2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

උපේක්ෂාගේ මනාපෙ

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 83

අපේ රටේ ඉන්න ජනප්‍රිය පුද්ගලයින්  කලාකරුවන් දේශපාලනඥයින් විවේකයක් ලැබුණාම ගොඩක් වෙලාවට නිදහසේ ඉන්න නම් විදෙස්ගත වෙන අවස්ථා වැඩියිනේ. හැබැයි ලංකාව තුළ ඒ අයට නිදහසේ ඉන්න ඒ වගේම ඒ අය යන්න කැමති තැන් මොනවද කියලා 5 choice වලින් හොයලා බලන්න අපට හිතුණා.  ඉතින් මේ කතාබහට සම්බන්ධ කරගත්තේ ජනප්‍රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි. ඇය ලංකාව තුළ යන්න කැමති සහ යන්න කැමැත්තෙන් ඉන්න තැන් ගැන හදසර  5 choice වලට කිව්වේ මෙහෙම. 

01. බෙන්තොට - අවානි බීච්  රිසෝට් 

මෙතනට යන්න කැමති වෙන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා. එකක් මගේ විවාහයෙන් පස්සේ අපි මුලින්ම ගිය තැන. ඒ වගේම තමා මේ හෝටලය තියෙන්නේ වැල්ලට කිට්ටුව. මම ඒ පරිසරයට ගොඩක් ආසයි. එතනට ගොඩක් එන්නේ විදේශිකයින්. ඒ වගේම තමා සීමිත ඉඩ කඩක් තියෙන්නේ. ඒ නිසා නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමා බෙන්තොට - අවානි බීච් රිසෝට් කියන්නේ. ලංකාවේ මම කැමතිම තැන් අතර අංක එක තමා බෙන්තොට - අවානි බීච් රිසෝට්.

02. යාල 

සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන යාල වනෝද්‍යානයට තමයි මම ඊළඟට කැමති. මොකද ශ්‍රී ලාංකිකයන් වන අපට හිමිවෙලා තියෙන මහත් වූ සම්පතක් තමා යාල කියන්නේ. ඒ සුන්දරත්වයට මම කැමතියි. 

03 යාපනය 

මගේ පියා යාපනයේ. නමුත් මට අවුරුදු 3දී ඉඳන් පියා අපෙන් ඈත්ව විදෙස් ගතව ජීවත් වෙන්නේ. මම තාම යාපනයට ගිහින් නැහැ. නමුත් ලොකු ආසාවක් කැමැත්තක් තියෙනවා යාපනය නගරයට ගිහින් ඒ ජන ජීවිතය එහි සංස්කෘතිය ගැන දැන ගන්න. ඉතින් මම තාමත් නොගියට ලංකාවේ යන්න කැමති තැන් අතර 3 වැනි තැනට කියන්නේ යාපනය නගරය. 

04. යුද්ධය පැවති පැති

මම කලින් කිව්වා වගේම මේ පැතිවලට මම තාම ගිහින් නැහැ. නමුත් ඒ කුරිරු යුද්ධය පැවති ස්ථාන ඒ වගේම ප්‍රභාකරන් සිටියා කියන ප්‍රදේශවලට ගිහින් ඒ දේවල් නරඹන්න මම කැමැත්තෙන් ඉන්නවා. 

05. පානදුර බීච් එක 

මම ගොඩක් වෙලාවට මගේ සුරතලා එක්ක ඇවිදින්න යන තැනක් තමා පානදුර බීච් එක කියන්නේ. එහි මම ගොඩක් කැමතියි ස්ටේෂන් එක කිට්ටුවට. මොකද තාම ඒ පැත්ත ජනාකීර්ණවෙලා නැහැ. ඒ නිසා නිදහසේ ඇවිදින්න නිදහස භුක්ති විඳින්න ගොඩක් ඉඩකඩ තියෙනවා. ඒ නිසයි මගේ හිත එතැනට කැමති.