කාලයකට පස්සෙ සුරේෂ් ලංකාව ඇවිත්?
ඔව්.. මම කාලයක් ලංකාවේ හිටියේ නැහැ. පාස්කු ප්‍රහාරයත් එක්ක ලංකාවේ සංගීත ප්‍රසංග වගේම සිනමානාත්මක දේවල් අඩු වුණා. ඒ වෙනුවට අපි වෙන විකල්පයක් හොයාගන්න ඕනෙ. ඒ නිසා තමයි යුරෝපා රටකට ගිහින් යම්කිසි දෙයක් ඉගෙනගන්න ගමන් ආදායම් මාර්ගයක් හදාගන්න ඕනෙ කියලා හිතුණෙ. ඒ නිසා කලාවත් ඉගෙනගන්න ගමන් මම රස්සාවකුත් කළා. මම හිටියේ නෙදර්ලන්තයේ.
නළුවෙක්, ගායකයෙක්, කලාකරුවෙක් වීම කුඩා කාලයේදී දැකපු හීනයක්ද?
ඕනෑම කෙනෙක් උපදිද්දි යම් හැකියාවක් අරගෙන එනවා. ඒක ස්වභාධර්මයෙන්ම ලැබෙන දෙයක්. මම විශ්වාස කරන දෙයක් තමයි අපි ඉපදෙන්නත් පෙර ඉඳන්ම අපි මොනවද කරන්නෙ කියලා තීරණය කරන්නෙ මේ ස්වභාධර්මයයි. ඒ නිසා මාව මේ ලෝකෙට උපදින්නත් පෙර මාව කලාකරුවෙක් කරලම ඉවරයි කියලා මම විශ්වාස කරනවා. නොතේරෙන පුංචි කාලේ ඉඳන්ම මම කලාවට ආසා කළා.
සුරේෂ් ඉගෙන ගත්තෙ මොන පාසලේද?
මුලින්ම ඉගෙන ගත්තෙ රත්මලාන කඳවල විදුහලේ. පසුව මම ඉගෙන ගත්තෙ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙයි. පාසලේදි මම ප්‍රසිද්ධ ගායකයෙක්. පාසල් වේදිකාව මට නුහුරු නුපුරුදු තැනක් වුණේ නැහැ. හැම ගායන තරගයකින්ම මට ජයග්‍රහණයක් ලැබුණා. ගායනය වගේම මම නර්තනයටත් පාසලේදි ජනප්‍රියයි. පාසල් නර්තන තරගවලිනුත් ජයග්‍රහණ ලැබිලා තියෙනවා.
පාසලේදී ගායකයෙක් වුණු සුරේෂ් මේ ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද?
ඩී.එස්. සේනානායක විදුහලේ ඉගෙනගන්න කාලෙදී අලස් විදුහල්පතිතුමාට පාසලේ දරුවන්ගේ බාහිර දක්ෂතා හඳුනාගන්නට පුදුමාකාර හැකියාවක් තිබුණා. පොතපතේ දැනුම වගේම පාසලෙන් අයින් වුණාට පස්සෙ ඒ දැනුමත්, බාහිර දක්ෂතාත් එක්ක අපි යන නිවැරදි මාවත ගැන කියා දෙන්නට හැකියාවක් වගේම දරුවන් ගැන හොයලා බලන පුරුද්දක් ඔහුට තිබුණා. ඔහු අපිට කලා සංගම්, කථික සංගම්, නාට්‍ය සංගම් පිහිටෙව්වා. එතනදි මම ගායන සහ නර්තන සංගම් තෝරාගත්තා. එහිදී අපේ සැඟවිලා තිබුණු උපන් හැකියාවන් එළිදක්වන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙදී රෑපවාහිනියේ උදෑසන ප්‍රවෘත්ති කියන්න ගියා. පද්‍ය ගායනයට පැයක වැඩසටහනක් තිබුණා. ඒකට මමත් සහභාගි වුණා.
කාලයක් සිනමාවේ නළුවෙක් වුණු නර්තනයෙන් දක්කම් දක්වපු සුරේෂ් විදෙස්ගත වුණා. මේකට කලකිරීමත් බලපෑවද?
නැහැ. මට කලාව ගැන පොඩ්ඩක්වත් කලකිරීමක් නැහැ. හැමෝටම උත්පත්තියෙන්ම කලාව කියන දේ පිහිටනවා. නමුත් බොහෝ දෙනා තමන්ට මොනවද කරන්න පුළුවන් කියලා තෝරාගන්නෙ නැහැ. හරි අත්දැකීමෙන්, අවබෝධයෙන් මේ දේ තෝරාගත්තා නම් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න අමාරු වෙන්නෙ නැහැ. අද මේක අච්චාරුවක් වෙලා. අද සමහරු නිවේදනයත් ගායනයත් රංගනයත් බදාගෙන කරනවා. කළාට කමක් නැහැ. නමුත් ඒකට තමන්ට යම් හැකියාවක් තියෙනවද කියලා මුලින්ම හිතන්න ඕනෙ. තමන් නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක් ගැන අපි ඉගෙනගන්න ඕනෙ. උත්පත්තියෙන් ලැබුණු උපන් හැකියාව අපි දියුණු කර ගන්න ඕනෙ. ඒ නිසා කලාව ගැන හිතේ කලකිරීමක් නැහැ.
නෙදර්ලන්තයට ගිහින් සුරේෂ් මොනවද කළේ?
නෙදර්ලන්තයට ගිහින් මම කලාව සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. ඒ අතරේ මම පොඩි රස්සාවකුත් කළා. යුරෝපයට යන ඕනෑම කෙනෙක් රස්සාවක් කරන්නම ඕනෙ. ලංකාවේ වගේ ඒ රටවල්වල උස් පහත් භේද නැහැ. එහේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පාපැදියෙන් තමයි යන්නෙ. හිඟන මනුස්සයා කන්නෙත් පීසා හට් එකෙන්. මැක්ඩොනල්ඩ් එකෙන්. ලංකාවේ වගේ ඒ රටවල්වල උස් පහත් භේදයක් නැහැ. විශ්වවිද්‍යාලයට යන, ඉගෙනගන්න යන ඕනෙම කෙනෙක් ඒ රටේදි අමතර රස්සා එකක් හෝ දෙකක් කරනවාමයි. ඒ රටවල්වල කිසිම රස්සාවක් පහත් කරලා කතා කරන්නෙ නැහැ. මම ඉගෙනගන්න ගමන් අවන්හලක වැඩ කළා.
ආයෙත් සුරේෂ් ලංකාවෙන් යනවද?
යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මට චිත්‍රපට දෙකක රඟපාන්න තියෙනවා. ඊට අමතරව නිලූ මං ආදරෙයි චිත්‍රපටයත්, ඇතුවත් බෑ නැතුවත් බෑ චිත්‍රපටයත්, තව කරපු එක චිත්‍රපටයකුත් තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව මම කරපු ටෙලිනාට්‍යයකුත් විකාශය වෙන්න තියෙනවා. මේ දේවල් කරලා ආයෙත් විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා. අද කලාව කෙනෙකුට තනි ආදායම් මාර්ගයක් කරගන්න බැහැ. ලෝකෙ මේක විශාල ව්‍යාපාරයක් වුණාට ලංකාවේ හැමදෙයක්ම බාල්දුවට ලක් කරලයි තියෙන්නෙ. හැමදෙයක්ම විනාශ වෙමින් යන්නෙ. ඒකෙදි කෙනෙකුට, කණ්ඩායමකට විතරක් ඇඟිල්ල දික් කරන්න බැහැ. ඒක අපි හැමෝම එකතුවෙලා හදාගන්න ඕනෙ දෙයක්. නමුත් එහෙම වුණේ නැහැ. ඒ නිසා මම ආයෙත් ලංකාවෙන් යාවි.
සුරේෂ්ගේ ජීවිතේ ලැබුණු වටිනාම දේ මොකක්ද?
අපි ආපුම කාලේ ජීවිතේ සෙල්ලක්කාරයි. අපි හැම කෙනාවම විශ්වාස කළා. එහෙම විශ්වාස කරලා ජීවිතේ අමාරුවේ වැටුණු තැන් බොහොමයි. මම කිසිමදාක කුඩු බොන්නවත්, අරක්කු බොන්නවත් වැටෙන තත්ත්වයට පත්වුණේ නැහැ. ඒ වෙනුවෙන් මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේ තුළින් ජීවිතයට ආත්ම ශක්තිය ලබාගෙන හරි විදියට මගේ රස්සාව කරගෙන යන්න මට ශක්තිය ලැබුණා. කරන හැමදෙයක්ම ධනාත්මක චින්තනයකින් කරගත්තොත් එය සාර්ථක වන බව මම විශ්වාස කළා. ඒ අවබෝධය ලැබීම තමයි මට මගේ ජීවිතයට එකතු වුණු වටිනාම දේ වෙන්නෙ.
ජීවිතයට තවමත් නොලැබුණු, අතහැරුණු, මඟහැරුණු දෙයක් තියෙනවද?
ඉස්සර මම අනේ මට මේ දේ ලැබුණේ නැහැනෙ කියලා පසුතැවුණා. නමුත් බයිබලේ ලැබෙන සහ නොලැබෙන සියල්ලම තමාගේ යහපත පිණිසයි කියලා ලියවිලා තිබුණා. ඒක ඇත්ත. ඉස්සර සමහර අතපසු වුණු නොලැබුණු දේවල් ගැන දුක් වුණා. ඒත් අද මම ඉන්න තැන ගැන හිතද්දි එහෙම පසුතැවුණේ අපරාදේ* කියලා අනන්තවත් හිතිලා තියෙනවා. ජීවිතේ අපි සමබරවයි ගෙනියන්න ඕනෙ. ඒ නිසා අපි කරන දේ ගැන බුද්ධියෙන් ප්‍රඥාවෙන් නිවැරදිව තීරණ ගත්තානම් කවදාවත් පසුතැවිලි වෙන්න සිදුවෙන්නෙ නැහැ.
සුරේෂ් රඟපෑ චිත්‍රපටවල ගීත ගායනා කළෙත් සුරේෂ්මද?
ඔව්.. ඉස්කෝලෙ යන කාලෙ මම සංගීතයට හරි කැමතියි. මම විශාරද මධ්‍යම වෙනතුරු සමත් වුණා. තාමත් මම සංගීතය ඉගෙන ගන්නවා. මෑතකදී රතු රෝස ගීතය නිර්මාණය කළා. මම රඟපෑ Sweet angle චිත්‍රපටයේ මම ගායනා කළ %සිහින මනමාලි^ ගීතය තමයි මම සිනමාවේ ගායනා කරපු මුල්ම ගීතය වුණේ. එතනින් පස්සෙ තිරගත වීමට නියමිත චිත්‍රපට තුනකම ගීත ගායනා කරන්නෙ මමමයි. ලැබෙන හැම චිත්‍රපටයකම මගේ චරිතයට මගේ හඬ ගැලපීම මගේ වාසනාවක් වුණා. ඒකත් මේ ස්වභාධර්මයෙන් ලැබුණු තෑග්ගක් විදිහටයි මම විශ්වාස කරන්නෙ.
ඉදිරියේදි ස්ථිර පදිංචිය ලංකාවෙන් පිටවෙයිද?
ඒක දෛවය තීරණය කරාවි. නමුත් විදේශ රටක ඉන්න එකෙත් ලොකු සැනසීමක් තියෙනවා. ඒ රටේ මිනිස්සු එකිනෙකාට හරියට ගරු කරනවා. ඒ රටවල්වල ඕපදූප හොයන්නෙ නැහැ. ඔවුන් තමන්ගේ පාඩුවේ ගෙවල් දොරවල් වහගෙන ඉන්නවා. ලංකාවේ බිත්තිවලටත් කන් තියෙනවා. හැබැයි ඒ රටවල්වල බිත්තිවලට කන් නැහැ. ඉස්සර තමයි ගැහැනු ඕපදූප හොයන්න හරි දක්ෂයි කියලා කිව්වේ. නමුත් වර්තමානයේදි ගැහැනුන්ට වඩා ඕපදූප හොයන්නෙ පිරිමි. සමාජ මාධ්‍යවල වුණත් පිරිමි අය තමයි ෆොටෝ එකකට වුණත් අනවශ්‍ය කතා කියන්නෙ. අද පිරිමි පිරිමින්ටම අපහාස කරන කාලයක් වෙලා. බොහෝ දෙනා යූ-ටියුබ්වලින් සිංහල ගීතයක් අහන්නෙවත් නැහැ. අපේ රටේ භාෂාවත් කතා කරන්න ලජ්ජා පිරිසක් ලංකාවේ ඉන්නවා. අනිත් රටවල් එක්ක බලද්දි අපි මේ නිර්මාණ කරන්නෙ අපේ රටේ ඉන්න ප්‍රතිශතයෙන් ඉතාම සුළු පිරිසකට විතරයි. සිංහල චිත්‍රපටයක් සිනමාහලකට ගිහින් බලන්න බොහෝ දෙනා ලජ්ජයි. ඒ තරමටම ඒ අය හිතින් පොෂ් කියන අමුතුම විලාසිතාවකට හැඩගැහිලා. ඒ සිංග්ලිෂ් කියන පිරිසත් එක්ක හොඳ නිර්මාණයකට තැනක් නැහැ. ඒ නිසා පැවැත්මක් හැටියට හොඳ ජීවිතයක් ගත කරන්න පිටරටකට යාමට බොහෝ දුරට සිදුවේවි.