2021 මාර්තු 13 වන සෙනසුරාදා

අර විදිහට බෑ කීවා මේ විදිහට හා කීවා

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

කරීනා කපූර් ඛාන් දෙවැනි වරටත් මව් පදවිය ලැබුවා කියන එක මේ වන විට හින්දී සිනමාවට ප්‍රිය කරන සිනමාලෝලීන්ට අලුත් ආරංචියක් නෙවෙයි. පෙබරවාරි 21 වැනිදා කරීනා තම දෙවැනි පුතුව බිහි කළේ සිසේරියන් සැත්කමක් මගින් කියන එකනම් සමහරවිට ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්. කරීනා විතරක් නෙවෙයි තවත් බොහෝ හින්දී සිනමා තාරකාවියන් විවිධ හේතූන් නිසා සී කාණ්ඩයේ සිසේරියන් සැත්කම් කරීනා වගේම තම දරුවා මෙලොවට බිහිකරන්න තෝරාගෙන තියෙනවා. අන්න ඒ සී කාණ්ඩයේ සිසේරියන් සැත්කම් මගින් තමන්ගේ දරුවන් මෙලොවට බිහි කළ සිනමා තාරකාවියන් කවුද?

1. කරීනා කපූර් ඛාන් 

වයස අවුරුදු 40ක් වන කරීනා කපූර් තම පළමු පුතු තයිමූර්ද සී කාණ්ඩයේ සිසේරියන් සැත්කමක් මගින් ප‍්‍රසූත කරන ලද අතර තයිමූර්ගේ උපතින් මාස කිහිපයකට පසුව කරීනා නැවත සිය සිරුර හැඩව පවත්වා ගැනීමට අවශ්‍ය කරන ව්‍යායාම ආරම්භ කළ අතර මාස කිහිපයක් යන්නට මත්තෙන් ඇය තම සිරුරේ පෙනුම වෙනස් කර ගන්නට සමත් වුණා.

2. මලයිකා අරෝරා 

සරාගී මලයිකා අරෝරාගේ විලාසිතාවලින් ඇය තම රසික රසිකාවියන් උමතු කරවනවා. මලයිකා වයසින් ටිකක් වැඩි නිළියක් වුණත් ඇයගේ විලාසිතා හේතුවෙන් ඇයට වයසක් පෙනෙන්නේ නැහැ. මලයිකා තම සිරුර පවත්වාගෙන යන ආකාරය පුදුමයක්. කෙසේවෙතත් අවුරුදු කිහිපයකට පෙරාතුව මලයිකා තම පුත් අර්හාන් මෙලොවට බිහි කරන්නේ සිසේරියන් සැත්කමක් මගිනුයි. රූපය සම්බන්ධයෙන් ගත් කල මලයිකාට හින්දී සිනමාවේ සිටින නිළියන් හැමෝටම සටනක් දෙන්න අදටත් පුළුවන්.

3. කාජෝල් 

හින්දී සිනමාවේ ජනප්‍රිය දඟකාරියක් වන කාජෝල් දරුවන් දෙදෙනකුගේ මවක්. කාජෝල් 2003 දී තම දියණිය නියාසා බිහි කරන අතර 2010 දී පුත් යුග් බිහි කරනවා. කාජෝල් තම දරුවන් දෙදෙනාටම ජන්මය ලබා දෙන්නේ සිසේරියන් සැත්කම් මගිනුයි.

4. ශිල්පා ශෙට්ටි

රෑපයෙන් ඉතාම හැඩකාරියක් වන ශිල්පාද මෙම ලැයිස්තුවට ඇතුළත් වෙනවා. ශිල්පා 2009 දී රාජ් කුන්ද්‍රා සමඟ විවාහ වුණු අතර ඇය 2012 වසරේදී මවක් බවට පත්වුණා. ඔවුන්ගේ පුත් විවාන්ද සී කාණ්ඩයෙන් මෙලොව ජන්ම ලාභය ලද අතර 2020 දී රාජ් කුන්ද්‍රා සහ ශිල්පා ශෙට්ටිගේ දියණිය සමීෂා ජන්මය සිදුව ඇත.

5. මන්දිරා බේඩි

මන්දිරා බේඩි ගැන අපේ රටේ අයට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ නේද? මන්දිරා විවාහවෙලා වසර 12කට පස්සේ තම පුතු වීර්ව 2011 දී බිහි කළා. මන්දිරා බේඩිද සිසේරියන් සැත්කමක් මගින් තමයි තම පුතුට ජන්මය ලබා දෙන්නේ.

6. ලාරා දත්තා 

විශ්ව රූ රැජනියක් ලෙසින් කිරුළු පැළඳි හැඩකාර නිළියක් වන ලාරා දත්තා විවාහ වුණේ ටෙනිස් ක්‍රීඩක මහේෂ් භූපති එක්කයි. ඔවුන් දෙදෙනාට සයිරා භූපති නමින් දියණියක් සිටින අතර සයිරා මෙලොවට බිහිවු‍ණෙත් සිසේරියන් සැත්කමක් මගිනුයි. ලාරා අදටත් පෙර මෙන්ම සූරූපී විදියට තම සිරුර කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යනවා.