2021 මාර්තු 06 වන සෙනසුරාදා

එහා රටේ මඟුල් ගෙයක්!

2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:0035

බොලිවුඩයට හිතැති ඕනම කෙනෙක් රන්බීර් සහ ආලියා භාත්ගේ ආදර අන්දරය ගැන නොදැන ඉන්න විදියක් මේ වෙද්දී නම් තියෙන්න විදියක් නැහැ. මේ දවස්වල මේ දෙන්නා ඔවුන්ගේ විවාහයට ලහිලහියේ ලෑස්තිවෙන බව තමයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. ඔවුන් තමන්ගේ ආදර කතාව නොසඟවා ලෝකයටම ප‍්‍රකාශ කොට ඇති නිසා ඔවුන් දෙදෙනා බොහෝ විට එකටම සිටින අයුරැ ඕනම කෙනෙක්ට දැකගන්නට ලැබුණා. මේ වනවිට රන්බීර් ආලියා සිහින දකින විදියේ නිවසක් ඔවුන්ගේ කරගන්න උත්සාහ කරන බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. 

මාධ්‍ය වාර්තාවලට අනුව විවාහයට පෙර ආලියා වෙනුවෙන් රන්බීර් තම නිවස අලංකාර කිරීමට උපරිම උත්සාහයක් දරමින් ඉන්න අතර ඔහු ගෘහ නිර්මාණ කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් දරමින් ඉන්නවා. ආලියාගේ සුන්දර ඡායාරූපවලින් නිවස සම්පූර්ණයෙන්ම අලංකාර කිරීමට රන්බීර්ට අවශ්‍යව ඇත. රන්බීර්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ ඡායාරූප කිහිපයක් නිවස තුළ සවිකර එවා සිහිවටනයන් වශයෙන් තියාගන්නට ආලියා උත්සාහ කරන බවත් කියැවෙනවා.
මේ වනවිටත් ආලියා සහ රන්බීර් විවාහ නොවුණත් එකට ජීවිතය ගතකරන බව නොරහසක්. කොරෝනා වෛරසය රටපුරා පැතිරී නොතිබුණේ නම් මේ වනවිටත් තමන් ආලියාව විවාහ කරගෙන බව සම්මුඛ සාකච්ඡාවකදී රන්බීර් පවසා තියෙනවා. එමෙන්ම ආලියා සහ රන්බීර් 2020දී විවාහ වී කල්ගෙවන බවත් විවාහ උත්සවය කොරෝනා වෛරස් වසංගතය් හේතුවෙන් පැවැත්වීමට නොහැකිව තියෙනවා.

එහෙත් සජීවී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර විවාහය ගැන ආලියා ප‍්‍රකාශ කර තිබුණේ තමන්ට තවමත් වයස අවුරැදු 27ක් බවත් විවාහ වීමට තවත් කාලය තියෙන බවත්ය. එහෙත් මේ වනවිට ආලියා සහ රන්බීර් දෙදෙනාම ඔවුන්ගේ විවාහය වෙනුවෙන් කඩිමුඩියේ ලක ලෑස්තිවෙන බව ඉන්දියාවේ බොහෝ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

ආලියා භාත්ගේ සහ රන්බීර් කපූර්ගේ ආදර කතාව ආරම්භ වූයේ අවුරැදු 7කට පමණ පෙර සුප‍්‍රසිද්ධ සිනමාපට නිෂ්පාදක කරන් ජෝහර්ගේ ඉතාම ජනප‍්‍රිය රෑපවාහිනී වැඩසටහනක් වන කොෆී විත් කරන් වැඩසටහන අතරතුර බවයි පැවසෙන්නේ. 2014 දී මෙම වැඩසටහන අතරතුර රන්බීර් ගැන දැඩි ආදරයක් ඇතිවූ බව ආලියා කියනවා. ඒ විතරක් නොව තමන් හමදේම අතහැර රන්බීර් එක්ක විවාහවෙන්න කැමති බවත් ඇය වැඩසටහන අතරතුර කියනවා. ඒ වනවිටත් රන්බීර් කපූර් කත‍්‍රිනා කයිෆ් එක්ක ආදර සම්බන්ධතාවයක් පැවැත් වූ අතර ආලියාගේ භාත්ගේ මේ ප‍්‍රකාශයෙන් අනතුරැව ආලියා සහ රන්බීර් ගැන ඉන්දියාවේ පුවත්පත්වල ප‍්‍රධාන මාතෘකා බවට පත්වුණා.

කොෆි විත් කරන් වැඩසටහන අතරතුර ආලියා භාත් විසින් කරන ලද පාපොච්චාරණයෙන් ටික කාලයකට පසුව රන්බීර් සහ කත‍්‍රිනා අතර මත ගැටුම් ඇතිවී ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වූ අතර රන්බීර් සහ ආලියා භාත් එකිනෙකාට ආදරය කරන බව හින්දි සිනමා ක්ෂෙත‍්‍රයේ කටකතාවක් පැතිරෙන්නට පටන් ගත්තා. 2018 වසරේදී පැවැත්වුණු සෝනම් කපූර්ගේ විවහ උත්සවයේදී ඒ කටකතාව කටකතාවක් නොව සත්‍ය බව ආලියා භාත් සහ රන්බීර් කපූර් ගේ හැසිරීම්වලින් ඔවුන් තහවුරු කළා. සෝනම් කපූර් පිළිගැනීමට ආලියා සහ රන්බිර් දෙන්නාම එක්වීම ගැන හැමෝම වගේ මවිතයට පත් කරන්නක් වුණා. එදා සිට මේ වෙනකම් ඔවුන් දෙදෙනාම ප‍්‍රසිද්ධියේ එකිනෙකාට තමන්ගේ ආදරය ප‍්‍රකාශ කර ගනිමින් සිටින අතර ඔවුන් දෙදෙනා මනාලයෙක් මනාලියක් ලෙසින් දැකගන්න ඔවුන් දෙන්නාට ආදරය කරන රසික රසිකාවියන් බලාගෙන සිටින අතර ඒකට වැඩි දවසක් බලා සිටින්නට සිදු නොවනු ඇත.