2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

මගේ කෙල්ල වෙන ආදරයක පැටළුණා

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

මයික් ප්‍රනාන්දු කියන්නෙ අපට හුරු නමක්. හුරු රුවක්. ප්‍රාසාංගික කලාවේ විවිධ පැතිකඩ ඔස්සේ මයික් ඔහුගේ රංගන හා ගායන හැකියාවන් ප්‍රකට කර තිබෙනවා. ඒත් ඇත්තටම ඔහු අපට හුරු හඬක්. අපි කාගෙත් මතකයෙන් ඈත් නොවන සූර පප්පා කාටූන් කතා මාලාවේ ජිම් පප්පාට හඬ කැවූයේ මයික් ප්‍රනාන්දුය.

අද තනිකඩයා සරසන්නේ ඔහුගේ කතාවත් එක්ක.
ජීවිතේ අපට බොහෝ අය මුණ ගැහෙන්නෙ, බොහෝ මිහිරි හෝ අමිහිරි අත්දැකීම්වලට මූණදෙන්නට සිදුවෙන්නෙ, එක්කො පාඩමක් ඉගෙන ගන්න නැත්නම් ඒවා අපට ආශීර්වාදයක් වෙන්න. මේ මිනිස් ධර්මතාවය අපි කාටත් පොදු එකක්.
මේ කතාව කියවගෙන යන අතරතුර ඔබේ යටිහිතේ ඔබට බොහෝ දේවල් කොඳුරන්නට ඉඩ තිබෙනවා, ජීවිතේ ගැන.

• ඔබ පසුගිය මාස කීපය පුරාම කල් ගෙව්වෙ අසනීප තත්ත්වයකින්. ඒ ගැන කියලම අපේ කතාව පටන් ගමුද?
ඔව්. මාස ගාණක් නෙවෙයි, හරියට බැලුවොත් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මම අසනීපෙන් හිටියා. කකුලෙ මස් පිඬු තෙරපීමක් සහ නහර තෙරපීමක් නිසා මට ඇවිදගන්න අමාරු වුණා. කොඳුඇට පෙළට බලපෑමක් ඇති නොවී බොහොම අමාරුවෙන් සනීප කරගත්තා. දැන් සුපුරුදු වැඩ ටික කරගෙන යනවා. හොඳට හිටිය මං වගේ කෙනෙකුට මෙහෙම වුණේ ඇයි කියලා හිතපු වාර තිබුණා. ඉස්සර ලිෆ්ට් තිබුණත් මම පඩිපෙළ පාවිච්චි කළ කෙනෙක්. මේකෙන් පස්සෙ බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම ගැනත් මම ලොකු අත්දැකීමක් ලබාගත්තා.

• ඒ අත්දැකීමට වඩා මේ වගේ අසනීප තත්ත්වයකට මුහුණ දෙන්න වුණාම තනිකඩ මනුස්සයෙකුගෙ අත්දැකීම ඔබත් විඳලා ඇති?
මේක ඇත්තටම තනිකඩව ඉන්න හැම කෙනෙකුගෙන්ම ඔබ අහන්න ඕන ප්‍රශ්නයක්. අසනීපයකට ප්‍රතිකාර ලබාගන්නකොට අපිට වෙදකම හා හෙදකම දෙකම අවශ්‍ය වෙනවනෙ. ඒත් තනිකඩ මිනිස්සුන්ට වෙදකම ලැබුණට හෙදකම ලැබෙන්නෙ නැහැනෙ. අවශ්‍ය බේත් ටික හොයාගන්න, කසාය තම්බන්න, පත්තු බඳින්න වගේ දේවල් කරන්න වෙන්නෙ ගෙදරනෙ. නමුත් මම ප්‍රතිකාර ලබාගත්තෙ බෙහෙත් හදලා පත්තු බඳින තැන්වලින්. ඒත් ඉතින් ලෙඩෙකුට කවන පොවන දේවල් සිද්ධ වුණේ නැහැ. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ ඒ අස්සෙ කොරෝනා ආවා. ඇඳිරි නීතිය ආවා මට මොකුත්ම කරගන්න බැරිතැනකට තල්ලු කරලා. මට හොඳට උයාගෙන කන්න පුළුවන්. ඒක මට ලොකු වරප්‍රසාදයක්. ඒත් නැගිටලා ගිහින් උයන්න බැරි වුණු කාලෙකුත් තිබුණා. මනුස්සකම හඳුනන අහල පහල දෙතුන් දෙනෙක් මට ඒ කාලේ ආහාර ලබාදුන්නා.

මැරෙන්න යන වෙලාවට වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ළඟ ඉන්න ඕනෙ කියලා කතාවක් තියෙනවනේ. ඒක මට තේරුණා. හැබැයි ඒකෙන් මම සැලුනෙත් නැහැ, මට ලොකු දුකකුත් නැහැ, මොකද මම තනිකඩ ජීවිතේට හොඳට පත්තියං වෙලා හිටියෙ. එකපාරට තනිවෙච්ච මිනිහෙකුට නම් මැරෙන්න තමයි වෙන්නෙ. ඒත් මම එහෙම වුණේ නැහැ.

• තනිකම දැනෙන වෙලාවට ඒක නැති කරගන්න මොනවද ඔබ කරන්නෙ?
සංගීතය තමයි මගේ ජීවිතේ මම කැමතිම දේ. මම හොඳ ශාස්ත්‍රීය, සුභාවිත ගීත, මගේ ප්‍රියතම ගායක ගායිකාවන්ගෙ ගීත අහනවා. ඒ සින්දු අහලා මං ඒ ගොල්ලන්ට පින් දෙනවා. අපේ හිත් සුවපත් කරනවට. මගේ ළඟ තනියට හිටියෙ සංගීතය තමයි.

• සමහර සින්දු ඇහෙද්දී අපිට අපේ පරණ මතක, ප්‍රේමණීය මතක අලුත් වෙන වෙලාවල් තියෙනවා නේද?
ඇත්ත. සිංදු ඇහෙද්දී මගේ ජීවිතේ යම් යම් දේවල් මතක් වෙනවා තමයි. ඒත් මම මානසිකව බිඳ වැටිලා නැහැ. ඒ නිසයි මම රුකියාවකුත් කරලා, කලා ක්ෂේත්‍රයටත් දායක වෙලා දැන් ඉන්න තත්ත්වෙන් සන්තෝසෙන් ජීවිතේ ගැන කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ. තනිකඩකම මට වෙස්වලාගෙන ආපු ආශීර්වාදයක්.

• දැන් ඉතින් අපිත් අර පරණ මතක ටිකක් අලුත් කරමුද? ඇත්තටම ඔබ විවාහ නොවී ජීවත් වෙන්න තීරණය කළේ කොයි කාලෙද?
ඒක ඉතින් දිග කතාවක්. ඒ කතාව පටන් ගන්න ඕනෙ මගේ අම්මගෙන්. අම්මා වැඩකළේ සලුසල ආයතනයේ කළමනාකාරණියක් හැටියට. දැන් අම්මයි තාත්තයි ජීවතුන් අතර නෑ. අම්මාට එක එක තැන්වලට මාරුවීම් ලැබෙනකොට අපිටත් යන්න වුණා. ඒ නිසා මම පාසැල් කීපයකටම ගියා. මම උසස් පෙළ පන්තියට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අම්මට මාරුවීමක් ලැබෙනවා බදුල්ලට. මම සාමාන්‍ය පෙළ කරලා ඉවරයි.
මම ඉගෙන ගත්තෙ විද්‍යා අංශයෙන්. වෛද්‍ය විදුහලට යන බලාපොරොත්තුවෙන්. අම්මා මට කිව්වා බදුල්ලට මාරුවීම හරි, දැන් ඔයා බදුල්ලට ගිහින් කැමති ඉස්කෝලයක් තෝරගන්න කියලා. අම්මා ඒ කාලෙ ඉඳලම අපිට තනියෙන් වැඩකරන්න පුරුදු කළේ එහෙම. මම තනියම රූ කෝච්චියේ නැගලා බදුල්ලට ගියා. ඉස්කෝලයක් හොයාගන්න. අපි දන්න කියන කිසිම කෙනෙක් බදුල්ලෙ හිටියේ නැහැ. බදුල්ලෙ ඉස්කෝල දෙක තුනකට ගිහින් කතා කළා. අන්තිමේදී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ජිනදාස අත්තනායක සර් හම්බවෙලා කතා කළා. මගෙන් ඔහු එකපාරටම ඇහුවෙ කෝ අයිසෙ අම්මයි තාත්තයි කියලා. මම ඔහුට කතාව කිව්වා. මාව ඉස්කෝලෙත් ලැබුණා.
තනියෙන් තීරණ ගන්න, නායකත්වය, පරාජයට මුහුණ දෙන්න, ඉලක්ක කරා ගමන් කරන්න, කිසිම බිඳවැටීමක්, කලකිරීමක් නැතුව ජීවිතේට මූණ දෙන්න පොඩි කාලෙ ඉඳලම මාව පුහුණු කළේ මගේ අම්මා. තනිවෙන්නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියන එක තමයි අම්මා මට කියාදීපු වටිනාම පාඩම. අදටත් ඒ ඉගෙන ගත්තු පාඩම්වල වටිනාකම් මට හොඳට තේරෙනවා.

• තනිවෙන්නෙ නැතුව ජීවත් වෙන්න ඔබට හැකි වෙනවද බදුල්ල ඉස්කෝලෙට ගියාට පස්සෙ?
ඒ කතාවක් කියන්නම්. බදුල්ල මධ්‍ය මහා විදුහල කියන්නෙ මිශ්‍ර පාසලක්. ප්‍රින්සිපල් සර් මුල්ම දවසෙ මාව පන්තියට එක්ක ගියා. පන්ති භාර ගුරුතුමා ඒ වෙලාවෙ හිටියෙ නැහැ. මාව දැකලා ළමයි ටික හිටගත්තා. මම ඒ කාලෙත් උසයි, කෙට්ටුයි. පන්තියෙ ළමයි හිතුවෙ මම සර් කෙනෙක් කියලා. ප්‍රින්සිපල් ළමයින්ට මාව හඳුන්වලා දීලා මට හොඳින් සලකන්න කියලා යන්න ගියා.

• ළමයි හොඳට සැළකුවද?
මොන? ප්‍රින්සිපල් ගියා විතරයි ළමයි ටික මාව රැග් කරන්න පටන් ගත්තා. ඒ කාලෙ ඉතින් අහිංසක රැග් තිබුණෙ. මට සින්දුවක් කියන්න කිව්වා. රැග් කරන්න මූලික වුණේ පන්තියේ ගෑනු ළමයි තුන් දෙනෙක්.

• ඔබේ පළවෙනි ප්‍රේම සම්බන්ධය ඇතිවෙන්නෙ එතැන?
ඔව්. ඒ පන්තියෙ ගෑනු ළමයෙක් එක්ක. මාව රැග් කරන්න මූලික වුණු කෙල්ලො තුන්දෙනාගෙන් කෙනෙක් එයා. අපි හොඳට ඉගෙන ගත්තා, ආදරෙන් හිටියා. සමහර පාසැල් ආදර කතා සීමා වෙන්නෙ පාසැල් කාලෙට විතරනෙ. ඒත් පාසැලෙන් අස්වුණාට පස්සෙත් අපි සම්බන්ධය අත්හැරියෙ නැහැ. මට උවමනාවක් තිබුණා ගුවන් නියමුවෙක් වෙන්න. ඒත් මම මුලින්ම බැඳෙන්නෙ උප පොලිස් සේවයට. උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට. මම පාසැලේ ශිෂ්‍ය භට කණ්ඩායමෙන් හිටි නිසා මට මේ රැකියාව ලබාගන්න පහසු වුණා. අවුරුදු දෙකකට පස්සෙ මම කොළඹ පෞද්ගලික ආයතනයකට රුකියාවට එනවා. ඉතාම කාර්යබහුල රැකියාවක්. මගේ බොස් මුස්ලිම් ජාතිකයෙක්. මට හරිම ආදරෙයි. රැකියාවට ගිහින් මාස ගාණක් යද්දී ඔහු විවාහ වුණා සිංහල තරුණියක් සමඟ. දෙවන මනමාලයාට ගත්තෙ මාව. 
ඒ අතරතුර මගේ බදුල්ල පෙම්වතිය කොළඹ රැකියාවක් ලැබිලා ආවා. විශේෂයෙන්ම අපිට මුණගැහිලා කතාබහ කරන්න පහසු නිසා.

• ඉතින් ඔය දෙන්න නිතර නිතර මුණගැහුනාද?
නැහැ. මගේ රැකියාව ඒ තරම්ම කාර්යබහුල වුණා. ඒ වෙනකොට අපේ ආදරයට වසර ගණනාවක් වෙලා. ඒත් කාලයක් යද්දී මට ආරංචි වෙනවා එයා වැඩකරන ආයතනයේ තව කෙනෙක් එක්ක සම්බන්ධයි කියලා. එයා වැඩ නිමවන වෙලාවක් බලලා මම ගියා ඒ කතාවෙ ඇත්ත නැත්ත හොයන්න. එයා ඒ කොල්ලත් එක්ක අත්වැල් පටලගෙන එනවා මම දැක්කා. එයා මාව දැකලා මඟඅරින්න උත්සාහ කළා. මම පස්සෙන්ම ගියා. මම කිව්වා මම ඒ දෙන්නට කරදරයක් වෙන්නෙ නැහැ කියලා. ඒ දෙන්නට සුබපතලා ආවා. මට එහෙම කරන ශක්තියක් ආවෙ අම්මා මාව ඒ තත්ත්වෙට ශක්තිමත් කරපු නිසා. එදායින් පස්සෙ මම තීරණය කළා මගේ ජීවිතේ තනියෙන්ම ගෙඩනගාගන්න. ඒ සිද්ධියෙන් පස්සෙ මට අලුත් මාවතක් විවර වුණා. මට කාන්තාවන් ගැන කිසිම තරහක් නැහැ. ඒක මගේ ජීවිතෙන් අයින් කරලා විතරයි තියෙන්නෙ. මේ දේවල් ගැන මම කවදාවත් කලකිරිලා නැහැ. සමහර වෙලාවට මම විවාහ වෙලා හිටිය නම් මයික් ප්‍රනාන්දු කියලා කලාකරුවෙක් මේ රටේ නැතිවෙන්නත් තිබුණා.

• අවසාන ප්‍රශ්නය. ඔබ ළඟින්ම ඇසුරු කරන අය හැර බොහෝ දෙනෙක් දන්නෙ නැහැ ඔබ අවිවාහක බව?
බොහෝ දෙනෙක් දැනගන්න මම බොහෝ වෙලාවට ඕවා කිය කියා යන්නෙ නැහැනෙ. මාධ්‍යයකට මම මුල්ම වතාවට තමයි ඔබට මේ කතාව කිව්වෙ.

සමහර තැන්වලට ගියාම සමහරු අහනවා බැඳලද කියලා. මම ඔව් කියනවා. ළමයි ඉන්නවද? ඔව් කියනවා. දුවලද පුතාලද? මට දුවයි පුතයි කියනවා. එහෙම උත්තර දුන්නෙ නැත්නම් කතන්දර ගොඩක් කියන්න වෙනවා. ප්‍රශ්න වැලකට උත්තර දෙන්න වෙනවා. මගේ ජීවිතේ මගේ නිසා මම ඒක මට ඕන විදිහට ගත කරනවා.