2021 ජනවාරි 30 වන සෙනසුරාදා

හඳහනේ හැටියට කසාඳ බැන්දොත් මම අන්ත දුක් විඳිනවා...

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231

අද හදසර තනිකඩයා විශේෂාංගය තුළින් ඔබ හමුවන්නේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදිකා අජානි පෙරේරාය

කොරෝනා අවදානම මැද කොහොමද මේ දවස්වල ඔබේ කලා සහ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්නෙ?
පහුගිය අවුරුද්ද පුරාම ඇත්තටම මම කරපු දෙයක් නැති තරම්. ඒත් මේ කාලය තුළ සමාජ සේවා කටයුතුවල නිරත වුණා. මගේ සේවක සේවිකාවන්ගෙ සුබසාධනය වෙනුවෙන් වැඩ කළා. ඒ සේරම දේවල් කළේ මගේ අතේ තිබුණු මුදල්වලින් මිසක් ව්‍යාපාර හෝ කලා කටයුතුවලින් ලබාගත් දේවල්වලින් නෙවෙයි. තාම අපි යථා තත්ත්වෙට පත්වෙලා නැහැ. ඒත් කොරෝනා එක්ක වැඩ කරන්න, ඒකත් එක්ක ජීවත් වෙන්න අපි පුරුදුවෙලා ඉන්නවා. ඒක අමාරු දෙයක් වුණාට අපිට වෙන විකල්පයකුත් නැහැ.

මේ කාලෙ හිතෙන්නෙ නැද්ද විවාහවෙලා තනිකඩ නොවී හිටියනම් හොඳයි කියලා?
නැහැ. කොරෝනා කාලෙ කියලා වෙනසක් නැහැ. තනිකඩව හිටියට මම ඉන්නෙ පිරිසක් එක්ක. මගේ පවුල හරි ලොකුයි. මගේ සහෝදර සහෝදරියො, ඒගොල්ලන්ගෙ දරුවො මාත් එක්ක හරි එකතුයි. මම පදිංචිවෙලා ඉන්නෙ අපේ මහගෙදර. ඉතින් මෙහෙට හැමෝම යනවා එනවා. කිසිම වෙලාවක පාළුවක්, කාන්සියක් නම් දැනෙන්නෙ නැහැ. වෙනත් දෙයක් ගැන කල්පනා කරන්න වෙලාවක් හම්බවෙන්නෙත් නැහැ.

ඇත්තටම ඔබ විවාහ නොවී ඉන්න තීරණය කළ කෙනෙක්ද, එහෙමත් නැත්නම් ඒක ඉබේ සිදුවුණු දෙයක්ද?
මම කවදාවත් තනිකඩව ඉන්නවා කියලා තීරණය කරපු කෙනෙක් නෙවෙයි. මම ආදරේට ගොඩාක් ආදරේ කරපු කෙනෙක්. ආදරය හරිම සුන්දරයි. විවාහ වෙනකොට අපි කොලේක අත්සන් කරන්නෙ විශ්වාසයටනෙ. විශ්වාසය මත තමයි අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නෙ. ව්‍යාපාරික පැත්තෙන් වුණත් අපි ගනුදෙනු කරන්නෙ විශ්වාසය මත. මම ආදරය කරන කෙනාවත් ගොඩාක් විශ්වාස කරනවා. ඒත් ඒ විශ්වාසය පළුදු වුණාට පස්සෙ ආයෙමත් තව කෙනකුගෙන් ඒ විශ්වාසය ගොඩනගා ගන්න හරි අමාරුයි. බිඳුණු වීදුරුවක් අපි අලවලා ගත්තත් ඒ කැළල මකන්න බැහැනෙ. කෙනෙක් මට අවංකව ආදරේ කරයි කියලා මට දැන් විශ්වාසයක් නැහැ. ඉතින් මම හිතුවා ඔහොම කාලයක් ඉන්නවා කියලා. මම ඒ අතරතුර ව්‍යාපාරික හා කලා කටයුතුවලට සම්බන්ධවෙලා කාර්යබහුල වුණා. කාලය දන්නෙම නැතුව ගෙවිලා ගියා. මගේ අම්මා හා පවුලේ අය නම් ඒ ගැන කනගාටු වුණා. ඒත් මම ඒක හිතින් අමතක කරලා මේ ජීවිතේට පුරුදු වුණා.
මේ තනිකඩ ජීවිතය ගෙවනකොට මොන තරම් සුන්දරද කියලා හිතෙනවා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. අපි යාළුවන්ගෙ, දන්න කියන අයගෙ පවුල් ජීවිත ගත්තොත් ඒවා ඇතුළෙ කොච්චර ප්‍රශ්න තියෙනවද? කසාද බැඳලා දෙන්නා අතර ප්‍රශ්න, ඒගොල්ලන්ට දරුවො ලැබුණට පස්සෙ දරුවන්ගෙ ප්‍රශ්න.

කවදහරි වයසට ගිය කාලෙක තමන් ළඟ කෙනෙක් නැතිවෙන එක ගැන බයක් හිතෙන්නෙ නැද්ද?
සමහර තනිකඩ අය එහෙම හිතනවා ඇති. ඒත් මම දැකලා තියෙනවා ගොඩාක් අය දරුවො හදලා ඒ දරුවො මත්තෙ නැහිච්ච අම්මලා තාත්තලා අද කොච්චර දුක්බර ජීවිත ගත කරනවද කියලා. අද ළමයින්ට අම්මලා තාත්තලා ගැන හොයලා බලන්න වෙලාවක් නැහැ. හොඳම උදාහරණය, මම මගේ අම්මට පුදුම විදිහට සලකපු කෙනෙක්. කිසිම දවසක එයාව තනි කළේ නැහැ. මම තනිකඩව හිටිය නිසයි එහෙම කරන්න පුළුවන් වුණේ. පවුලෙ අතින් අයට තිබුණෙ තම තමන්ගෙ පවුල්වල ප්‍රශ්න. මම කසාද බැඳලා හිටියනම් මට සිද්ධවෙන්නෙත් ඔය ටිකම තමයි.

ඒ නිසා මම හිතන්නෙ කසාද බැන්ඳත් නොබැන්ඳත් අපි ජීවිතේ කවදහරි දවසක තනි වෙනවා. දරුවො හදපු අම්මලා තාත්තලා කී දෙනෙක් අද වැඩිහිටි නිවාසවල ඉන්නවද? මගේ හැම උපන් දිනයකටම දානෙ දෙන්නෙ ඔය වැඩිහිටි නිවාසවලට. ඒ නිවාසවල ඉන්න අම්මලා තාත්තලාගෙන් දරුවො ගැන ඇහුවම කියන්නෙ ඒගොල්ලන්ට අපිව බලන්න එන්න වෙලාවක් නැහැ කියලා.

මට නම් මගේ අනාගතේ ගැන එහෙම ලොකු බයක් නැහැ. මම කාත් කවුරුවත් නැති කෙනෙක් නෙවෙයි. සමහර පවුල්වල ඉන්නවා මොකුත් කරකියා ගන්න බැරි තනිකඩ අය. ඒ අයට සැලකුම් ලැබෙන්නෙ නැහැ. තව පැත්තකින් බැලුවොත්, යම්කිසි දෙයක් තියෙනවනම් එයාට කට්ටිය ළංවෙලා ඉන්නවා. ඒක තමයි යථාර්ථය. ඉතින් එයාට හොඳ සැලකුම් ලැබෙනවා. මගේ අනාගතේ ගැන මම සැලසුම් කරලා තියෙනවා. මට මගේ අතපය වාරු නැති කාලයක් ආවොත්, මාව බලාගන්න පුළුවන් විදිහට මම සැලැස්මක් හරිගස්සගෙන තියෙනවා, මගේ සහෝදර සහෝදරියන්ගෙ දරුවො මාව බැලුවෙ නැත්තම්.

ඔබ වාසනාවන්ත කෙනෙක් කියලද ඔබ විශ්වාස කරන්නෙ?
ඔව්. මම එක්තරා විදිහකට වාසනාව අරගෙන මේ ලෝකෙට ආපු කෙනෙක්. මගේ ආගම ධර්මය වගේම මගේ හඳහන මම පිළිගන්න, විශ්වාස කරන කෙනෙක්. මම පෙර පින් ඇතුව ආපු කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. මගේ ළඟ තියෙන හැමදෙයක්ම මම මගේ මහන්සියෙන්, මගේ ශ්‍රමයෙන් හා දැනුමෙන් උපයගත්ත දේවල්. ඒ උපයගත්ත දේවල්වලින් මගේ අම්මට විශේෂයෙන් උපරිමයෙන් සලකලා තියෙනවා. මගේ සහෝදරයින්ට සලකලා තියෙනවා. නැති බැරි අයට, මගේ සේවකයන්ට සලකලා තියෙනවා. මම ඒ දේවල් කරන්න මට වැඩියෙන් ලැබිලත් තියෙනවා. ඒ තමයි මේ විශ්වයේ න්‍යාය. මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නෙ මට සුබ මරණයක් දෙන්න කියලා. මේ ලෝකෙට අපි තනියම ආවා වගේම අපි තනියම යන්නත් ඕනෙ. මට යනකොට අරන් යන්න පුළුවන් දේවල් තමයි මම ජීවිතේ රුස් කරගෙන තියෙන්නෙ එදා ඉඳලම. ඒ පින මට තියෙනවා. ඒ නිසා මට බය වෙන්න හේතුවක් නැහැ.

විවාහ නොවීම ගැන ඔබ පසුතැවුණු වෙලාවල් තිබිලා නැද්ද?
සමහර අවස්ථාවල මම කසාද නොබැන්ඳ එක ගැන හිතේ දුකක් තිබිලා නැතුව නෙවෙයි. දරුවො දැක්කම හිතෙනවා, අනේ මටත් මේ වගේ දරුවෙක් හිටියනම් කියලා. ආදරේ කරන්න කෙනෙක් හිටියනම් හොඳයි නේද කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සෙ අමිහිරි මතක මතක් වෙද්දී හිතෙනවා මට මෙහෙම වුණු එක හොඳයි කියලා. කාගෙවත් නීති රීතිවලට යටත් වෙන්නෙ නැතුව ස්වාධීනව ජීවත් වෙන්න මට ලැබෙන්නෙ නැහැ මම විවාහවෙලා හිටියනම් අද. අපේ යාළුවන්ගෙ විවාහ ජීවිත දිහා බැලුවම, අපිට පේන දේවල් දැක්කම මට එහෙම හිතෙනවා.

ඔබ හඳහන් විශ්වාස කරනවා කියලා කිව්වනෙ. ඔබේ හඳහනේ විවාහය ගැන මොනවද කියලා තියෙන්නෙ?
මගේ හඳහනේ තියෙන්නෙ මම මේ ලෝකෙට තනියම ඇවිල්ලා තනියම යන කෙනෙක් කියලා. මම කසාද බැන්ඳොත් ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත් වෙනවලු. කසාද නොබැන්ඳොත් බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා තමයි තියෙන්නෙ. මගේ හඳහනේ කියලා තියෙන දේවල් මට 100ක් ඇත්ත වෙලා තියෙනවා. මම ව්‍යාපාර පැත්තට නැඹුරු වුණාට මගේ පවුලෙ කිසිම කෙනෙක් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. මගේ තාත්තා රජයේ සේවකයෙක්. හඳහනේ තියෙන්නෙ මම පාලනයක් ගෙනියන කෙනෙක් වෙනවා කියලා, කැපිලා පෙනෙන චරිතයක් වෙනවා, ජනප්‍රියත්වය හිමිකර ගන්නවා සහ ප්‍රභූවරු ඇසුරු කරන්න ලැබෙනවා කියලත් තියෙනවා. නමුත් විවාහය නම් ප්‍රමාද වෙනවලු. මම හිතන්නෙ දැන්නම් ප්‍රමාද වෙලා වැඩියි.