2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

මැජික් වැඩක් කරන එකයි මගේ සිහිනය! තනූජා රංගනයට

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආකර්ෂණයට හා ඉමහත් ආදරයට පාත්‍ර වී සිටින ආදරණීය සන්නිවේදිකා තනුජා ජයවර්ධන මේ දිනවල පුංචි තිරය හරහා අප හමුවට එන්නේ රංගන ශිල්පිනියක් හැටියට. දෙරණ නාලිකාවේ සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රී 8.30ට විකාශය වන පොදු කෙටි ටෙලි මාලාව තුළිනුයි තනුජා මුල්වරට රංගනයට අවතීර්ණ වෙන්නෙ.

එකම රාමුවකට නතු නොවන තනුගේ මුල්ම රංගන භූමිකාව අත්දැකීම් ගැන ඇගේ අදහස් දැනගන්නට අපි ඇය හා කතා කළා.
ඔබ පොදු කෙටි ටෙලි මාලාවේ නිරෑපණය කරන්නේ වාසුගී නොහොත් වාසු නම් වූ අභීත මාධ්‍යවේදිනියගේ චරිතයක්. තනුජා හා වාසු අතර ඔබ දකින සමාන අසමානකම් ගැන කියන්නකො මුලින්ම...
සමානකම් ගැන කතා කළොත් ඇයත් අසාධාරණයට එරෙහිව කතාකරන කෙනෙක්. පෞරැෂය, ආකල්ප සහ අඳින පළඳින විදිහත් එකයි. පිරිමි යාළුවො තමයි ගොඩාක් ඉන්නෙ දෙන්නටම.

අසමානකම් ගැන කියනව නම්, වාසු ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. මම ඒ පැත්ත ප්‍රායෝගිකව කළ කෙනෙක් නෙවෙයි. මම රසවින්දන, සංවාදශීලී වැඩසටහනක් වගේම ප්‍රවෘත්ති කියවීමත් කළා.
පළමු දවසෙ මට ෂූටිං තිබුණෙ දෙරණ ප්‍රධාන කාර්යාලයේ. මම වැඩසටහනකට සූදානම් වෙනවා වගේ සූදානම් වුණේ නැහැ. හැබැයි බයක් තිබ්බා. රන්දික ගුණතිලක එක්ක තමයි හුඟාක් දර්ශන මට තිබුණෙ. ඔහු හුඟාක් උදව් කළා. ප්‍රියන්ත සිරිකුමාරත් මට ලොකු සහායක් දුන්නා. ජනක කුඹුකගේ හා නදීත් එහෙමයි. පළමු වතාවට වැඩක් කරනකොට එහෙම උදව් කරනකොට ලොකු හයියක් එනවා. මගේ පළවෙනි ෂොට් එකෙන් පස්සේ මොනිටර් එක බැලුවා. ඊට පස්සෙ බැලුවෙ අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා දිහා. ඇගේ හිනාවෙ ගොඩාක් දේවල් තිබ්බා. ඒ ෂොට් එකෙන් පස්සේ මම ආයේ මොනිටර් එක දිහා බැලුවෙ මගේ අන්තිම ෂොට් එකෙන් පස්සෙ. ඒ මැද්දෙ මම මොනිටර් එක බැලුවෙ නැහැ. ෂර්මිලා වැඩකළේ හොඳ අවබෝධයකින්. ඇය මගේ පෞරැෂයට හානියක් නොකරයි කියන විශ්වාසයක් තිබුණා. ඒ දවස් ටික මට Wonderland එකක් වගේ. මම හරිම සතුටින් ජීවත් වුණා.

මම හැමදාම කියපු දෙයක් තමා වෘත්තිය රංගනය කියන්නෙ ලෝකෙ තියෙන අමාරැම වෘත්තීන්වලින් එකක් කියලා. ගෙවල් 1000 එකක තමයි එහෙම කෙනෙක් උපදින්නෙ. ශේක්ස්පියර් ලෝකය එකම රඟමඬලක්. අපි ඒකෙ රඟන නළුවො වෙමු කියලා කියපු අර්ථය වැරදියට වටහාගෙන අපේ රටේ හුඟාක් අය හිතනවා වෙන දෙයක් කරන්න බැරිනම් රඟපාන්න. නමුත් ඒක ප්‍රතිභාව නැතුව කරන්න බැහැ කිසිම කෙනෙකුට.
මම වෘත්තීය සන්නිවේදකයෙක්. ඒක ඇතුළෙ මැජික් කරන්න තමා මම සිහින දකින්නෙ.

- රමේෂ්