2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

කසාද බැන්දෙත් ඇවිදින්න එක්ක යනවා කිව්ව පොරොන්දුවට

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

තාරුකා.. මේ දවස්වල අලුත් තොරතුරු මොනවද?
මේ දවස්වලනම් කලා වැඩ මුකුත් කරන්නෙ නෑ. බබාගේ වැඩත් එක්ක පොඩ්ඩක් කාර්යබහුලයි.

තාරුකා.. ඔබ Travel කරන එක පුරුද්දක් විදිහට කරන දෙයක්ද?
පුරුද්දක් කියන්නෙ මම හරි ආසයි Travel කරන්න. ලංකාවෙ හරි පිටරට හරි අපි නොදැක්ක දේවල් සෑහෙන්න තියෙනවා. ඒවා දැකබලාගන්න මම හරි ආසයි. පහුගිය කාලේ වැඩත් එක්ක මට කොහෙවත් යන්න ලැබුණෙ නෑ. පාසල් කාලෙ සහ විවාහයට පෙර මම Travel කරන්න ආසා වුණත් මට ඒකට කාලයක් තිබුණෙ නෑ. හැබැයි මම මගේ මහත්තයගෙන් විවාහයට පෙර ගත්තු පොරොන්දුවක් තමයි මාව Travel කරන්න එක්ක යන්න ඕනෙ කියන එක. මම නොගිය තැන් ගොඩක් තියෙනවා. මම ඒවා බලන්න ආසයි කියලා එයාවත් කැමති කර ගත්තා. එයත් Travel කරන්න හරි ආසා කෙනෙක්. Travelling කියන්නෙ එක අතකට ගත්තාම විනෝදාංශයක් වගේම ඒක කලාවක් කියලයි මට හිතෙන්නෙ.

ඔබ ඇවිදින්න ගිය තැන් අතරින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවද?
හැම Travel එකකම මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා. හැබැයි මම පිටරට සංචාරයක් ගියා රුසියාවේ. ඒ වගේ සීතල රටකට ගියේ පළවෙනි වතාවට. ඉතින් ඒ ගමන මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. 

රුසියාවට ගිය ගමන ඇයි ඔබේ හිතට එච්චරටම දැනුණෙ?
මම දන්නවා රුසියාව කියන රට සීතල රටක් කියලා. හැබැයි මම කවදාවත් හිතුවෙ නෑ අධික සීතල රටක් කියලා. අපිට එළියට යනකොට මුහුණ හරි අතපය හරි පොඩ්ඩක්වත් ඇරගෙන ඉන්න බෑ. ඒ තරමට සීතලයි. චුට්ටක් අමාරු වුණත් Travel කරපු අනිත් තැන් එක්ක බලද්දි ඒ ගමන අමුතුම අත්දැකීමක්. ඒ නිසයි මගේ හිතට එච්චරටම දැනුණෙ.

ඒ ගිය ගමනෙදි ඔබ මුහුණදුන්න විශේෂ සිදුවීම් එහෙම ඇති නේද?
මුහුණදුන්න ලොකුම විශේෂ දේ තමයි අධික සීතලේ ජීවත්වෙන විදිහ කොහොමද කියලා ඉගෙන ගත්තා. අපි Travel එකක් කරනකොට ඡායාරෑප එහෙම ගන්නවනෙ. හැබැයි මේ ගමනෙදි ඡායාරෑප ගන්නත් අපිට අපහසු වුණා. මොකද අපි සීතල නිසා අත් පා මුහුණ ආවරණය කරගෙනනෙ හිටියෙ. ඡායාරෑපයක් ගන්නකොට මුහුණ පේන්න එපැයි. ඉතින් මුහුණු ආවරණය ගලවන්න බෑ සීතල නිසා. ඔන්න ඔය සිදුවීම මුහුණ දුන්න විශේෂ සිදුවීමක්.

තාරුකා.. ඔබ ලංකාව ඇතුළෙත් Travel කරන්න ආසා කරන තැන් එහෙම ඇති?
මම ලංකාවෙ ආසා කරන තැන් ගොඩක් තියෙනවා. නුවරඑළිය, නුවර වගේම තව ආසා කරන දෙයක් තමයි යාල සෆාරි යන්න... කැලෑ අස්සෙන් ගිහිල්ලා සත්තු බලන්න. ඒක හරි විනෝද දෙයක්. ඔය වගේ තැන්වලට තමයි මම ලංකාවෙ යන්න ආසා කරන්නෙ.

මේ වගේ ගමනක් යනකොට ඔබද ඒ ගමන සැලසුම් කරන්නෙ?
මෙහෙමයි. ලොකුවට සැලසුම් කරන්නෙ නෑ. හැබැයි අපි කියමු නුවර යනවා කියලා.. නුවර යන්න කලින් මම අන්තර්ජාලයෙන් හොයනවා නුවර අවට බලන්න තියෙන තැන් මොනවද කියලා. ලංකාවෙ විතරක් නෙවෙයි.. පිටරට සංචාරයක් ගියත් මම යන්න කලින් අපිට යන්න පුළුවන් තැන් ගැන හොයලා බලලා තමයි සංචාරය පටන් ගන්නෙ. ඊට පස්සෙ වෙලාව අනුව ඒ ඒ තැන්වලට යනවා. එහෙම තමයි මම ගමනක් යන්න කලින් සැලසුම් කරන්නෙ.

ඔබ Travel කරන්න කැමති කා සමඟද?
දැන්නම් ඉස්සර වගේ නිදහසක් නෑනෙ. ඒක නිසා මම දැන් කැමති මගේ පවුලේ කට්ටිය එක්ක යන්න තමයි. හැබැයි අනිවාර්යයෙන් අම්මා ඉන්නම ඕනෙ. මොකද බබාත් ඉන්නවනෙ දැන්.

තාරුකා.. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා Travel එකක් කරනකොට යන්නෙ කොහෙද.. මොනවද ගිහිල්ලා කරන්නෙ.. ඒ යන තැන ගැන විස්තර මොනවද.. ඒ කිසි දෙයක් ගැන හිතන්නෙ නැතිව යන ගමන ඡායාරූපයකට විතරක් සීමා කරනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
මම දකින විදිහටනම් ඒක අපරාධයක්. මොකද.. අපි Travel එකක් යන්නෙ දැනුමක් හෝ අපේ ජීවිතයට යම්කිසි දෙයක් එකතු කර ගන්නනෙ. ඉතින් ඒ දේ ඡායාරෑපයකට විතරක් සීමා කරන්න එපා. උදාහරණයක් විදිහට අපි ළඟදි ගියා අලි බලන්න කවුඩුල්ල නැෂනල් පාක් එකට. අපි ඒ ගමන ගියේ අලි බලන්නයි. මමත් මගේ මහත්තයත් හරි ආසයි අලි බලන්න. ඒ ගමනෙදි අපි ඉගෙන ගත්ත දෙයක් තමයි අලි බලනවානම් විනාඩි පහෙන් දහයෙන් අලි බලන්න බෑ කියන එක. මොකද.. අලි එනකම් ඉන්න ඕනෙ. අලි හැසිරෙන විදිහ, ඒගොල්ලො යන විදිහ වගේ දේවල් බලන්න නම් අඩුම ගාණෙ පැය තුන හතරක්වත් වෙන් කරන්න ඕනෙ. ඉතින් ඒ නිසා මමනම් කියන්නෙ ඡායාරෑප ගත්තට කමක් නෑ. ඒ ඡායාරෑප ගන්න ගමන් අපි යන ගමනෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න ඕනෙ කියලා. මොකද.. අපි Travel එකක් හැමදාම කරන්නෙ නෑනෙ. මම නම් පිටරටකට ගියත් අපේ ජීවිතේට අත්දැකීමක් ගන්න තියෙනවානම් ඒ දේ අනිවාර්යෙන්ම ගන්නවා. ඒකනෙ මම Travel එකක් කරන්න කලින් අන්තර්ජාලයෙන් ඒ යන තැන ගැන විස්තර හොයලා බලන්නෙ.

අනාගතයෙදි ඔබ අනිවාර්යයෙන් යනවාමයි කියලා හිතාගෙන ඉන්න තැනක් තියෙනවද?
ලංකාවෙනම් ගොඩක් තැන් තියෙනවා. හැබැයි මම ආසා කරනවා යුරෝපා රටක සංචාරය කරන්න. ලංකාවෙනම් අපිට ඕනෙ වෙලාවක යන්න පුළුවන්නෙ. මොකද අපි ලංකාවෙ ඉන්න නිසා. හැබැයි යුරෝපයෙ වගේ රටකට යන්න ටිකක් අමාරුයිනෙ. ඒ නිසා තියෙන ලොකුම ආසාව යුරෝපා රටක සංචාරයක් කරන්න.

ඇයි ඔබ යුරෝපා රටකට යන්න ඔච්චර හීන දකින්නෙ?
මෙහෙමයි. හුඟාක් දෙනෙක් යන්න ආසා කරන රටවල් තියෙනවනෙ. ඉතින් මම රටවල් කිහිපයකටම ගිහිල්ලා තියෙනවා. හැබැයි යුරෝපා රටකට මම ගිහිල්ලා නෑ. ඒ රටේ මිනිස්සු හැසිරෙන්නෙ කොහොමද.. රට මොනවගේද.. කෑම බීම, ඇඳුම් අඳින විදිහ කොහොමද.. ඒ රටේ සංස්කෘතිය කොහොමද කියලා ඇස් දෙකෙන් දැකගන්න ලොකු ආසාවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මම යුරෝපා රටකට යන්න හීන මවන්නෙ.

තාරුකා.. අවසාන වශයෙන් අපි ආසයි ඔබෙන් දැනගන්න Travel කරනවා කියන දේ ඔබ දකින්නෙ කොහොමද?
අම්මෝ ඒකනම් ජීවිතයට මාරම ලොකු දෙයක්. Travelling කියන්නෙ වයස් භේදයක් නැතිව කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම ජීවිතේට අත්දැකීම් එකතු කර ගන්න පුළුවන්. මනසට හොඳ සැහැල්ලුවක් දැනෙනවා. Travel එකක් කරලා නැවත ගෙදර ආවාට පස්සෙ අමුතුම හැඟීමක් තමයි හිතට දැනෙන්නෙ. ඒ වගේම මට කට්ටියටම කියන්න ඕනෙ දෙයක් තියෙනවා. ගෙවල්වලට වැඩ රාජකාරිවලටම හිරවෙලා ඉන්නෙ නැතිව හිතට වගේම මනසටත් සැහැල්ලුවක් දැනෙන්න Travel එකක් මාස දෙකකට පාරක්වත් කරනවානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.