දශක ගණනාවක් පුරා සිංහල සුභාවිත ගීතයට ගී පද රචිකාවියක් ලෙස සිය දායකත්වය ලබාදෙන ඒ.ඩී.එස්. ඉන්ද්‍රානි තමයි අද තනිකඩයා විශේෂාංගය තුළින් කතා කරන්නේ.
ගී පද රචනයට අමතරව ඔබ වෘත්තියෙන් රාජ්‍ය බැංකු සේවය තුළ ඉහළම නිලයක් දැරෑ කෙනෙක්. ඔබ හිතනවද ඔබ විවාහ වෙලා හිටිය නම් කාන්තාවක් හැටියට ඔබේ වෘත්තියේ මේ තැනට එන්න පුළුවන් වෙලා ඇති කියලා?
ඒකට උත්තර දෙකක් තියෙනවා. සමහරවිට විවාහ වෙලා හිටියත් මේ තැනට එන්න පුළුවන් වෙලා ඇති, මොකද කාරණා දෙකේදිම තියෙන්නෙ අපේ කැපවීමනෙ. හැබැයි විවාහ නොවීම මෙච්චර දුර එන්න පොඩි හයියක් වුණා. එහෙමයි කියලා උඩට ආපු හැම කාන්තාවක්ම විවාහ නොවුණු අයත් නෙවෙයිනෙ. තනිකඩ ජීවිතයක් ගත කළාට මම ගොඩාක් වෙලාවට පවුලක් විදිහට ඉන්නවා. මාත් එක්කම හැදනෙවා මගෙ නංගිගෙ දූලා දෙන්නයි, අයියගෙ පුතයි. මොන ප්‍රශ්න තිබුණත්, කොච්චර කාර්යබහුල වුණත් මම ඒ තුන්දෙනාගෙ අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලනවා. ඒ තුන්දෙනාට ගණිතය, විද්‍යාව ඉගැන්නුවෙත් මම. බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී තනතුරට පත්වුණාට පස්සෙ රූ 9ට ගෙදර ආවත් මම ඒ ගොල්ලො ගැන හොයලා බැලුවා. විවාහ වෙලා හිටියනම් ලැබෙන සහකරුවා අනුව තමයි මෙච්චර ලොකු ගමනක් එන්න පුළුවන් වෙයිද නැද්ද කියලා තීරණය වෙන්නෙ.
ගීය පද රචිකාවියක් හැටියට ඔබේ ගීත බොහොමයක අන්තර්ගත වෙලා තියෙන්නෙ විරහව. විරහව කොහොමද ඔබේ ජීවිතයට බද්ධ වෙන්නෙ?
මම පොඩි කාලෙ, තරුණ කාලෙ අපේ පවුලත් එක්ක සන්තෝසෙන් ජීවිතේ ගෙවපු කෙනෙක්. අම්මා, තාත්තා, අයියලා දෙන්නා සහ නංගි හරිම එකතුයි. අපි හිටියෙ යාළුවො වගේ. විශේෂයෙන් තාත්තා එක්ක. පොඩි කාලෙ ඉඳලම මගේ ලියන කියන වැඩවලට මට අනුබල දුන්නෙ තාත්තා.
තරුණ වයසට එනකොට අපිට ඉබේට ඇතිවෙනවනෙ ඔය හැඟීම. ඒ ගැනත් ලියන්න පටන් ගත්තා. මගේ සාහිත්‍යමය හැකියාවන් ගොඩාක් එළියට ආවෙ රුහුණු සේවය ගුවන්විදුලිය හරහා. යොවුන් සමාජය, යොවුන් අසන්නන්ගේ සමාජය ඔස්සේ මගේ නිර්මාණ හැමදාම වගේ ප්‍රචාරණ වුණා. ඒකත් එක්කම මම පේරාදෙණිය සරසවියට ආවා. අපි විවාහ වුණා හෝ නොවුණා හෝ අපේ යෞවන හැඟීම් අපි ඇතුළෙ තියෙනවා. අපි ගොඩක් පොත් කියවගෙන යද්දි ඒවායෙ තියෙන සමහර චරිත එක්ක අපි බද්ධ වෙනවා. ලියනකොට සමහරවිට අපේ හිතේ ඒවත් බලපෑමක් කරනවා ඇති. මට ගොඩක් ආශ්‍රය කරන්න ලැබුණෙ තරුණ කණ්ඩායම්. අපි ඒ ගොල්ලන්ගෙ අත්දැකීම් විඳිනවා. අපේ සිතේ ඇතිවෙන හැඟීම් අපි වැඩි කරගන්නවා පරිකල්පනය ඔස්සේ. මම වැඩිපුරම අහන්න කැමති වුණේ වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලව ආරච්චිගෙ විරහවට බර සින්දු. විශේෂයෙන් මිල්ටන් මල්ලව ආරච්චිගෙ විරහ ගීවලට මම පණ ඇරලා ආසයි. මට එවැනි පෞද්ගලික අත්දැකීමක් නැතිවුණාට ඒ ආභාෂයත් එක්ක තමයි ගීත ලියන්න පෙළඹුණේ. මගේ මෑතක දොරට වැඩිය සී.ඩී. තැටියෙත් තිබුණෙ වැඩිපුරම විරහ ගීත. ආපහු හැරිලා මතක් කරලා බැලුවම විරහව ඇතුළෙ පොඩි සතුටක් තියෙනවා. හිත් රිදුමක් එක්ක දැනෙන සතුට වෙනස්. විරහ ගීතයක් අහලා අපි සන්තෝස වුණාට, සන්තෝසය තියෙන්නෙ ඒ දුක ඇතුළෙ. ඒකයි විරහ ගීත ජනප්‍රිය වෙලා තියෙන්නෙ.
ඔබේ අවිවාහක බවට විරහව බලපෑවෙ නැහැ කියලද කියන්නෙ?
කෙළින් උත්තරයක් දුන්නොත් එහෙම වුණේ නැහැ. තරුණ වයසට එනකොට මම විවාහ වෙනවා කියලවත්, විවාහ වෙන්නෙ නැහැ කියලවත් විශේෂයෙන් හිතාගෙන හිටියෙ නැහැ. විවාහ නොවුණෙ ඇයි කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මට ඇත්තටම ඒකට දෙන්න පිළිතුරකුත් නැහැ. හැබැයි මේ ගෙවන ජීවිතේ තුළ මට කිසිම අඩුවක් දැනිලා නැහැ.
විවාහ වුණා නම් හොඳයි කියලා හිතුණ අවස්ථා නැතුව නෙවෙයි. මට තනියෙන් ජීවිතේට මුහුණ දෙන්න ලොකු ශක්තියක් තියෙනවා. හේතුව මෙතෙක් මම ආපු ගමනෙ මම ගොඩක් දේවල් ගොඩ නගාගත්තේ මගේ ශක්තියෙන්, දෙමාපියන්ගෙ ආශීර්වාදයත් එක්ක. ආර්ථික අතින් ගත්තත් මම ශක්තිමත්. ජීවිතේකට ඒ සාධක විතරක් නෙවෙයි අවශ්‍ය වෙන්නෙ. ආදරය සහ රුකවරණයත් අපිට අවශ්‍ය වෙනවා. පවුලක තියෙන ආදරය, සෙනෙහස මට මේ දරුවො තුන්දෙනාගෙන් ලැබෙනවා. මම හැමතිස්සෙම ඒ තුන්දෙනාගෙ හීන මගේ හීන බවට පත් කරගන්නවා.
අපේ සමාජය අවිවාහකව ඉන්න කාන්තාවන් දිහා බලන කෝණය ගැන ඔබ මොනවද හිතන්නෙ?
ඒක නම් වෙනස් විය යුතුමයි. අවිවාහක කාන්තාවන්ගෙන් ප්‍රධාන වශයෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා ප්‍රේමයෙන් පැරදිලා හොඳ බූට් එකක් කාලද ඉන්නෙ. එහෙමත් නැත්නම් බැන්දෙ නැත්තෙ හඳහනේ තියෙන අවුලක් නිසාද කියලා. මම නම් මේ සම්බන්ධව ලොකු ගැටලුවලට මුහුණ දීලා නැහැ. මට ඉන්නෙ ගොඩක් පිරිමි යාළුවො. ප්‍රේමය කියන බැඳීමට වඩා එහා ගිය හොඳ ආධ්‍යාත්මික හිතවත්කම් අපි අතර තියෙනවා. මට හොඳ ගෝල පිරිසක් ඉන්නවා. අද සක්‍රීයව රාජ්‍ය සේවයේ වැඩ නොකළත් ඒ බැඳීම් තාම තියෙනවා. ඒක ජීවිතේට ලොකු හයියක්. ගොඩාක් අය මම අවිවාහකයි කියලා දන්නෙත් නැහැ. බැංකු ක්ෂේත්රයේ වගේම කලා ක්ෂේත්රයේත් මට ලැබිලා තියෙන්නෙ ගෞරවපූර්ව සැලකීමක්. මිනිස්සු සීයට සීයක් තේරුම් ගන්න අමාරු වුණත් ඒ අය එක්ක උපක්රමශීලීව ගනුදෙනු කරන්න පුළුවන්.
වයසට ගිය කාලෙක, ලෙඩක් දුකක් හැදුනොත් ඔබ ළඟ කෙනෙක් නැතිවෙයි කියලා බයක් දැනිලා නැද්ද?
ඇත්තටම එහෙම බයක් දැනිලා නැහැ. විවාහ වුණු අයත් සමහරවිට තනිවෙලා අවස්ථා තියෙනවනෙ. මම මෙතෙක් ජීවත් වෙච්ච විදිහත් එක්ක හා මම දැන් සැලකුම් ලබන විදිහට ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරියේදී ඇතිවෙන්නෙ නැහැ කියලා හිතෙනවා. කිසිම කෙනෙකුට කරදරයක් නොවෙන විදිහට මගේ ජීවිතේ අවසන් වෙනවට මම ආසයි. මගේ එකම බලාපොරොත්තුව ඒකයි.
ඔබේ ජීවිතේට කරලා තිබෙන ලොකුම ආයෝජනය මොකද්ද?
සහෝදරයින්ගෙ දරුවො තුන්දෙනා වෙනුවෙන් කරපු දේවල් තමයි මම කරලා තියෙන ලොකුම ආයෝජනය. අනික මම හදපු ගෝලබාල පරපුර. ඒ හයිය මට ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.