2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

කාටවත් නොපෙනෙන්න කොට්ටය බදාගෙන මම ඇඬුවා

2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01238

ඉෂාන් දකුණු පළාතේ කොල්ලෙක්. අපි ඒ ගමෙන්ම කතාව පටන්ගමු....?
ඔව්... මගේ ගම මාතර කැකණදුරේ. මගේ පවුලේ අම්මයි‍, තාත්තයි, නංගියි මමයි ඉන්නේ. අම්මයි, තාත්තායි පුංචි ව්‍යාපාරයක් කරනවා.

පාසැලේදී ඉෂාන් මොනවගේ චරිතයක්ද.....?
මම ඉගෙනගත්තේ මාතර මධ්‍ය මහ විද්‍යාලයේ. පාසැලේදී මම ටිකක් දඟකාර චරිතයක්. කට්ටියගේ අවධානය දිනාගන්න මම කැමති කෙනෙක්. සාමාන්‍ය පෙළ කරන කාලේදී මම මියුසික් ට්‍රුක් කිහිපයක් කළා. ඒවා කළේ මගේ යාළුවන් එක්ක එකතුවෙලයි. මට ඒවාට සල්ලි එකතු කරල දුන්නෙත් මගේ යාළුවෝමයි. පාළු දෙනෙතේ කියන ගීතය ලියලා දුන්නේ මගේ ජනක කියන යාළුවයි. ඒක අපේ විනෝදයට අපි කරපු පුංචි දෙයක්. ඔය කාලේදී මම ඒ ගීතයට වීඩියෝ එකකුත් කළා. ඒ වගේ දේවල්වලින් මම මේ ක්ෂේත්‍රයට එන්න ආසා කළා. ඒ සම්බන්ධව මට කිසිම ආභාෂයක් තිබුණේ නැහැ. හැබැයි ඉස්කෝලේ යන කාලේදීම මට නළු උණ තිබුණා.

පුංචි කාලේ ඉඳන් ඉෂාන් ඕන වුණේ කවදා හරි රංගන ශිල්පියෙක් වෙන්නද? ඒකද හීනය වුණේ?
ඇත්තම කිව්වොත් එහෙම මට එක අරමුණක් තිබුණේ නැහැ. මම නිතරම වෙනස් වෙන කෙනෙක්. මට චිත්‍ර අඳින්න පුළුවන්. පාසැලේදී තිබුණ චිත්‍ර ප්‍රදර්ශනවලටත් මම චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ නිසා කාලයක් මම චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආසා කළා. හොඳ ගුරුවරයෙක් ඇවිත් අපිට උගන්නද්දී මම ගුරුවරයෙක් වෙන්න ආසා කළා. ගායකයෙක් වෙන්න, නිරෑපණ ශිල්පියෙන් වෙන්න ආස කළත් කාලෙන් කාලයට මගේ හීනය වෙනස වුණා. හැබැයි උසස් පෙළ කරද්දී නම් මගේ ලොකුම හීනය වුණේ මම කොහොම හරි නළුවෙක් වෙනවා කියලමයි. කාගේත් අවධානය දිනා ගන්න මට ඕනවුණා. මට දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ හැම දෙයක් එක්කම අනින් අයට වඩා වෙනස් වෙන්න මට ඕනවුණා. ඒ නිසා කවදා හරි දවසක මම දක්ෂ රංගන ශිල්පියෙක් වෙනවාමයි කියන හීනය මට තිබුණා. 

ඒ හීනය ගැන ගෙදරින් දැනගත්තම ලැබුණු ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් අම්මලා තරවටු කරන විදිහටම මේකටත් මට ප්‍රතිචාරය ලැබුණා. මම උසස් පෙළට කලා අංශයෙන් ඉගෙන ගත්තේ. මුල් වතාවේ චිත්‍ර ප්‍රශ්න පත්තරය ලියලා ගෙදර ගියාට පස්සේ මට අනතුරක් සිදුවුණා. ඒ නිසා ඒ අවුරුද්දේ අනිත් විෂයයන් මට ලියන්න  ලැබුණේ නැහැ. දෙවැනි වතාවට විභාගය ලියන්න මාස හයක් තියෙද්දී මම විෂයන් මාරු කරලා නාට්‍යකරණය තෝරාගත්තා. උසස් පෙළ සමත්වෙලා මාව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. නමුත් විශ්වවිද්‍යාලයට තේරෙන්න කලින් ගෘහ නිර්මාණ ශිල්පයට මගේ අවධානය යොමුවෙලා තිබුණේ. ඒ නිසා මම විශ්වවිද්‍යාලයට යන ගමන නතර කළා. 

ඔය කාලයේදී ඉෂාන්ගේ හීනයටත් ටිකින් ටික ළංවෙන්න පොඩි අවස්ථාවල් ලැබුණා නේද?
ඔව්... නළු පිස්සුව මට දැනුණට පස්සේ කොහොමද මේකට යන්නේ කියලා මම හොයලා බැලුවා. ඒ ගමනේදී මගේ යාළුවෙක්ගේ යාළුවෙක් නිවේදනය ඉගෙන ගන්න කොළඹට ආ ගමන ගැන මට ආරංචි වුණා. ඒ යාළුවගේ මාර්ගයෙන් මම හරි ක්‍රියේෂන් එකේ එරන්දගේ ‌ෙනාම්බරය ලැබුණා. ඒ ඔස්සේ තමයි මට මුලින්ම මියුසික් වීඩියෝවක පසුතල චරිතයකට එන්න අවස්ථාව ලැබුණේ. ඒ ආපු ගමන තමයි මේ.

ඒ ගමන ලේසි වුණාද?
කොහෙත්ම නැහැ. පුදුමාකාර දුකක් වින්දේ. මාතර ඉඳන් මේ වැඩ හොයාගෙන එද්දී කොළඹ මට නවතින්න තැනක් තිබුණේ නැහැ. ඒ කාලේ අධිවේගී තිබුණෙත් නැහැ. මම පාන්දර දෙකට තුනට වගේ මාතර බස් එකෙන් නැගලා කොළඹට ආවා. ඒ එන හැම දවසකම වගේ ගෙදරින් මට බැන්නා. පිස්සු වැඩ නොකර ගෙදර නවතින්න* කියලා. ඒත් මම උදේ කොළඹ කොටුවට ඇවිත් එතැනින් මගේ දවසේ ගමන පටන් ගත්තා. ඒ දවස්වල ගෙදරින් වියදමට ලොකු ගාණක් දුන්නෙත් නැහැ. ඒ නිසා ත්‍රීවීලර් වලින් යන්නේ නැතිව හැමදාම මම ගියේ බස්වලයි. සමහර දවස්වල කිලෝමීටර් ගණනක් පයින් ගියපු කාලයක් තිබුණා. කොළඹ නවතින්න තැනක් නැති නිසා හැමදාම රූ කීයට වුණත් කොටුවට ගිහින් මාතරට ගියා. ඒ දවස්වල පසුතල චරිතවලට ලැබුණේ බත් පාර්සල් එක විතරයි. කිසිම ප්‍රවාහන පහසුකමක් තිබුණේ නැහැ. සමහරදාට පාන්දර දෙකට තුනට ගෙදරින් ආපු මම පහුවදා පාන්දර දෙක තුනට ගෙදර ගියපු දවස් තිබුණා. උසස් පෙළ කරන වයසේ ළමයෙක් එහෙම ගෙදරින් යන එන එක ගැන, ඒ දුක ගැන අම්මලාට ලොකු ප්‍රශ්නයක් තිබුණා.

ඉෂාන් අවුරුදු කුමරා තරගවලටත් ඉදිරිපත් වුණා නේද?
ඔව්.... අවුරුදු කිහිපයකම මම රූපවාහිනී නාලිකාවල තිබුණ අවුරුදු කුමරා තරගවලට ඉදිරිපත් වුණා. ඒවාට නම් අම්මලා මට ටිකක් උදව් කළා. මට ඇඳුම් අරන් දීලා මාව කොළඹ එක්කගෙන ආවේ ඒ අයයි. හැබැයි ඒ කිහිපවතාවකදීම මට ජයග්‍රහණ හිමිවුණේ නැහැ. හැබැයි අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ මම මේ මොනවද කරන්නේ* කියලා මටම හිතුණා.

ඒ කලකිරීමත් එක්කද ඉෂාන් ජපානයට යන්නේ?
ඔව්... ඒ වෙද්දී මාව සෞන්දර්ය විශ්ව විද්‍යාලයට, විද්‍යා පීඨයට තේරී පත්වෙලා තිබුණා. මම ඒවාට ගියේ නැහැ. මට පෞද්ගලික ආයතනයක හොඳ රුකියාවට අවස්ථාව ලැබුණා. මට ඒකටත් ගියේ නැහැ. ඒ හැමදේම  නවත්තලා මම ජපානයට ගියා. ඒ 2017 අවුරුද්දේ අප්‍රේල්. ටික කාලයක් මම ජපානයේ ඉගෙන ගත්තා. ඔය කාලයේදී ජපානයේ කබුකි ඩ්‍රාමා පාසලේ මට අර්ධකාලීන රැකියාවක් ලැබුණා. ඒ නිසා ජපන් පාසලෙන් අයින්වෙලා මම ඒ රැකියාවට ගියා. ඒ නිසා මටත් ඒ කලාව ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. හැබැයි ජපන් භාෂාව ඒතරම් දන්නේ නැති නිසා මට ඒක වැඩිය තේරුණේ නැහැ. දවසක් මම පාරක ඇවිදගෙන එද්දී ෆිල්ම් එකක් රෑගත කිරීම් කරනවා දැක්කා. එදා මට ආයෙත් ලංකාවට එන්න ඕන වුණා. මම මගේ කාමරයට ගිහින් අම්මලාට කෝල් කරලා &මම ආයෙත් ලංකාවට එනවා* කියලා කිව්වා. ඒ නිසා හරියටම මගේ වීසා එක ඉවරවෙන්න දවස් පහක් තියලා මම ආයෙත් ලංකාවට ආවා. 

ජපානයේ ඉඳලා ආයේ ලංකාවට ඇවිත් ඉෂාන්ගේ පෙර පුරුදුම මතුවුණාද?
ඔව්... ඔව්... ආයෙත් මම නාට්‍ය පස්සේ දිව්වා. ඒ කාලේ ජපානයේ ඉඳන් එකතු කරගත්තු සල්ලි ටිකකුත් තිබුණ නිසා මුල් කාලයේදී වගේ පයින් කිලෝමීටර් ගාණක් ඇවිද්දේ නැහැ. ඒ නිසා ත්‍රීවීලර්වල ගියා. කොළඹට ඒසී බස්වල නැගලා ආවා. ඔය වෙද්දී ඉසුරු අයියත් (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි) එක්ක මම Fb එකේ Chat කරලා තිබුණා. ඉසුරු අයියත් මාතර කෙනෙක්. ඉතින් දන්න කියන අයව ආයෙත් හම්බවෙන්න යද්දී මට ඉසුරු අයියාවත් ගිහින් මුණගැහුණා. ඉසුරු අයියා කියන්නේ බොහොම හොඳ චරිතයක්. මාව ලොකේෂන් එකකට ගිහින් අතහැරියේ නැහැ. හැබැයි මල්ලී මේක ඉගෙනගෙන කරපන්... උඹට මේක පුළුවන්. ඉවසපන් කියලා වටිනා උපදෙස් ටිකක් ලබලා දුන්නා. ඒ ලබාදුන් ගුරුහරුකම් මගේ ජීවිතේට හරියට වටිනවා. ඔහුගෙන් මට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා. ඔහු තමයි මගේ ගුරුවරයා. අදටත් මට මොකක් හරි ප්‍රශ්නයක් ආවත් මට ඉසුරු අයියට කියන්න හැකියාවක් තියෙනවා. ආයෙත් මට පෙර පරිදිම පසුතල කිහිපයකටම දායක වෙන්න ලැබුණා. ආයෙත් ලොකු කට්ටක් කෑවා. සමහර දවස්වලට මම ගැනම ලොකු දුකක්, කලකිරීමක් තරහවක් ඇතිවුණා. ඔය අතරේ 2019 අවුරුද්දේ සිරස අවුරුදු කුමරා තරගයට ආයෙත් ඉදිරිපත් වෙලා මම &අවුරුදු කුමරා* ලෙස ජයග්‍රහණය කළා. එතැනදී &නීල පබළු* ටෙලිනාට්‍යයේ මනුලගේ චරිතයට මට අවස්ථාව උදාවුණා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

මේ දිනවල ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන දාම් ටෙලිනාට්‍යෙයත් ඩිලාන් වික්‍රමකීර්ති අධ්‍යක්ෂණය කරන Bro ටෙලිනාට්‍යයේත් ඉෂාන් සම්බන්ධ වෙලා ඉන්නවා?
තුෂාර තෙන්නකෝන් මහතා අධ්‍යක්ෂණය කළ රාවණා ටෙලිනාට්‍යයේ මයුරාජගේ චරිතය මට රඟපාන්න අවස්ථාව ලැබුණා. එතැනදී තමයි මට යෂ් අයියව මුණගැහුණේ. යෂ් අයියා ඉතා හොඳ මනුස්සයෙක්. හොඳ ගුරුවරයෙක්. සහෝදරයෙක්. යෂ් අයියාගේ මාර්ගයේ මට Bro ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඩිලාන් අයියා කසුන්ගේ චරිතයට මාව යොදාගත්තා. දවසක් Bro එකේ රඟපාද්දී එහි නිෂ්පාදක ගයාන් දිනේෂ්  අයියා මාව දැකලා මට ධනුෂ්ක රත්නායක මහතාව මුණගැස්සුවා. ධනුෂ්ක අයියා මට මිගාර සහ විසල් කියන චරිත දෙක ලබලා දුන්නා. ධනුෂ්ක අයියා ඉතා හොඳ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ධනුෂ්ක අයියා මේ චරිත දෙකේදී මගේ කොණ්ඩය පවා වෙනස් කළා. ඉදිරියේදී අහස් මාලිගා ටෙලිනාට්‍යයෙනුත් මාව දැක බලාගන්න පුළුවන් වේවි.

අද මොකද හිතෙන්නේ...?
කෑගහලා කියන්න තරම් සතුටක් දැනෙනවා. මුල් කාලේ කොළඹට ඇවිත් දුක් විඳලා පසුතල චරිතයක් කරලා ගෙදර ගියාම ඒකෙදි මාව පෙනෙන්නේ නැතිවුණාම තනියම, කාටවත් නොපෙනෙන්න අඬපු දවස අනන්තවත් තිබුණා... මගේ ඇස්වලට ගලපු කඳුළු ගැන දන්නේ මගේ ඇඳේ කොට්ටේ විතරයි. ගෙදර අයට ඇහේවි කියන බයට කොට්ටේ තුරුල් කරගෙන අඬපු දවස් තිබුණා. එක දවසක් කොළඹ ඇවිත් ෆිල්ම් එකක් කරන තැනකට ගිහින් මට පොඩි කෑල්ලක් රඟපාන්න දෙනවාද කියල අහපු දවසක් තිබුණා... හැබැයි මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අම්මා සල්ලි දුන්නත් බඩගින්නේ කොළඹ ඇවිදලා ඒ සල්ලි  තවත් දවසකට වියදම් කරන්න ඉතිරි කරගෙන වතුර ටිකක් බීලා ගෙදර ගියපු දවස තිබුණා. අද මම නිසා මගේ අම්මා තාත්තා, නංගි සතුටින්. අද මම සතුටින්. මේ තැනට මට එන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියනවා.

 

                       සේයාරූ I සුමුදු හේවාපතිරණ