ඒ තරම් සැහැසිකම් කරන්න පුළුවන්ද ආදරය කළ කෙනෙකුට..
අවසානයේ මම නිරැත්තරව ආයෙත් ආයෙත් ඔව් ආයෙත් කල්පනා කළේ එකම දෙයක්.. ඒ තරම් සැහැසිකම් කරන්න පුළුවන්ද ආදරය කළ කෙනෙක්ට...
12.12.12 නවකතාවේ අන්තිම වචන පේළිය දක්වා කියවද්දි මගේ හදගැස්ම නතර වුණේ ඒ ප්‍රකම්පනය ළඟ...
සිංහල නවකතා ළඟ මගේ හිත නැවතෙන්නෙ හුඟාක් කලාතුරකින්. ඒත් ප්‍රංශයේ ඉඳන් මංජුල සේනාරත්න ලියූ පොත් මගෙන් මඟහැරුණෙ නැති තරම්. 12.12.12 එක්තරා වෛද්‍යවරියකගේ මඟහැරීමක් නිසා කවදාවත් සමාව දෙන්න බැරි බරපතළ මඟහැරීමක් ගැන මහා ඛේදවාචකයකින් නිමාවෙන ආදරයේ සාහසිකත්වය ගැන කතාවක් කියලා මට හිතෙන්නේ.
ආදරය කරන්න.. එක්වෙන්න වගේම වෙන්වෙන්නත් මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට අයිතියක් තියෙනවා. අයිතිය තුළ හෝ අත්පත් කර ගැනීම ළඟ කිසිවෙකුත් සිරකරැවෙක් විය යුතු නැහැ... එහෙත් අත්හැරීම වෙනුවට බලහත්කාර මරණය තෝරාගන්නේනම් එතැන සැහැසිකම මිස අන් කවර මනුෂ්‍ය මනෝභවයක් රැඳී පවතීද? මම අහන්නේ කවදා හරි දවසක් දවසක් නොවෙයිනම් එක මොහොතක් මොහොතක් නොවෙයිනම් එක තත්ත්පරයක් තත්ත්පරයක් නොවෙයිනම් තත්ත්පරයෙනුත් එක අංශුමාත්‍රයක් ආදරය කළ කෙනෙකුට වෛර කරන්න.. වෛරයෙනුත් එහාට ඒ වෛරී සිතුවිල්ල ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න.. ඒ ක්‍රියාව සාහසිකත්වයේත් උපරිමයටම රැගෙන එන්න පුළුවන්ද කෙනෙක්ට..
එහෙත් ඔහු එහෙමයි...
කිසිම වරදක් නොකළ ගැහැනියකට.. කිසිදාක ඔහුගේ දොසක් කියමින් ඔහුට චෝදනාවක් නොනැඟි ගැහැනියකට... ආදරය නිසාම සියල්ල ඉවසාගෙන ඔහුට ජීවිතය වෙනුවෙන් අපිරිමිත නිදහසක් ප්‍රදානය කළ ගැහැනියකට, ගැහැනුකමේ සියලු වටිනාකම් ඔහු හදවත සහ කය සනසනු පිණිස දන් දුන් ගැහැනියකට ඔහු කවරදාවත් කිසිවෙකුත් විශ්වාස නොකරන තරමේ සාහසිකත්වයක් වෛරයක් මුදාහරිනවා...
එහෙම කෙනෙක්ට පුළුවන්ද ආදරය කියන හැඟීම කවදාවත් නිර්වචනය කරන්න...
12.12.12 නවකතාව අපිව ගෙනියන්නේ එවන් ප්‍රශ්න කිරීමක් ළඟට...
මාර්ටින් වික්‍රමසිංහ කියනවා අලුත් නවකතාවක් කියවීම පෙර නොවූ විරෑ රටකට පිවිසීමක් වැනියැයි කියලා... ඇත්තටම නවකතාවක් කියන්නෙම එක්තරා විදිහක සොඳුරැ සංචාරයක්... ඒ සංචාරය තුළ අපිට නානාප්‍රකාර මිනිසුන් මුණගැහෙනවා.. ඒ මිනිසුන් හා ගනුදෙනු කරනවා ඒ මිනිසුන් හා ජීවිතය බෙදාගන්නවා... ඒක හරි අපූරැ අත්දැකීමක්...
ජීවිතයේ හුඟාක් දේවල් අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතවලින් නොවෙයි කියලා මට හිතෙන්නේ. අපේ ජීවිතවලට අපි පිටස්තර ලෝකයෙන් උකහා ගන්නා අත්දැකීම් තුළින් තමයි අපි අපේ ජීවිතවලට හුඟාක් දේවල් එකතු කර ගන්නේ. ලෝකය දකින්න, ලෝකය කියවන්න සහ මනසින් සහ මසැසින් ලෝකය පුරා ඇවිදින්න අපි පයේ ලාගන්න මිරිවැඩි සඟලේ අඩිය නිර්මාණය කර ගන්නේ අපි අපේ අත්දැකීම් සහ අපේ නොවන පිටස්තර අත්දැකීම්වලින් කියලයි මට හිතෙන්නේ.
මනුෂ්‍ය සිත කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන දෙයක්. ඒ හිතේ එක මොහොතක ඇතිවෙන හිතුවිලි ඊළඟ මොහොතේ වෙනස් වී යා හැකියි. ඊට ඉඳුරාම වෙනත් සිතුවිලි ඊළඟ තත්ත්පරයේ ඒ සිතේ උපදින්න පුළුවන්. ආදරය වුණත් එහෙමයි. මුළු ජීවිතයම, ප්‍රාණයම ඒ ආදරය කියලා හිතෙන කෙනෙක් තව දවසක ජීවිතයේ මහා වෛරකාරයෙක් බවට පත්වෙන්න පුළුවන්.
හැමදාමත් ආදරය ගැන මම කියන්නේ එකම කතාවක්.. බඳින තැන නෙමෙයි ආදරය තියෙන තැන.. බැඳෙන තැනයි ආදරය තියෙන තැන.. රුඳෙන තැනයි ආදරය තියෙන තැන.. විඳින තැනයි ආදරය තියෙන තැන.. දැනෙන තැනයි ආදරය තියෙන තැන...
ඒ ආදරය කවදා කොතැනකදි මුණගැසුණත් ඒ ආදරය තමයි ආදරය...
ඒත් ඒ වෙද්දි ජීවිතය කොතැනක හරි නොබැඳී වුණත් බැඳ තියෙන්න පුළුවන්. ඒ බැන්ඳ තැන බැඳෙන තැනක් නිසා එක්වරම අත්හරින්න අපට නොහැකි වෙන්න පුළුවන්.
එහෙම තැනකදි අත්පත් කර ගැනීම කියන න්‍යායෙන් බැහැරව ආදරයත් එක්ක ආදරයෙන් විතරක් ගැටගැහෙන්න පුළුවන්නම් 12.12.12 ඛේදවාචකය තුළ ආදරය මරාගෙන ඉපදෙන සාහසිකත්වය කවදාවත් අපට අත්දකින්න වෙන්නෙ නැහැ...