අද හදසර අතිරේකයේ තනිකඩයා විශේෂාංගය තුළින් ඔබ හමුවන්නේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා, හඬකැවීම් ශිල්පිනී සහ රංගන ශිල්පිනී සකුන්තලා පීරිස්.
හුදෙකලාව මේ ගෙවෙන ජීවිතේ කොහොමද ඔබට දැනෙන්නෙ?
ඔබ අහන්නෙ කොවිඩ් එක්ක අපි අත්විඳින හුදෙකලාව ගැන නම්, මම වැඩවලට යනවා හරි අඩුයි. මම අන්තිමට වැඩ කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ, ගිය අවුරුද්දේ අග වෙනකම්. දැන් ඉතින් කලා කටයුතුවල නියැලෙනවා, විශේෂයෙන් හඬකැවීම් වැඩත් එක්ක. ඒත් කොවිඩ් එක්ක වැඩ අඩුයි. එහෙම කියලා මට ගෙදරට වෙලා ඉන්නත් බැහැ. මම තනියෙන් ජීවත් වෙන්නෙ. මම හම්බකරන්න ඕනෙ මගේ ගෙවල් කුලී ගෙවන්න, ලයිට්, වතුර බිල් ගෙවන්න. ඒ වුණාට කොවිඩ් එක්ක පරෙස්සමෙන්, වගකීමෙන් හැමදේම කරගෙන යනවා. ඉතින් මේ හුදෙකලාව මට නුහුරැ දෙයක් නෙවෙයි. ගේ අස්සට වෙලා ඉන්න ගොඩාක් වෙලාවට මම පොත් කියවන එක තමයි කරන්නෙ.
අවිවාහකව ගෙවෙන ඔබේ තනිකඩ ජීවිතේ ගැන මොනවද හිතෙන්නෙ?
විවාහවෙලා දරැවො හදලා, ඒගොල්ලො උස් මහත් කරන අයට වඩා මගේ ජීවිතේ හරි නිදහස්. මම ගොඩාක් වෙලාවට පුළුවන් විදිහට හැමෝටම උදව් කරනවා. බොහොමයක් අය හිතනවා තනිකඩ අයට වගකීම් අඩුයි කියලා. ඒත් මගේ හැම වැඩක්ම මම තනියම කර ගන්න ඕනෙ. ඒක ලොකු වගකීමක්. විවාහක අයගෙ තනියට කවුරැ හරි ඉන්නවා. හදිසියේ මම ලෙඩ වුණත් මම ඒක තනියම විසඳගන්න ඕනෙ. මම කාටත් කියන්න යන්නෙත් නැහැ. හැබැයි අනිත් අය අසනීප වුණාම මම ඒ අයට උදව් කරනවා.
අවිවාහකව ඉන්න ඔබ තීරණය කළ කාලය මතකද?
මම ඇත්තම කියන්න බය වෙන්නෙ නැහැ. තරුණ වයසෙනම් විවාහ වෙන්න කිහිප දෙනෙක් අහලා තිබ්බා. ඒත් මගේ හිතේ බැඳිච්ච ආදරයක් හින්දා මම තාමත් අවිවාහකව ඉන්නවා ඒ වෙනුවෙන් කැපවෙලා. ලෝකෙට නොපෙන්නන ආදරයක් මගේ හදවතේ තියෙනවා. මම ආදරේ කරනවා. ඒ ආදරේ නිසා මම අදටත් ජීවත් වෙනවා.
මේ ආදරය කොයි කාලෙ ඇතිවුණු එකක්ද?
1986 දී තමයි මට ආදරේ කියන්නෙ මොකක්ද කියලා දැනෙන්න පටන් ගත්තෙ. ඒ ආදරේ අදටත් තියෙනවා. කිසිම වෙනසක් නැහැ. ඒ වුණාට මට විවාහ වෙන්න බැහැ. ඒ කාලෙ එයත් විවාහවෙලා හිටියෙ නැහැ. ඒ වුණාට මට එයත් එක්ක විවාහ වෙන්න බැරි හේතුවක් තිබුණා. ඒත් එයා හැමදාම මට ඉන්නවා. සහතිකයකට සීමා වුණු විවාහයක්, ආදරයක් මට ඕන වුණේ නැහැ.
ඔහුත් තාම අවිවාහකවද ඉන්නෙ?
නැහැ. ඔහු අද විවාහ වෙලා. ඒත් ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ ආදරය හැමදාම තියාගෙන ඉන්නවා. සැබෑ ආදරය කියන්නෙ හිමිකර ගැනීමට නෙවෙයි. මම හැමදාම ඒ ආදරේට ආදරෙයි. මට වෛර කරන්න බැහැ. ඒක මට ලෝකෙට පෙන්නන්න ඕනෙත් නැහැ. මගේ හදවතේ තිබ්බම ඇති. ඒකත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන්. ඒත් මම අයුතු ප්‍රයෝජන ගන්නෙත් නැහැ. වැරදි දේවල් කරන්නෙත් නැහැ.
තනිකඩව ඉන්න අයට විවිධ කතා හැදෙනවානෙ. ඔයාට එහෙම දේවල් ඇහිලා නැද්ද?
ඇයි නැත්තෙ. තනිකඩව ඉන්න අයට එක එක විදිහෙ කතා හැදෙනවනෙ. එක කාලෙක සමහරු කියලා තියෙනවා මෙයා පිරිමින්ට කැමති නැතුව ඇති, ගෑනුන්ට කැමති කෙනෙක්ද දන්නෙ නැහැ කියලා. ඇත්ත කියන්න මම බය බැහැ. මම දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක්. මම හැමදාම හිතන්නෙ මිනිස්සු මට ඕන දෙයක් කියපුදෙන් කියලා. මම කිසිම දවසක වරදක් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. ඉතින් මට මාව විශ්වාසනම් ඊට වඩා දෙයක් නැහැනෙ.
මේ විදිහට කරන ආදරේක ඉලක්කයක් පේන්න නැහැ නේද?
තියෙනවා. අදටත්, හෙටටත්, මතු ආත්මෙටත් මගේ බලාපොරොත්තුව මේ ආදරයම විතරයි. අපේ ආගමේ හැටියට නැවත ඉපදීමක් ගැන විශ්වාස නොකළත්, ඔහු බෞද්ධයෙක් හින්දා මට හිතෙනවා ගිය ආත්මෙ මට ඔහුව ලබාගන්න බැරි වුණේ මම මොනවා හරි පාපයක් කරලා තිබුණු නිසයි කියලා. මේ ආත්මෙදිත් බැරි වුණා. ඒත් ලබන ආත්මෙ සමහරවිට ලැබෙයි කියලා මට හිතෙනවා, මොකද මම ඒ තරම් පින් කරනවා. මම කාටත් පේන්න පින් කරන කෙනෙක් නෙවෙයි. මගේ හදවතට අවංකව තමයි මම වැඩ කරන්නෙ. මට කිසිම වැරැද්දක් කරන්නත් බැහැ. ඒ තරමට මම ඒ ආදරේට ආදරෙයි.
වයසට ගිය කාලෙක, හදිසියේ ලෙඩක් දුකක් හැදුණොත්, අනාගතේ ගැන බයක් දැනෙන්නෙ නැද්ද?
දෙයියන්ගෙ පිහිටෙන් මේ වෙනකම් මට ලෙඩකුත් නැහැ, මට මොනවද තියෙන ලෙඩ කියලා බලලත් නැහැ. මම මේ වෙනකම් ඉස්පිරිතාලෙකට ගිහිල්ලත් නැහැ. නමුත් කාගෙ හරි තනියට ඉස්පිරිතාලෙට ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ කාට හරි ඉන්ජෙක්ෂන් එකක් ගහන එකවත් මට බලන්න බැහැ, මට ඒ අත්දැකීම නැති නිසා. ඒක හොඳ දෙයක් නෙවෙයි කියලත් මම දන්නවා. අද වෙනකම් මට ලෙඩක් ගැන බය හිතිලා නැහැ. ඒත් හෙට මොනවා වෙයිද කියලා කියන්න අපි දන්නෙ නැහැනෙ. එකපාරටම ඩෝං ගාලා ඇදගෙන වැටෙයිද දන්නෙත් නැහැ.
මම කවදා හරි මේ ජීවිතෙන් සමුගත්ත දවසක මගේ මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරන්න කියලා තමයි මම කියලා තියෙන්නෙ. ඒක තමයි මගේ අවසාන කැමැත්ත.