2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

සින්දුව ගැන කියන්න මම බිමල්ව නින්දෙන් ඇහැරෙව්වා

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 214

සතෙන් සතය එකතු කර කැටයක් පුරවන්නට කියා දුන් ඒ හුරුබුහුටි කෙල්ල පසු කාලයක මතකයෙන් නොගිලිහෙන රංගන පරාසයන් තුළ තම අනන්‍යතාව මැනවින් සටහන් කළාය. චාම් සොඳුරු සිනහවක් සහ නිරහංකාර ඇවතුම් පැවතුම් ඇති කලාකාරියක ලෙස එසේම ඇය නොමඳ ප්‍රසංශාවක් ලද්දාය. ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගවේදීන් අතර ඉදිරියෙන්ම සිටින බිමල් ජයකොඩිගේ ආදරණීය බිරිඳ ද ඇයම වන්නීය. නොදන්නා කෙනෙක් නැති ඇය කවුද? සුජානි මේනකා දහනායක... ඒ ඇයයි. අද මගේ නොවන මගේම ගීතයේ අයිතිකාරියද ඇයයි.

සුජානි ඔබ ඔබේම යැයි අයිති කරගත් ගීතයක් ඔබට තියෙනවාද?
කාලයෙන් කාලයට මම මගේම කරගන්න ගීත තියෙනවා. හැමදාම මම ආසම මේ ගීතයට කියන සංකල්පයක් මගේ නෑ. මම ආසම ගීතය බොහෝවිට කොයි විදිහකින් හරි මගේ ජීවිතයට සමීප වෙන ගීතයක් වෙනවා.

මේ දවස්වල ඔබ ඔබේම කරගත්ත ගීතය ගැන කතා කරමුද අපි?
ඒ ගීතය මට පුදුමාකාර විදිහට දැනුණු ගීතයක්. මම එකවර කීප වතාවක් අහන්න තරම් මගේ හදවතින්ම ආදරය කරන ගීතයක්. ආරාධනා ඒකනායක ලියූ දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ සශිකා නිසංසලා ගැයූ රාවණා මා ඔබේ සීතා කියන ගීතය තමා කාලයක් ඉඳන් මම මගේම කරගත් ගීතය. 

සීතා ගැන කියන ගීතයක් ඇයි මේ තරම් ගැඹුරින් ඔබේ හදවතට සමීප වුණේ?
සාම්ප්‍රදායික රාම රාවණා සීතා තුන්කොන් ආදර කතාන්දරයට එහා ගිහින් නවමු සංකල්පයක් තුළ කවුරුත් නොදුටු කවුරුත් හඳුනාගන්නට උත්සාහ නොගත් සීතාගේ හදවතේ උපන් සිතිවිලි විවරණයක් තමයි මේ ගීතයට ප්‍රස්තුතය වෙන්නේ. මේක මහ අමුතු ආදර කතාවක් කියලා මට හැමදාම හිතුණා.

ඔබට හිතුණේ නැද්ද ආදරය සහ යුද්ධය අතර මහා සම්බන්ධයක් සමීපත්වයක් තියෙනවා කියලා? 
ආදරය හා යුද්ධය අතර සම්බන්ධය එදා මෙදා තුර හැමදාම පැවතුණු එකක්. අදත් ආදරේ නිසා යුද්ධ කරනවා. වෙනස් වුණේ යුගයෙන් යුගයට යුද්ධයේ ස්වරෑපය විතරයි. ඒ යුද්ධ ලෝකය පවතින තාක් පවතීවි කියලත් මම විශ්වාස කරනවා. 

මේ ගීතයේ ඔබේ හදවතට වඩාත් සියුම් ගැඹුරකින් දැනුණු තැනක් තියෙනවාද?
බැල්මකින්වත් නොදුන් හිරිහැර 
වදනකින්වත් නොකළ අතවර 
සිතින් අල්ලාගෙන කියා දුන් 
ආදරේ දැනුණා 
මා ඔබේ සීතා
ඒ වචන ටිකට මම හරිම ආසයි. 

ඇයි ඒ වචන ටිකට ඔබ එතරම්ම කැමති?
ඕනෑම ගැහැනියක් පිරිමියෙක්ගෙන් ඉල්ලන්නෙ මෙහෙම ආදරයක් කියලා මම විශ්වාස කරනවා. හිරිහැරයක් නපුරක් නොරුඳෙන තැනක දැනෙන ආදරයට ඕනෑම කෙනෙක් කැමතියි. තමන්ගේ ස්වාමියාගෙන් නොලැබුණු ආදරයක් තමන් පැහැරගෙන ගිය රාවණාගෙන් ලැබුණා කියලා මේ පද ටික අහද්දි මට හිතෙනවා. එහෙම ආදරයක් කොතනක හරි දැනෙද්දි ඒ ආදරය හිතට දැනෙන එක නතර කරන්න බෑ කියලා තමා මේ ගීතයෙන් කියන්නෙ.

ආදරය සම්මත හෝ අසම්මත ලෙස බෙදා වෙන් කළ නොහැකි බවද ඔබ මේ කියන්නෙ? 
සැබෑ ආදරයකදී ආදරය එහෙම වර්ග කරන්න බෑ. ලෝකය කවර ආකල්පයක් දැරුවත් තමන්ට තමන් හොයන ආදරය දැනුණු තැනකදි ඒ ආදරය සම්මත ද අසම්මත ද කියලා වර්ග කරන්න අමාරුයි. ලෝකය එවැනි තැනකදී ගල් මුල් එල්ල කරන්න පෙළගැහුණත් මම විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ ආදරයම බව පමණයි.

ඔබ සිතන විදිහට ගැහැනියක් පිරිමියෙක්ගෙන් ඉල්ලන්නෙ කොහොම ආදරයක්ද?
ගැහැනියක් හෝ පිරිමියෙක් ඉල්ලන්නෙ හිරිහැරයකින් තොර ආදරයක්. හිරිහැරයක් විදිහට ලැබෙන ආදරයක් දිගුකල් පවතිනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. එවැනි ආදරයක තියෙන මුලාව වැටහෙද්දි අපි එතනින් ඈත්වෙනවා. කවුද අකමැති සුන්දරව ගලා යන ආදරයක් විඳින්න.

ඔබ සුන්දර බිරිඳක්. ඒ තමයි බිමල් ජයකොඩි හැමදාමත් ඔබ ගැන කියන දේ. බිමල් එක්ක මේ ගීතය ඔබට දැනෙන විදිහ ආදරෙන් වින්ද විදිහක් තියෙනවාද?
මම මේ ගීතය ඉස්සරෝම ඇහුවෙ බිමල් නිසා. ඒ මොහොතේත් මේ ගීතය හරියට දැනුණා. කොච්චර දැනුණද කියනවනම් එදා රෑ බිමල් නිදාගෙන ඉද්දි එයා ඇහැරවලා කීවා මට හරි ආසා හිතෙනවා මේ සින්දුව ගැන.. මේ සින්දුව ආදරේ ගැන ලියවුණු ලස්සනම සින්දුවක් කියලා. ඒ වෙලාවෙ එයා කීවා හරි අපි හෙට කතා කරමු ඒ ගැන කියලා. මේ ළඟදි අපි ගමනක් ගිහින් එද්දි කීප වතාවක් මේ සින්දුව ඇහුවා අපි. ආදරේ ගැන කතා කරද්දී මේ වගේ සින්දු අහද්දි බිමල්ගෙ උරහිසේ හිස තියාගන්න පුරුද්දක් මට තියෙනවා. ඒ විදිහට හරි ආදරෙන් එයා එක්ක මේ ගීතය වින්ඳා.

සුජානි.. කොහේදි හරි ගීතයක් ගයන්න ලැබුණොත් ඔබ ගයනවද මේ ගීතය?
අවංකවම මට ගීත ගයන්න බෑ. ඒත් සංගීතයට මම හුඟාක් ප්‍රිය කරනවා. ඒ ගෞරවය නිසාම මම මට බැරි දේ කරන්න යන්නෙ නෑ.

මේ ගීතය ලියූ ආරාධනා හමුවුණොත් මොකක්ද ඔබ ඇයට දක්වන ප්‍රතිචාරය?
කොහොමද මෙච්චර ලස්සන ගීතයක් ලියුවේ අහනවා. මේ ගීතය මට දැනෙන්නේ චිත්‍රපටයක් වගේ.

මේ ගීතයේ සංගීතය හා කටහඬ ඔබට දැනෙන්නේ කොහොමද? 
සංගීතය පැත්තෙන් දර්ශන උපරිම සාධාරණයක් කළ සශිකා නිසංසලා කටහඬින් උපරිම සාධාරණයක් කළ හැම අතින්ම පොහොසත් ගීතයක් මේක. එහෙම ගීත වර්තමානයේ හරි විරලයි.

මේ ගීතයට රූප රචනයක් එක්වෙනවට ඔබ කැමතිද?
නැහැ.. ගීතයක් රෑප රචනයකට කොටු කරලා ඒ ගීතයේ රස මරනවට මම කැමති නැහැ. මම කියන්නෙ ගීතයක් නිදහසේ අහන්න දෙන්න.

අද්‍යතන පරම්පරාවේ රසවින්දනය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
බහුතරයක් අය සාහිත්‍යය කලාව ජීවිතයට ඈඳා නොගත් පසුබිමක් තියෙන්නේ. හොඳ රසවින්දනයක් ඇති සුළුතරයක් ඇති. මම නැහැ කියන්නෙ නැහැ... ඒත් හුඟාක් දරුවන් ඉතිහාසය සාහිත්‍යය ගැන දන්නෙ නෑ. රසවින්දනය ගැන හැඟීමක් ඔවුන්ට නැහැ. එය අනාගත ඛේදවාචකයක් විදිහට මම දකින්නේ. 

රාවණා මා ඔබේ සීතා 
සුරුකි පතිදම් හිමි නමින්
බැඳුණ ඔබ වෙත පෙම් දමින්
රාවණා මා ඔබේ සීතා 

බැල්මකින්වත් නොදුන් හිරිහැර 
වදනකින්වත් නොකළ අතවර 
සිතින් අල්ලාගෙන කියා දුන් 
ආදරේ දැනුණා
මා ඔබේ සීතා 

හිමි නමින් මා සුරුකි පතිදම් 
සැක කළා ඔහු දෙවැනි කොට පෙම
නොදැවුණත් මා ගිනි ගොඩක් මැද
දැවෙනවා රාවණා 
මා ඔබේ සීතා