2021 මාර්තු 20 වන සෙනසුරාදා

යන තැනකදි ෆොටෝ එකක්නම් ගන්නම ඕනෑ...

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

දෙනුවන්.. මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?
මේ දවස්වල අවුරුදු හතරක් තිස්සේ ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරන ගමන් ඉන්නෙ. ඒ වගේම මගේම කියලා පොඩි ව්‍යාපාරයක් කරන ගමන් සුන්දර විදිහට ජීවත් වෙනවා.

දෙනුවන්.. Travel කරන එක ඔබ පුරුද්දක් විදිහට කරන දෙයක්ද?
මෙහෙමයි. මම ලෝකෙ ගොඩක් රටවල්වල Travel කරලා තියෙනවා. මම එහෙම කියන්නෙ අපි ගොඩක් වෙලාවට රූගත කිරීම් එක්කමයි කාලය ගත කරන්නෙ. එතකොට ඒ වැඩත් එක්ක පුළුවන්කමක් තිබුණොත් ගෙදර අයත් එක්ක යන අවස්ථාවලට වඩා වැඩි ප්‍රමාණයක් රූගත කිරීම්වලට තමයි Travel එකක් සිද්ධ වෙන්නෙ. පසුගිය දවස්වල දිගටම ටෙලිනාට්‍ය රූගත කිරීම් වැඩවලට හැටන් එහෙමත් ගියා. ඔය වගේ ගොඩක් තැන්වල මම Travel කරලා තියෙනවා. 

ඔබ ඒ ඇවිදින්න ගිය තැන්වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවද?
මෙහෙමයි. මම ආසා කරන තැන් ගොඩක් තියෙනවා. ලංකාවෙන් පිටත ගැන කිව්වොත් අපි ටෝකියෝ ගියා. ටෝකියෝ ගිහිල්ලා මීගසා කියලා තැනකට ගියා. මීගසා කියන තැන බොහොම ලස්සන තැනක්. තව මට අමතක නොවන තැනක් තමයි අයිෆල් කුළුණ. ඔය වගේ තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා මම ආස කරන තැන්.

ඔබ ඒ කියපු සියලු තැන් ලංකාවෙන් පිටත ඇති ස්ථාන. හැබැයි අපි ආසයි දැනගන්න ඔබෙන් ලංකාව ඇතුළත ඔබ ආස කරන තැන් කිහිපයක් ගැන?
ලංකාවෙත් මම ආසා කරන තැන් ගොඩක් තියෙනවා. ඒ අතරින් මම ආසා කරන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ අම්මාගේ ගම. ඒ තමයි දෙනියාය. දෙවැනි තැන තමයි සීගිරිය.

ඇයි ඔබ සීගිරියට එච්චරටම කැමති?
මම ගොඩක් ආසා කරනවා වියළි කලාපවලට. ඒ වගේම රජවරු හදපු දේවල්වලට මම පොඩි කාලේ ඉඳන් ආස කරනවා. විශේෂයෙන්ම කැමති වෙන්න හේතුව මගේ මිත්‍රයා ධම්මික අලුත්ගෙදරගේ ගම සීගිරිය. මම එයත් එක්ක සෑහෙන වතාවක් සීගිරියට ගිහිල්ලා තියෙනවා. ඔය වගේ හේතු නිසා තමයි මම සීගිරියට යන්න ආසා කරන්නෙ.

සීගිරිය වගේ ගමනක් යන්න කලින් ඔබ කොහොමද සැලසුම් කරන්නෙ?
මම එහෙම ගොඩක් Travel කරන කෙනෙක් නෙවෙයි. ගියත් මම නෙවෙයි ඒ ගමන ප්ලෑන් කරන්නෙ.

ඔබ වැඩිපුර Travel කරන්න කැමති කවුරු සමඟද?
මම ගොඩක් වෙලාවට Travel කරන්න කැමති පවුලේ සාමාජිකයන් සමඟ. ඉස්සරනම් යාළුවෝ එක්ක එහේ මෙහේ ගියා. ඒත් දැන්නම් ආස මගේ පවුලේ කට්ටිය එක්ක යන්න තමයි.

දෙනුවන්.. ඔබ දැකලා තියෙනවද සමහර මිනිසුන් කොහේ හරි ඇවිදින්න ගිය අවස්ථාවල ඒ යන තැන ඇස් දෙකෙන් විඳින්නෙ නැතිව ඡායාරූපවලින් විතරක් විඳිනවා. ඔබ ඒ වගේ ක්‍රියාවන් කොහොමද දකින්නෙ?
මම හිතන්නෙ විඳිනවා කියන එක සාපේක්ෂයි. තැනකට ගිහිල්ලා විඳලා ඡායාරූපයකුත් අරගන්න එක හොඳයි. මොකද මතකයන් ගොඩක් තියෙන්නෙ ඡායාරූපවලනෙ. අපි පොඩි කාලේ ඡායාරූපයක් ආපහු දකිද්දි අපි නැවතත් ඒ දවසට යනවා. උදාහරණයක් ගත්තොත් මම පාසලේ පහ වසර ඉද්දි ගත්ත පින්තූරයක් දැන් දැක්කොත් මට මගේ යාළුවෝ මතක් වෙනවා. ගුරුතුමිය මතක් වෙනවා. ඒ සිද්ධිය මතක් වෙන්නෙ අර එදා ගත්ත ඡායාරූපය එක්ක තමයි. මම හිතනවා ඡායාපරූයක් කියන්නෙ අපේ මතකය නැවත ආවර්ජනය කරන කාරණාවක් කියලා. ඉතින් කොච්චර වුණත් මතකයන් දවස ගානේ අතීතයට එකතු වෙද්දි කොච්චර ලෝකෙ හොඳ තැනකට ගියත්... අපි කියමුකො අපි ලංකාවේ කොහේ හරි තැනකට ගියා කියලා.. නමුත් මාස දෙක තුනක් යනකොට අපිට ඒ තැන මතක නැති වෙනවා. නමුත් අපි එදා ඡායාරූපයක් අරගෙන ඒ දේ ළඟ තිබිලා අපි බැලුවොත් නැවත අපි ඒ සොඳුරු මතකයට යනවා. සමහරක් වෙලාවට එදා වෙච්ච සිද්ධි මතක් වෙනවා. මගේ මතය නම් අපි කොහේ හරි යනවානම් ඒ වෙලාවට ඒ තැන විඳලා ඡායාරපයකුත් අරගෙන එන එක හොඳයි කියලයි මට හැඟෙන්නෙ.

ඔබ අනාගතයේදි යන්න ආස කරන තැනක් තියෙනවද?
මට ලොකු ආසාවක් තියෙනවා අමෙරිකාවේ හොලිවුඩ් බලන්න යන්න. මම එහෙම කියන්නෙ අපි සිනමාවට ආදරය කරන අයනෙ. ඒ නිසා මම ආස කරනවා හොලිවුඩ් චිත්‍රපට හදපු තැන්වලට ගිහිල්ලා බලලා එන්න. ඒ විතරක් නෙවෙයි.. ඉන්දියාවට ගිහිල්ලා කමල් හසන්, රුජිනි කාන්ත්, ශාරුක් ඛාන් එහෙම බලලා කතා කරන්න තියෙනවානම් මම ඒ දෙයට ගොඩක් ආසයි.

දෙනුවන්.. ඔබට Travel කරනවා කියන දේ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?
Travel කරනවා කියන එක ජීවිතේ ඉතාම හොඳ කාරණයක්. ඒ කියන්නෙ අපි ඉස්සර කාලේ වගේ නෙවෙයි.. ගොඩක් වෙලාවට අපි සියලු දෙනා ගොඩක් කාර්යබහුලයි. වැඩිය ඕනෙ නැහැ.. අපි ගෙදර කට්ටිය එක්ක පොඩි ගමනක් ගියා කියමුකො.. ඒ වෙලාවට මනස මාර සැහැල්ලු වෙනවා. ඒ වගේම අපි office එකේ කට්ටිය එක්ක ගමනක් ගියා කියමුකො.. පහුවදාට කලින් තිබුණට වැඩිය බැඳීමක් ඇතිවෙනවා. පවුලේ අයත් එහෙමයි. ඉතින් Travel කරනවා කියන දේ මේ ලෝකෙ තියෙන හොඳම concept එකක් කියලයි මට දැනෙන්නෙ.