන්න යනවා නේද..?

ඔව්.. ඒක ඇත්ත. මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මම විවාහ වෙනවා.

ඇය කලාවට සම්බන්ධ කෙනෙක් නේද..?

ඒ හැමදෙයක්ම මම හැමෝටම පස්සේ කියන්නම්. ඒක කියන එක ටිකක් කල්දාන්නේ පෞද්ගලික හේතු නිසයි. ඒ හැමදෙයක්ම වෙලාව ආවම කියන්නම්. මම දන්නවා මගේ ප්‍රේක්ෂකයන් මට තියෙන ආදරේට ඒ දේවල් දැනගන්න කැමතියි කියලා.

එහෙම දැනගෙනත් ඇයි සුරාජ් නොකියා ඉන්නේ?

මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ මගේ වයසේ අයගෙන් මම තමයි විවාහ වෙන්න ඉන්න අන්තිම එක්කෙනා. ඉතින්.. ප්‍රේක්ෂකයෝ ඔක්කොම හරි ආසාවෙන් ඉන්නේ කාවද කසාද බඳින්නේ කියලා. ඒකට උත්තරේ මම ඉක්මනට දෙනවා. නමුත් මේ ඒකට වෙලාව නෙමේ. විවාහ ජීවිතේ ගැන ඒ ගත්ත තීරණ හරියටම ස්ථිර වුණාට පස්සේ මම ඒවා කියන්නම්.

ඔය ප්‍රේම කතාවට දැන් වසර කීයද..?

මේ ප්‍රේම කතාවට දැන් අවුරුද්දක් විතර ඇති. අපි තේරුම් ගන්නට කාලයක් ඕන වෙනවා. අවුරුද්දක් ඇත්තටම තේරුම් ගන්නට වැඩිත් නෑ අඩුත් නෑ මදිත් නෑ කියලා හිතෙනවා. ඒත්... ජීවිතේ ගැන තව ගැඹුරෙන් හිතන්න කතා කරන්න තියෙනවා. මම ජීවිතේ කවදාවත් කිසිම වෙලාවක හදිසි තීරණ ගන්නේ නෑ. මගේ තීරණ සමහරවිට සාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් බොහෝ තීරණ මම හිතාමතා ගත්තේ. මම කිසිම දවසක මගේ පෞද්ගලික ජීවිතේ ප්‍රසිද්ධ කරගෙන ජනප්‍රිය වුණේ නෑ. ඒ නිසා ඒ තීරණ ස්ථිරවම ගත්තට පස්සේ මම ඒ හැමදෙයක්ම කියන්නම්.

Text — Dishani / Pic- internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00