මරණයේ වර්ණය? දන්නවද ඔයා... සුදු පාට... අළු පාට... කළු පාට.. ඔයා හොයනවද උත්තරයක්.. අහන්න මරණය අවර්ණයි... ඒ බව මට කියා දුන්නෙ ඔහු... දෙවෙන්දරෝ සං... ඒත් මම ආසයි එයත් එක්ක කතා කරන්න... ඇයි දෙවෙන්දරෝ ජීවිතය අත්අරින්න හිතුණේ කියලා එයාගෙන් අහන්න...
දාහක් හේතු ජීවිතය අත්හරින්න බල කරමින් පෙළගැහෙද්දිත් නොහිතා ඉන්න තිබුණානම් කවදාවත් ජීවිතය අත්හරින්න... ඇත්තමයි දෙවෙන්දරෝ නුඹත් එක්ක මට කතා කරන්න හිතුණේම ඒ හින්දා.
සිංහල නවකතා ළඟ මගේ හිත නැවතුණු තැන් හරි අල්පයි. ඒ මගේ හදවතේ වැඩිම ඉඩක් වෙන්කර ගත්තේ වංග සාහිත්‍ය, ප්‍රංශ සාහිත්‍ය, ඉංග්‍රීසි සාහිත්‍ය හා රුසියානු සාහිත්‍ය නිසා.
ඒත් මම කැමතිම ශෝක රසය අකුරක් අකුරක් ගානේ ඉහිරිච්ච මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා අස මම හරි කැමැත්තෙන් නැවතුණා.
මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා මට දැනුණෙ නවකතාවක් විදිහට නෙවෙයි. කවියක් වගේ. ජීවිතය නිර්වචනය කරන්න ඇයි අපි වෙහෙසෙන්නේ. ජීවිතය මට වෙලාවකට දැනෙන්නෙ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ. ව්‍යාකරණ එකතු කරලා ජීවිතයේ වාක්‍ය ලියන්න බෑ. හැබැයි ජීවිතය වෙනුවෙන් කවදාහරි දවසක පසුවදනක් ලියන්න මොහොතක් එනවා.
ඇත්තටම ආසා නෑ පෙරවදන් ලියන්න ජීවිතය වෙනුවෙන්. ජීවිතය කියන්නෙම අවිනිශ්චිත නිශ්චිතයක්. නිශ්චිත අවිනිශ්චිතයක්. ඉතින් එහෙව් නොවෙනස් නොවිය හැකි දෙයක් වෙනුවෙන් කොහොමද පෙරවදනක් ලියන්නෙ. මට හිතෙන්නෙ දෙවෙන්දරෝ වරද්දාගත්ත තැන එතැන. ඇයි හීන... හීන දකින්න කැමතිනම් ඒ හීනවලට පියාපත් දෙන්න පාරක් හොයන්න. එහෙම නැතුව හීන දකින්න එපා. දෙවෙන්දරෝට වැරදුණු තවත් එක තැනක් එතන.
වැරදුණාම ඇයි වැරදුණේ... ඇයි එහෙම වැරදුණේ.. ඒක එහෙම නොවුණානම් කියලා හිතන හිතුවිල්ල ළඟ දැනෙන්නෙම මහා පසුතැවිල්ලක්. පසුතැවීමෙන් එහාට ජීවිතයේ පාර දිගේ අඩිය තියලා ඇවිදින්න අමාරුයි... කතා කර කර වද දෙනවා... කවුද... වෙන කවුරුත් නෙවෙයි.. තමන් තමන්ටම කතා කර කර වද දෙනවා. දෙවෙන්දරෝට වුණේ ඒකමත් නොවුණාට ඒකමත් තමයි කියලත් මට හිතෙනවා...
ආදරය කියන්නෙ අයිතියට නෙවෙයි. අයිතිය කියන්නෙත් ආදරයට නෙවෙයි. ඒත් අයිතියක් නොදැනෙන තැනකදි ආදරය වේදනාත්මක අත්දැකීමක් විදිහට දැනෙන්න පුළුවන්. ඒ දැනීම ඇතුළෙ තියෙන්නේ ජීවිතය හරි නපුරු විදිහට විඳවන විඳවීමක්. අයිතිය රැඳෙන තැන ආදරයත් රැඳෙනවනම් අයිතිය රැඳෙන තැන ආදරය වියුක්ත නොවී... කොයි තරම් සැනසිල්ලේ හුස්මක් ගන්න තිබුණද... දෙවෙන්දරෝ ඇයි ඔයා මැරුණේ කියලා මට අහන්න හිතෙන්නේ ඒ හින්දා...
දෙවෙන්දරෝ ජීවිතය අත්හරින්න කියලා කාටවත් කියන්න එපා... මරණය සැනසිල්ලක් වෙන්නේ මරණය තවත් ජීවිතයකට දොරටුවක් නොවුණොත්ම විතරයි. ඒත් මරණයෙන් නික්මී ආයෙත් දොරක් ඇරගෙන යන්න තියෙන්නෙත් ජීවිතයක් හොයාගෙන ජීවිතයක් ඉල්ලගෙන... මේ ලෝකයේ අවසානයක් විතරක් රැඳෙන තැන් හරි වේදනාත්මකයි... ඒත් අවසානයට එහායින් කෙළවරක් රුඳෙන තැන් සුවදායකයි. ඒ කෙළවර තුළ ශුණ්‍යත්වය මුණගැහෙන නිසා. හුදෙකලාව වියුක්තව පවතින කිසිවක්ම ඔයාට මේ ලෝකයේදි හමුවී තියෙනවාද? නැහැ.. හැමදෙයක්ම හැමදෙයකටම සංයුක්තව බැඳී තියෙනවා. ඒ එකකට එකක් පවතින බැඳීම් සුන්නද්දූලි වී යන දවසක තමයි ශුණ්‍යත්වය මුණගැසෙන්නේ.
සතුට සැනසීම එතනදි මිසක් කොතනකදිවත් අපිට හමුවෙන්නෙ නැහැ... ඒත් ලෞකිකත්වය තුළ නිර්වාණමය සතුටක් මුණගැහෙන එක තැනක් තියෙනවා. ඒ තමයි.. ආදරය... ප්‍රේමය නොවේ ආදරය... දෙවෙන්දරෝ ඔයා හෙව්වේ ඒ නිර්වාණ සුවය නේද...
ඒත් ඔයාට දවසක් ඉතුරු නොකරන්න තිබුණා නොරිකොට සීතල නොවැම්බරයේ මළවුන්ගේ මාසයේ ඉටිපන්දමක් දල්වාගෙන ඔයා එනකම් බලාගෙන ඉන්න වෙන... පරිප්පු උයලා සම්බෝල මලවලා එකට බත් කාපු මතකයේ මිහිර නොමරන්න තිබුණා ඔයාට.. ඔයාව ඇරලලා එන හැම ගමනක්ම අවසානයේ තවත් ගමනක් ගැන බලාපොරොත්තුවක් ඉතුරු කරන්න පුළුවන්නම් විතරක් එයාට ඔයාව ඇරලවන්න යන්න එන්න කියන්න තිබුණා...
ලොව ඇත්තේ යාම් ඊම් පමණි... ඉන් එහා මොනවද ලෝකයේ තියෙන්නෙ... මොකුත් නෑ... දෙවියනේ අත්හැරිය ආදරයක් නෙවෙයි අත්හැරුණු ආදරයක් දැන් එයි කිය කියා මඟ බලාගෙන ඉන්න සිදුවීම තරම් වේදනාවක් තවත් තියෙනවද ලෝකයේ...
මේ ලෝකයේ තියෙන වේදනාත්මකම සංසිද්ධිය තමයි බැඳීම්.. එය අත්හැරෙන තැන සන්තුෂ්ටිය පවතීවි... බැඳීම් අත්හරිද්දි හෝ අත්හැරෙද්දි රිදුම් පිරිමදිමින් රැඳෙන මතක කොහොම මරන්නද? කොහොම ඈතකට විසි කරන්නද..
දෙවෙන්දරෝ... ඔයාට යන්න තිබුණේ නොරිකොට අන්න ඒ පාඩමත් කියලම දීලා...
කඳුළු බිඳුවක දෙපැත්තක් වෙලා ජීවිතේ දිළිහෙද්දී දරාගන්න අමාරුයි දෙවෙන්දරෝ...