2021 මාර්තු 20 වන සෙනසුරාදා

ඒ සින්දුව ගැන කියද්දි මට ඇඬෙනවා

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

- දූෂී ලියනගේ

නිරූපණය මාධ්‍ය කර ගනිමින් කලා ක්ෂේත්‍රයට පිවිසි දුෂී රංගනය තුළින් වෙළෙඳ දැන්වීම්, ගීත රූපරචනා සහ චිත්‍රපට සඳහා තම දායකත්වය ලබා දෙමින් කලා ලෝකයේ හෙමින් ගමනක් යන තරුණ ශිල්පිනියකි. එසේම ගීතය කෙරෙහි ඈ දක්වන ඇල්ම නිසාම හැමදාමත් ඇය මගේ නොවන මගේම ගීතය විශේෂාංගයට සුබවාදී ප්‍රතිචාර ලබා දුන් පාඨක සහෘදයෙකි. අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්නී ඇයයි.

කෙනෙක් තමන්ගෙම කරගත්ත ගීතයක් කෙනෙක්ට තියෙන්න පුළුවන්. දුෂී ඔබටත් තියෙනවාද එසේ තමන්ගෙම කරගත්ත ගීතයක්?
පුංචි කාලයේ ජීවිතය ගැන බැරෑරුම් හැඟීමක් තේරුමක් නැති කාලේ පවා මගේ හිතට හුඟාක් දැනුණු ගීතයක් තියෙනවා. ඒ තමා ආචාර්ය  අජන්තා රණසිංහ ලියූ සරත් දසනායක සංගීත  අධ්‍යණය කළ සුජාතා අත්තනායක කියන අපේ ප්‍රවීණ ගායිකාව ගයන පුංචි දවස්වල නින්දට යද්දී කියන ගීතය. 

ඇයි ඒ ගීතයට එච්චර කැමති?
දියණියක් විදිහට මට මගේ තාත්තා එක්ක ලොකු ආධ්‍යාත්මික බැඳීමක් තියෙනවා. තාත්තා කෙනෙක් සැබෑ තාත්තා කෙනෙක් විදිහට ජීවත් වෙනවනම්, දුවකගේ ලෝකයේ වීරයා වෙන්නෙ ඒ තාත්තා. මේ ගීතයෙන් කියන්නේ පුංචි දුවක් මනමාලියක් වී ගෙදරින් යද්දී දැනෙන හැඟීම. තාත්තාගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා මංගල ගමන යන්නට දුවක් සැරසෙන මොහොත කියන්නෙ වචනයෙන් කියන්න බැරි තරම් හැඟීම්බර සංවේදී මොහොතක්. ඔබ මේ කතා කරන මොහොතෙත් මගේ ඇස් දෙකට කඳුළු එනවා ඒ හැඟීම් එක්ක. 

ඒ ගීතය අහද්දී ඔබගෙ හිතට වැඩියෙන්ම දැනුණු පද පේළිය කියන්න?

පියාණනි ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ
එපා හඬන්නට එපා හඬන්නට 
පුංචි මුනුබුරෙක් කැන්දන් එන්නම් මා හෙට දවසේ

කොහොම හැඟීමක්ද ඒ පද ටික අහද්දී දුවක් විදිහට දුෂීට දැනෙන්නේ?
ඒ පද ටික ඇහෙද්දී තාත්තා කෙනෙක් සහ දුවක් හුඟාක් හැඟීම්බර වන සංවේදී වෙන විදිහ හුගාක් ගැඹුරින් දැනෙනවා. ඔයාගෙ පුංචි කුමාරිය වෙන්වෙලා යද්දී ඔයාට දුකයි තමා තාත්තේ.. ඒත් අඬන්න එපා.. මම ඔයාට පුංචි මුනුබුරෙක් අරගෙන එන්නම් ලස්සන තෑග්ගක් විදිහට. ඒ තාත්තාගේ හිත සනසන්න දුව අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඒ වචන ටිකට ඇත්තටම මම ආසයි නෙවෙයි හුඟාක් ආදරෙයි. 

දුෂී මේ ගීතය එක්ක හිතින් ඇවිදගෙන යනවද ඔයත් ඔයාගෙ අතීතයට? 
ගැහැනු දරුවෙක්ගේ සුන්දරත්වයත් එක්ක තමයි මේ ගීතය ලියවී තියෙන්නේ. 

දුවක් යහපත් ලස්සන සිතුවිලි එක්ක හොඳ ගුණධර්ම පිළිවෙත් එක්ක හැදුණම හුඟාක් ලස්සනයි. ඇය අනාගත සුන්දර බිරිඳක් මවක් සමාජයේ යහපතට උරදෙන ගැහැනියක් වෙනවද, නැත්නම් ඇය වධක අසුන්දර යණියක් වගේ ගැහැනියක් වෙනවද කියන දේ තීරණය වෙන්නෙ ඇගේ හදවතේ සුන්දරත්වය,ගුණධර්ම සහ පොහොසත්කම මත. ගැහැනු දරුවෙක්ගේ ලෝකය මම දකින්න කැමති  ලස්සන පාට පිරුණු ලෝකයක් විදිහට. ඒ පාට ලෝකයෙන් එහාට එයා ආදරය කළ මල් බෝනික්කන් පාට ගවුම්වලින් එහා ඉරණම් ගමනකට තාත්තාගේ ආශිර්වාදයත් අරගෙන මනමාලියක් වී අලුත් ජීවිතයක් හොයාගෙන යද්දී ඒක හරිම සුන්දරයි වගේම වේදනාත්මකයි. මමත් ඔය හීනය දැක්කා. ලස්සන මනමාලියක් වෙන්න මමත් හීනයක්  දැක්කා. විවාහය කියන ඉරණම් ගමනත් එක්ක අලුත් අත්වැලක් එක්ක පටන්ගන්න ජීවිතය සුන්දර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
ඒත් මව්පියන් නෑදෑයන්ගෙන් වෙන්වෙලා ඒ වෙන්වීම් දරාගෙන ඉරණම් ගමනක් යන්න දුවක් හීන දකිනවා.

විරහව ගීතයට ප්‍රස්තුත වෙද්දී එහි රසය ඔබ ප්‍රිය කරන රසයක්ද?
ඔව්.. විශේෂයෙන්ම නන්දා මාලනීගේ මම කැමති විරහව ගැන කියවෙන හුඟාක් ගී තියෙනවා. ඇය ගයන කඩමණ්ඩියේ දොළ අයිනේ කියන ගීතය මම කැමතිම විරහව දනවන ගීතයක්. ආදරයක් විඳිද්දී දැනෙන සතුට වගේම තමයි ආදරයක් අහිමි වෙද්දී දැනෙන වේදනාවත්. භෞතිකව වෙන්වුණා කියලා හදවතේ මතක එක්වරම මරන්න තරම් මිනිස්සුන්ට අසංවේදී වෙන්න පුළුවන්ද? ඒත් කතා කර යළිත් හිත් පාරගන්නවට වඩා මුනිවත රකිමින් හුදෙකලාව ඉන්න එක සුවදායකයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. 

ඔබත් ආදරය තුළ මේ කතා කරන විරහව අත්දැකීමක් විදිහට විඳලා තියෙනවාද?
මම ආදරය කරලත් තියෙනවා. විරහවත් විඳලා තියෙනවා. ආදරය විරහව ජීවිතයේ නොවිඳින කෙනෙක් ඉන්නවනම් මම හිතන්නේ ඒ හුඟාක් කලාතුරකින්. 
දුෂී පුංචි දවස්වල නින්දට යද්දී කියන ගීතයේ පද රචනය, සංගීතය, කටහඬ කියන මේ අංග ත්‍රිත්වය ගත්තම ඉන් ඔබ වඩාත් ප්‍රිය කරන අංගය මොකක්ද?
සමහර ගීත තියෙනවා ඒ ගීතවල පද රචනය, සංගීතය, කටහඬ ගත්තම ඒ එකින් එක වෙන් කරන්න බැරි තරමට ශක්තිමත් බැඳීමක් ඒ අංග ත්‍රිත්වය අතරේ තියෙනවා. එවන් ගීත සුවිශේෂීයි සහ විශිෂ්ටයි. මේ ගීතයත් මා දකින්නේ එවන් පරිපූර්ණ ගීතයක් ලෙස.

නව පරපුරේ ගී රසිකත්වය ගැන කලාවේ නියුතු කෙනෙක් ලෙස ඔබ දකින්නේ කොහොමද?
හිතට දැනෙන හදවතින් සහෘද විය හැකි කලාත්මක හා ශාස්ත්‍රීය ගීත අපිට අහන්න ලැබෙන්නේ කලාතුරකින් කියලා මට හිතෙන්නේ. ඇත්තටම නව පරපුරේ ගී ගැන මට ලොකු කැමැත්තක් නැහැ. අතීතයේ අපේ ගී සාහිත්‍යයට එකතු වූ ගීත බොහොමයක් එක වරක් ඇහුවම අපි ඒ ගීතයට ආදරය කරන්න ගන්නවා. ඒ ගීත ඒ තරම් ප්‍රබලයි. එහෙත් වර්තමානයේ ඇසෙන හුඟාක් ගී වල ඒ ගුණය ඉතා අල්පයි. මම අලුත් පරපුරේ ගී අහනවා. ඒත් දැනෙන සින්දුවක් කනට ඇහෙන්නෙම නැති තරම්. රුල්ලට යන අර්ථයක් නැති, රසයක් නැති, සුන්දර වචන නැති, සරලව කියනවනම් අමුවෙන්ම ලියවෙච්ච ඔහේ ගයන ගී තමයි හුඟාක් තියෙන්නේ. ඉස්සර ගී වල විරහව තුළින් වුණත් මිනිස්සු තුළ මානසික ශික්ෂණයක්, ඉවසීමක්, සංයමයක් ඇතිකරන ගීත, කවි, සාහිත්‍ය බිහිවුණා. දැන් ගී පද, සංගීතය, කටහඬ, මේ හැමදේකින්ම වගේ කරන්නෙ මනස නොසන්සුන් කරන එක. එය කලාවේ සහ සාහිත්‍යයේ අරමුණට ඉඳුරාම පටහැණියි. මරාගෙන මැරෙනවා වගේ හැඟීම් තමා දැන් විරහව විදිහට ගැයෙන්නෙ. සැබෑ ආදරය කියන්නෙ ආදරයෙන්ම අත්හරින්නත් පුළුවන් ගුණය හා සබැඳි ආදරයකට. නව පරපුරේ බහුතරයක් නිර්මාණවලින් සිදුවෙන්නෙ මනස විකෘති කිරීම කියලා මට හිතෙන්නේ. නව පරපුරේ ගී ගැන ඇත්තටම මගේ ප්‍රසාදයක් නෑ.

ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නයට ඔබ දෙන උත්තරය කුමක්ද?
එක රුයින් ජනප්‍රිය වෙන කෙටි මං හොයන මානසිකත්වය පෙරදැරිව තමයි හුඟාක් අය කලාවට එන්නේ. කලාව ගැන කියවීමක්, ගී කවි හා සාහිත්‍ය කෘති හැදෑරීමක් නැහැ. තරුණ පරපුරේ බහුතරය ලෝකයම දකින්න හදන්නෙ අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්. ලෝකයට ආදරය කරන, ලෝකය ගැඹුරින් කියවන, පරපුරක් බිහි නොවන්නෙ ඒ නිසා. තමන්ට නිවැරදිව, තමන් දකින්න බැරිනම් කොහොමද ලෝකය දකින්නේ. 

ගීතය ඔබ දකින්නේ කවර කලා මාධ්‍යයක් විදිහටද?
මනුස්ස මනස හික්මවිය හැකි නම්‍යශීලී කළ හැකි ඉතා ප්‍රබල හා සියුම් මාධ්‍යයක් විදිහට. මිනිසුන් තුළ උසස් චින්තනයක් ඇති කළ හැකි මාධ්‍යයක් විදිහට. හැබැයි එහෙම වෙන්නෙ සුභාවිත ගීතය තුළින් මිසක් යටිගිරියෙන් කෑගහන, එහෙන් මෙහෙන් ලියවෙච්ච ගීතයෙන් නෙවෙයි කියලත් මම විශ්වාස කරනවා. 

 

                           සේයාරූ I චන්න කස්සප