අනන්ත දුක්ගැහැට, වධ වේදනා සහ අහිමිවීම් මහපොළොවක් සේ අකම්පාව දරාගනිමින් අනුපමේය ශක්තියකින් ජීවිතය අත්නොහැර ජීවිතයට උරදුන් ගැහැනියකි, ඈ. ලෝකය දුටු දෑස් කුරිරු ත්‍රස්තවාදී බෝම්බයකින් අහිමිවීමේ ඛේදවාචකයේ සිට සියලු නොසලකා හැරීම්, අහිමිවීම් මැද ඇය ජීවිතය නම් පුෂ්පය මහා කඳු මුදුනක ඔසවා තබන්නට ගත් ශක්තිය ඇගයුනේ ඇය ලෝකයට බලපෑම් කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරට පත්වෙමින් ලද ජාත්‍යන්තර සම්මානයෙනි. එසේ නොයෙක් තැන්හි නොයෙක් වර අප්‍රමාණ ප්රසංශාවට හා ආදරයට පාත්‍ර වූ ඇය ආශ්චර්යා පීරිස් ජයකොඩිය.
අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්නී ඇයයි.
මගේ ජීවිතයම මේ ගීතය ඇතුළේ තියෙනවා.* මේ විදිහට හිතෙන දැනෙන ගීතයක් තියෙනවද ඔබට?
එහෙම දැනෙන මම මගේම කරගත්ත ගීත කිහිපයක් තියෙනවා මට. ප්‍රියානන්ද විජේසුන්දර ලියූ සනත් නන්දසිරි සංගීතවත් කර ගැයූ බෝ මළුවේ මල් සුවඳක පැටලී, දේශාංජලී වික්‍රමසිංහ ලියූ ජගත් වික්‍රමසිංහ සංගීතවත් කරමින් ගැයූ ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා, දිල්ශාන් පතිරත්න ලියූ සංඛ දිනෙත් සංගීතවත් කළ වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් ගයන හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ, චන්දන තිලකරත්න ලියූ උදාර සමරවීර සංගීතවත් කළ, මම හුඟක් පදමාලාවට ප්‍රිය කරන මා සහ විනෝද් අල්විස් ගැයූ මේ මෘදු පවන් රැලි නගයි ජීවිතේ වාගේමයි, පීනු ධර්මකීර්ති ලියූ රධීෂ් වැන්දබෝනා සංගීතවත් කළ තුෂාර ජෝශප් ගැයූ මහමායාවරුනේ ගීත තමයි ඒ. මේ ගීත සමුච්චය තුළ මම පුදුම විදිහට සංවේදී වෙන ගැහැනියක්.
ආශ්චර්යා අසාධාරණ ඉල්ලීමක්යැයි නොසිතා මේ ගීත අතුරින් ඔබ ඔබේම කරගත් එක ගීතයක් ගැන අප කතා කළ යුතුයි. එකම විදිහට ආදරය කරන මේ ගීත පහ අතුරින් අංශුමාත්රයක් හරි වැඩියෙන් දැනෙන ගීතය තෝරාගන්න කීවොත්?
මම තෝරාගන්නම් මහමායාවරුනේ ගීතය.
කියන්න හේතුව ඒ තරම් ඒ ගීතයට කැමති වෙන්න ඒ ගීතය ඔබට සුවිශේෂී ඇයි කියලා?
මිනිස්සු ඇත්ත කතා කරන්න බය වෙන තැන් තියෙනවා සමාජය තුළ, තමන් වැරදි විදිහට විනිශ්චය වෙයි කියන ආකල්පය නිසා. ඒත් මම කවදාවත් මම වින්ද සත්‍ය ඒ ආකාරයෙන්ම කතා කරන්න බය නොවෙච්ච ගැහැනියක්. ඒ ඇත්ත කතා කළේ මම කාගෙන්වත් අනුකම්පාවක් අයදින්න නෙවෙයි. මාව මේ ලෝකෙට බිහිකළ අම්මා ආසාධාරණ හා අනාදරණීය විදිහට මාව අත්හැරියා කියන එක හුඟාක් අය පිළිගන්න කැමති වුණේ නෑ. මගේ මවුපියන් මට හව්හරණක් අවැසිම මොහොතක මාව අත්හැරියා කියන එක ලෝකය පිළිගන්න කැමති වුණේ නෑ. මාව මරණයට පිස්සන් කොටුවට තල්ලු වෙනකම් ඒ අය බලාගෙන ඉද්දි මම පුදුමාකාර ශක්තියක් මිට මොළවාගෙන ජීවිතය අත්නොහැර තනියෙන් ජීවිතයෙන් නැගිට්ට ගැහැනියක්. ඒත් මම මේ ඇත්ත කතා කරද්දි හුඟක් අය මම කියන්නෙ බොරුවක්, මම සමාජගත කරන්න හදන්නේ සමාජ විරෝධී අකල්පයක් විදිහට සලකලා මාව ප්‍රතික්ෂේප කළා. මට මානසිකව වධ දෙන්න උත්සාහ කළා. ඒක හරියට පිහි පහර කෑව එකාට ඉවසගෙන ඉඳපන් පිහියෙන් ඇන්න එකා හොඳයි කියනවා වගේ දෙයක්. මම ඇත්ත කතා කරද්දි ඒ රිදුණෙත් මවක් ගැහැනියක් විදිහට ඇය තුළ තිබිය යුතු ඒ සැබෑ ගුණාංග නැති අයට. ගැහැනියක් දරුවෙක් බිහිකළ පමණින් ඇය මවක් වෙන්නෙ නෑ. ඇය තුළ මව්වත් ගුණ තිබිය යුතුයි. අම්මාගේ ආදරය මහා සාගරයක් වගේ. අම්මා ගෙදර බුදුන් වගේ කියන ආසියාතික සංකල්පය තුළ හුස්ම ගන්න සැබෑ අම්මා කෙනෙක් මේ ගීතය තුළ ඉන්නවා. සැබෑ මව්වත් ගුණ ඇති අම්මා කෙනෙක්ගේ ප්‍රතිරූපයක් දිගහරින මේ ගීතයට මම පුදුමාකාර විදිහට ආසයි.
මේ ගීතයේ ගී පද අතර ඔබේ හිත වැඩියෙන්ම නැවතුණු තැන කොතැනද?
මේ ගීතය පද රචනය, සංගීතය, කටහඬ, මේ සියල්ලෙන්ම පොහොසත් ගීතයක්. මේ ගීතය පටන් ගන්නේ උණුහුම මටම දිදී ඈ හීතලේ හිඳී නෑ තවම දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රුකී ඈ මහ පිරිත වැනී මේ විදිහට. මේ පද ටික අතිශය සංවේදීයි. සැබෑ අම්මා කෙනෙක් මේ වගේ තමයි. දරුවන්ට උණුහුම දී ඇය සීතල විඳගන්නවා. දරුවන් වෙනුවෙන් ඇගේ සතුට පරිත්‍යාග කරනවා. ඇයට දාරක ස්නේහය වෙනුවෙන් කළ නොහැකි කිසිවක්ම නෑ.
ඔබ හුඟක් සමාජශීලී කාන්තාවක්. ඔබ සමාජය හා ව්‍යක්ත ලෙස ගනුදෙනු කරන කාන්තාවක්. ඒ සමාජයීය ගනුදෙනුවලදී, ඔබ දේශන පවත්වද්දි මේ ගීතය ගැන ඔබ කතා කර තිබෙනවද?
ඔව් මම හුඟාක් තැන්වලදී කතා කරන ගීතයක් මේ.. මම අනාථ නිවාසවල දරුවන් බලන්න යන කෙනෙක්. ඒ දරුවෝ මම යද්දි වඩාගන්න කියලා ඇඟේ එල්ලෙනවා. දරුවෙක් වඩාගත්තම ඒ වඩාගත්ත දරුවා බිම තියන්න ඉඩ නොදී කකුල් දෙක ඉණ වටේ ඔතාගන්නවා. මොනවද මේ දරුවෝ ඉල්ලන්නේ. ආදරය හා රුකවරණය. මම හුඟාක් විරුද්ධයි මොන ආගමක වුණත් පුංචි දරුවන් පූජක දිවියට ඇතුළත් කරනවට. මම කියන්නේ දරුවන්ට දරුවන් ලෙස දරුවන්ගේ ලෝකයේ සැරිසරන්න ඉඩ දෙන්න. ඒ දරුවෝ ආසයි අම්මාගේ උණුහුමේ දැවටෙන්න. දුප්පත්කම් හින්දා, දරුවෝ බරක් කියලා හිතලා, නැත්නම් ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර ප්‍රශ්න නිසා ඒ දරුවන් තමන්ගේ තුරුල්ලෙන් ඈත් කරන්න එපා. ඒ දරුවන් ඉල්ලන ආදරය, රැකවරණය, ආරක්ෂාව දෙන්න දරුවන්ට. ලංකාවේ ළමා නිවාස දෙසිය ගණනක් තියෙනවා. දරුවන් බිහිකරන හැම ගැහැනියක්ම සැබෑ මවක් වුණානම්, ඒ දරුවන්ට පීතෘත්වය දුන් පියවරු සැබෑ පියවරු වුණානම් ඒ දරුවන්ගේ ජීවිත ඒ විදිහට අනාථ නිවාසවලට ගාල් වෙයිද? මම විශ්වාස කරන්නේ අම්මා කෙනෙක් වෙන්න ගැහැනියක් දරුවෙක් තම කුසින්ම බිහිකළ යුතු නෑ. මව්වත් ගුණ ඇති හැම ගැහැනියක්ම දරුවෙක් බිහි කළත් නොකළත් සැබෑ මාතෘත්වයෙන් පිරි ගැහැනියක්. මම මේ සියල්ල මීටත් වඩා පුළුල් විදිහට ගැඹුරට මේ ගීතය ගැන කියමින් කතා කරනවා.
මවකගේ ආදරය නොලද දරුවෙක් විදිහට මේ ගීතය අහද්දි ඔබට මහා වේදනාවක් කම්පනයක් දැනෙනවද?
ඔව්. ලොකු වේදනාවක් කම්පනයක් දැනෙනවා. හැබැයි මගේ අම්මා වගේ දාරක ස්නේහය හදවතේ නැති අම්මා කෙනෙක් වුණේ නෑ මම. මම දරුවන් ළඟ හරිම සංවේදීයි. හැබැයි ඒ වගේම මම මගේ දරුවන්ට සැරයි. ඒ සැර දරුවන්ට කිරිහොද්දක් වගේ කැටිගැහිලා යන්න දෙන්න බැරි නිසා. නැණ පමණක් ඇති හිස් හදවත් ඇති දරුවන් නෙවෙයි ගුණ ඇති ගුණ නැණ දෙකම ඇති ගුණයෙන් බබළන දරුවන් මගේ ප්‍රාර්ථනය. මම අම්මා කෙනෙක්ගේ ආදරය නොලදත් මම හුඟාක් සංවේදී ආදරණීය අම්මා කෙනෙක්. ඒ නිසා මේ ගීතය අහද්දි කම්පනයක් වගේම මම ප්‍රගුණ කළ මව් ගුණ පිළිබඳ ආදරයකුත් මට දැනෙනවා. අම්මා කෙනෙක්ගේ ආදරය නොලබපු මගේ හදවතේ එක් පැත්තක ලොකු තුවාලයක් තියෙනවා. අනිත් පැත්තේ මගේ දරුවා මාව බදාගෙන ඉඹිනවා. ඒ දරුවා මගේ ආදරය විඳිනවා. ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ.
මේ ගීතය අහද්දි ඔබ වඩාත්ම සංවේදී වූ අවස්ථාවක් තියෙනවද?
දවසක් මගේ දරුවෙක් එක්ක මේ ගීතය අහද්දි මගේ දරුවා ඇහුවා අම්මේ මගේ අම්මා ගැන නේද මේ සින්දුවෙන් කියන්නෙ කියලා. එහෙම කියලා ඒ දරුවා මාව බදාගත්තා. විනාඩි ගණනක් එයා මාව ආදරයෙන් බදාගෙන හිටියා. වචනයෙන් නොකීව හුඟාක් ගැඹුරු බැඳීමක් ආදරයක් ගැන ඒ දරුවා මට ඒ මොහොතේ නිහඬවම කියලා දුන්නා. ඒ මොහොත හරි සංවේදීයි. මේ ගීතයේ කියනවා අම්මා මහ පිරිතක් කියලා. මේ ගීතය තරම් මව්වරුන්ගේ හැබෑ ගුණ කියවෙන තවත් ගීතයක් තියෙනවද හිතෙන තරම් මේ ගීය මගේ හිතට දැනුණා.
ඔබේ ආදරණීය සැමියාගේ මව ළඟදි ඔබ අම්මා කෙනෙක්ගෙන් ඉල්ලන ආදරය ඔබට ඇත්තටම දැනුණද?
ඔව්. එක් වතාවකට සිය දහස් වතාවක් දැනුණා. ඒ අම්මා මගේම අම්මා. ඇය ඒ තරම් ආදරණීය ගුණ යහපත් අම්මා කෙනෙක්. මට ඇය සැලකුවේ ඇගේ පුතාගේ බිරිඳ කියන හැඟීමෙන් නොවෙයි. මට ඇගේ දියණියක් කියන හැඟීමෙන්. මගේ දරුවන් රැකබලා ගනිමින් ඒ දරුවන්ට ඒ අම්මා තාත්තා දෙන ආදරයත් මහා පුදුමාකාර ආදරයක්. මම පුදුමාකාර කෘතවේදීත්වයකින් ඒ ආදරය ඒ මව්වත් ගුණය සිහිපත් කරන්නේ.
මේ ගීතයේ අර්ථය සංක්ෂිප්ත කර ඔබ සමාජයට දෙන පණිවිඩය කුමක්ද?
මම කියන්නේ සැබෑ අම්මා කෙනෙක් වෙන්න නොහැකි වීම ගැහැනියක් මේ සමාජයට කරන සමාව දිය නොහැකි වරදකටත් වඩා බරපතළ අපරාධයක්. ඒ අපරාධයට උරදෙන්න එපා කියලා මම හැම ගැහැනියකගෙන්ම ඉල්ලන්නේ. හොඳ සමාජයක් වෙනුවෙන් නැණ පමණක් නොව ගුණත් ඇති දරුවන් සමාජයට දායාද කිරීමේ මූලික යුතුකම වගකීම තියෙන්නේ ඇගේ අතේ. දරුවන් අත්හරින්න අතරමං කරන්න එපා. එහෙම කරන්න පුළුවන්නම් ඒ අම්මා කෙනෙක්ද? සැබෑ අම්මා කෙනෙක් වෙන්න බැරිවීම ගැහැනියකගේ වරදක්. සමාජයේ අපරාධ හැමදේටම තිත තියන්න ගැහැනියකට පුළුවන් ඇය මවක් ලෙස ඇගේ කාර්යභාරය හරියට ඉටු කරනවනම්. මේ ගීතයේ ඉන්නවා සැබෑ අම්මා කෙනෙක්. ඒ අම්මාව කියවන්න. එවන් මවක් වී සාරවත් ආදරණීය ලෝකයක් ගොඩනගන්න උදව් වෙන්න. ඒකයි මම මේ සමාජයෙන් ඉල්ලන්නේ.