ආදරය ප්‍රේමයක් බවට පරිවර්තනය නොවන තාක්, ආදරය ආදරය විදිහට කිසිම කිලුටක් නොරැඳී පවතින තාක්, ආදරය ප්‍රකාශයක් නොවූ ප්‍රකාශයක් වී පවතින තාක්, ඒ තමා හැඟීමක චමත්කාරය උපරිමයෙන්ම දැනෙන තැන..
මම දන්නෙ නැහැ ඔයාගේ උත්තරය ඒ ගැන.. ඒත් මම ඔයා එක්ක කතා කරන්නේ මට දැනෙන දේ..
ඉල්ලීම්, බලාපොරොත්තු, තහංචි, වාරණ මේ කිසි දෙයක් එපා ආදරයට.. ආදරය සහ නිදහස විතරක් ඉතුරැ කරන්න ආදරය ළඟ.. ඒ මම හිතන විදිහ.. මම දන්නෙ නෑ ඔයා හිතන විදිහ... මට අහන්න ඕනෙත් නෑ ඔයා හිතන විදිහ..
ඒ මම - මම වෙන්න ඕනෑ නිසා සහ ඔයා - ඔයා වෙන්න ඕනෑ නිසා... හැබැයි ඒ මම සහ ඔයා තුළ අපි දෙන්නම අපි දෙන්නට දැනෙන්න අපි හුස්ම ගන්නත් ඕනෑ. අපි කවුරුත් අනෙකා තුළ සංස්කරණය නොවිය යුතුයි වගේම අපේ සංස්කරණය තුළ අනෙකා වෙනුවෙන් අනෙකාට දැනෙන්න මහා අනන්තයක් වගේ ඉඩක් දෙන්නත් ඕනෑ.
එහෙම ආදරයක් ගැන තමා Dia මලයාලම් සිනමා රූපකාරකය තුළ කතා කරන්නේ. ඒ කතාබහ සොඳුරු සංවේදනාවන් දනවන්නක්. ඒ සංවේදනාවන් තමා Dia පටන්ගැන්මේ ඉඳන් අවසානය වන තෙක්ම දිගහරින්නේ.
සිනමාව කියන රූපකාරකය මිනිස්සුන්ව යොමු කරවන්නේ රූප සංජානනයකට විතරක්ම නෙවෙයි. ඒ තුළ ප්‍රතිරෑපවාදයටත් (Imagism) ඉඩක් තියෙනවා. මානවයාගේ කලාත්මක සහ සෞන්දර්යාත්මක විඥානය වර්ධනය වීමේ උච්චතම ප්‍රතිඵලයක් විදිහටයි මම එය නිර්වචනය කරන්නේ. සිනමාව කියන ප්‍රබල ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට පුළුවන් මිනිසුන්ගේ මානව ආධ්‍යාත්මය විතරක් නෙවෙයි විශ්වීය යථාර්ථයත් විනිවිද දකිමින් එය සුගැඹුරුව සහ මානවීය ප්‍රේමයකින් කියවන්න. සිනමාව යනු රූප සහ දෙබස් පමණක් නොවී මිනිස්සුන්ගේ හදගැස්මක් වන්නේ අන්න ඒ කියවීම තුළ හැටියටයි මම විශ්වාස කරන්නේ. ඒ කියවීම තුළ සෞන්දර්යාත්මක මං හොයාගෙන ජීවිතය කියන පාර දිගේ ඔහේ ඇවිදින්න වගේම විචාරයෙන් මානව සංහතිය සහ ලෝකය පිරික්සන්නත් ද්වාර විවර විය යුතුයි කියන තැන මම ඉන්නේ.
මිනිස්සු අනාදරය නිසා වගේම ආදරය නිසාත් ආදරය අත්හරිනවා. ආදරය නිසා ආදරය අත්හරින තැන තමයි මේ ලෝකයේ උත්තරීතරම පරාර්ථය මුණගැසෙන්නේ.
මට හිතෙනවා ඒ තැන තියෙන්නේ ආදරයේ එක බෝසත් පාරමිතාවක් කියලා. අනාදරය නිසා ආදරය අත්හරින තැන රිදුම් අල්පයි. එහෙත් ආදරය නිසා ආදරය අත්හරින්නේ රිදුම් කාටවත් නොදැනෙන්න පිරිමදිමින්. Dia කතා කරනවා ඒ සිද්ධාන්තය ගැන. ආදරයේ බොළඳකම් ගැන වගේම ආදරයේ ගැඹුරු තැන් ගැන.
මම කියන්නේ කොච්චර ගැඹුරින් ආදරය පිරිසිඳ බැලුවත් කමක් නෑ.. ඒත් බොළඳත්වයටත් රැඳෙන්න ඉඩ දෙන්න ටිකක්. එහෙම වෙද්දි ආදරය හරි සෞන්දර්යාත්මකයි. සෞන්දර්යාත්මක බව දනවන තැනක සතුට උපදිනවා. මට හිතෙන්නේ මිනිස්සු සියල්ල කරන්නේ එක දෙයක් වෙනුවෙන්. ඒ තමා සතුට.
ඒත් මට හිතෙනවා සංසාර වීදියෙන් වීදියට මිනිස්සු මරණය ළඟ නැවතෙමින් ආයෙත් කොතනකින් හරි මේ සංසාර ගමන පටන් ගනිමින් හොය හොයා යන ආදරය සහ සතුට ඇත්තටම කවදාවත් මිනිස්සු ඉල්ලන විදිහටම මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ කියලා. ජීවිතය කියන්නෙ කොහේ ඉඳන් කොහාට යනවද කියන්න නොදන්න සුළඟක් වගේ. ඒ අවිනිශ්චිතය නිශ්චිතයන්ගෙන් පුරවන්න අපි දරන සොඳුරැ වෙහෙසකර බව තමා ජීවත්වීම කියන්නේ. කොතරම් දුෂ්කර වුවත් හැර දමා, මඟහැර යා නොහැකි සොයා යාමට තමා අපි ජීවත්වීම කියන්නේ. ඒ ජීවත්වීමේ අවසාන ඵලය විදිහට තමා අපි සන්තුෂ්ටිය හොයන්නේ. ඒත් අපිට ජීවිතයේ වැඩිපුරම මඟහැරෙන්නෙත් ඒ හොයන ඒ දෙයමයි. කවදා හරි දවසක ආදරයෙන් අත්හරින්න බැරිනම් ජීවිතයට කිසිම දෙයක් එකතු කර ගන්න එපා..
අපිට පුළුවන් මගේ සහ මගේම කියන ලෝභකමට පෙම් නොබැඳ යමකට ආදරය කරන්න.. මම විශ්වාස කරන්නේ ලෞකිකත්වය තුළ නිර්වාණය මුණගැහෙන්නේ ඒ කඩඉමේදී. Dia සිනමා රෑපකාරකය පුරාම විසිරෙන්නේ සොයා යාම, හිමිවීම, අහිමිවීම සහ අවිනිශ්චිත බව.
ඔයා දෙවියන් වහන්සේ විශ්වාස කරනවද? මම විශ්වාස කරනවා. මම විශ්වාස කරන්නේ ස්වභාවධර්මය කියන දෙවියන් වහන්සේ. මම ආදරය කරන මම විශ්වාස කරන මගේ දෙවියන් වහන්සේ තමයි ස්වභාවධර්මය. එයා මහා දාර්ශනිකයෙක්. එයා ගුරුවරයෙක් නොවෙයි ගුරු ගීතයක්. මේ සංසාර සුවිසැරිය ගැන හැමදේම එයා එයාගේ තුරුල්ලේ ඉපදෙන මිය යන හැමදෙයක් ඇසුරින්ම අපිට දැනෙන්න ඉඩ අරිනවා. ඔයාට තියෙන්නේ එයාට ළං වෙන්න විතරයි. එයා දිහා බලාගෙන ඉන්න විතරයි. හුදෙකලාව එයා එක්ක කතා කරන්න විතරයි. එයා අපිට ජීවිතය, ආදරය, ලෝකය කියවන්න කියා දෙනවා. වෙනස්වීම් දරාගන්න, අහිමිවීම් විඳගන්න, අත්හැරීම් පිළිගන්න කියා දෙනවා. මම ආසයි Dia එතෙන්ටත් මාව එක්ක ගියා නම්.
ඒත් Dia විශ්වාස කරන දෙවියන් වහන්සේ ඉන්නේ ආදරය තුළ. ඔවුන් සියල්ලන්ම ජීවිතය හොයන්නෙත්, ජීවිතය අත්හරින්නෙත්, ජීවිතය වෙනුවෙන් සියල්ල හොයාගෙන ඇවිදින්නෙත් ආදරය කියන පාර දිගේ. ඒත් මට හිතෙන්නේ ඒ සියල්ල සහ ආදරය හොයාගෙන අපි ඇවිදින්න ඕනෑ.. ස්වභාවධර්මය කියන දෙවියන් වහන්සේ කියා දෙන පාර දිගේ. ඒ පාර දිගේ යද්දි ජීවිතය වැරදෙන්නෙ නෑ. වැරදුණත් ඒ වැරදීම් දරාගන්න ලේසියි.
ඔයා ඒ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. ඔයා ඒ දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඒත් අදහන්න එපා. මේ ලෝකයේ කිසිම දෙයක් ඔයා අදහන්න එපා. මොකද ඇදහිල්ල අවසානයේ අපට දෙන්නෙ එකම දෙයක් විතරයි. ඒ අන්ධ බව. මේ ලෝකයේ හැමදේකම කෙළවරක් තියෙනවා. ඒත් කිසිම දෙයක අවසානයක් නෑ. අවසානයක් නැති හැමදෙයක්ම කෙළවර වෙන්නේ යළි පටන්ගැන්මක් තුළින්.
Dia හරිම ලස්සනට මේ සිද්ධාන්තය ගැන කතා කරනවා. ඒ කතා කිරීම අපිව ගෙනියන අනපේක්ෂිත කැටුව යාම..
ඔහ්.. ඇයි එහෙම වුණේ.. මට හිතුණේ එහෙම..
මම දන්නෙ නැහැ ඔයාට කොහොම හිතෙයිද කියලා.