නෙහාරා....... ජීවිතේ කොහොමද?
ජීවිතේ හරි ෂෝක් සුන්දරයි. දැන් කාර්යබහුලයි. ඒත්..... මම ඒ කාර්යබහුල කමට නම් ආසයි. ඒ කාර්යබහුලත්වයත් එක්ක හරි සතුටින් ගෙවී යනවා.
දැන් චූටි දුවෙක් ඉන්න අම්මා කෙනෙක්....?
ඔව්.... දැන් අපේ වූටියාට මාස තුනක් ගෙවිලා ඉවරයි. එයාගේ නම මේලි නිකෝලා රාජපක්ෂ. දැන් මගෙයි මේනකගෙයි ලෝකේ එයයි. අපි දෙන්නව එයා සතුටින් පුරෝලා. ඒ සතුටට මට වචන තේරෙන්නේ නැහැ. අම්මා කියන පදවිය මට දීපු මගේ චූටි පැටියට මම හරි ආදරෙයි.
චූටි දුවගේ නමටත් හරි අපුරු කතාවක් තියෙනව නේද?
ඔව්නේ..... මේ නම චුටි දුව ඉපදෙන්නත් ඉස්සෙල්ලා මම ආස කරපු නමක්. මම ඉගෙනගත්තේ ශාන්ත ලෝරන්ස් විදුහලේ. මම පාසැලේ ශිෂ්‍ය නායිකාවක්. පාසැලේ මම එකොළහ වසරේ ඉගෙනගන්නා කාලේදී අපේ පාසලේ ක්‍රීඩා උළෙලේදී මට බාරව තිබුණේ තුන වසරේ පන්තියයි. ඒ පන්තියේ හරිම හුරතල් චූටි ලස්සන නංගි කෙනෙක් හිටියා. එයා චීන නංගී කෙනෙක්. ඒ චූටි නංගිගේ නම මේලි. මම ඒ චූටි නංගිටත් හරි ආදරෙයි. ඒ නමටත් හරි ආස කළා. ඒ චූටි නංගී හරි ස්විට්. මේරි කියන නම හරි ප්‍රසිද්ධ නමක් වුණාට මේලි කියන නම මම අහලා තිබුණේ නැහැනේ. ඒ නිසා ඒ කාලයේදීම මම කවදා හරි ම යන්නෙන් කෙනෙක් බැන්දොත් මට කෙලි පැටියෙක් හම්බ වුණොත් මම අනිවාර්යයෙන්ම මේලි කියන නම දානවා කියලා හිතාගෙනමයි හිටියේ.
මේ ගැන දුව ලැබෙන්නටත් කලින්ම නොහාරා මේනකට කිව්වාද?
ඔව්.... මේනකත් එක්ක යාළුවෙලා බැන්දට පස්සේ අපිට කවදාහරි දුවෙක් ලැබුණොත් අපි එයාට මේලි කියලා නම තියමුද? කියලා මම එයාගෙන් ඇහුවා. එයාත් ඒකට කැමැතිවුණා. ඉතින් චූටි දූ කුසේ ඉඳිද්දීම එයා මේලි වුණා. සමහර වෙලාවට මම එයාට ඇහෙන්න මේලි පැටියෝ කියල කතාකරලත් තියෙනවා. අපේ ඉස්කෝලේ හිටිය ඒ මේලි නංගී දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මම එයා එක්ක කතාකරනවා. මම ප්‍රෙග්නට් වෙච්ච කාලෙයේදී මම එයාට කෝල් කරලා මට දුවෙක් හම්බවුණොත් ඔයාගේ නම තියනවා* කියලා කිව්වා. එදා ඒ නංගී &අක්කී ඒක චයිනීස් නමක්. චයිනීස්වලින් ඒකේ තේරුම් Beautiful කියලා කිව්වා. චූටි දූ ඉපදුණාට පස්සේ ඒ නංගී චූටි මේලිට තෑග්ගකුත් එව්වා.
මේලි එක්ක ගතකරන ජීවිතේ කොහොමද?
දැන් හරි ෂෝක්. දැන් එයා එක්ක තියෙන වැඩ හරි ෂෝක්. මම දැන් උදේ වරුවේ ජිම් එකට යනවා. මුලින් දවස් හතම ගියා. ඊටපස්සේ දවස් හයක් ගියා. දැන් සතියකට දවස් පහක් ජිම් එකට යනවා. උදේ වරුවේ පැය දෙකක් විතර මම ජිම් එකේ ඉන්නවා. ඉතින් ජිම් එකට හෝ වෙන වැඩකට එළියට ගියත් මම ගෙදර යනකල්, එයාව දකිනකල් සිහියක් නැහැ. එයාගේ හිනාව මතක් වෙන හැම මොහොතකම මට ගෙදර යන්න හිතෙනවා. දුව ඉපදුණ ගමන් එයාව නෑව්වේ හොස්පිට්ල් එකේ නර්ස්ලා. දුවව ගෙදරට ගෙනාව දවසේ ඉඳන් උදේට නාවන්නේත් හවසට හෝදන්නේත් මමමයි. ඒක මටම කරන්න ඕනවුණා. සමහරවිට ඉදිරියේදී රෑගත කිරීම්වලට යද්දී ඒ දේවල් පොඩ්ඩක් හැමදාම මටම කරන්න බැරිවේවි. හැබැයි මම ඒ එක දවසක්වත් අතපසු කරන්න කැමැති නැහැ.
ඒ දේවල්වලට නෙහරාට උදව් කරන්නේ කවුද?
ඒ අතින් මම හරි වාසනාවන්තයි. මගේ අම්මා, තාත්තා මට ගොඩක් උදව් කරනවා. මේනක ගෙදර ඉන්න හැමවෙලාවෙම මට ලොකු සහයෝගයක් දෙනවා. කොහොමටත් දුව ලැබෙන්න ලංවෙන කාලේ ඉඳන් මාස තුනක්ම එයා කිසිම වැඩක් බාර නොගෙන මාත් එක්කම හිටියා. ඒ කාලේදී නිදිමරාගෙන එයාගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. මේනකගෙ අම්මයි, අක්කයි නිතරම බබා බලන්න එනව. එයාලගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම අපේ ගෙදර අපේ උදව්වට ඉන්න සත්‍යාත් මම ආදරෙන් මතක් කරනවා. එයා තමයි බබාගේ රෙදි හෝදලා අයන් කරලා කෑම හදන්නේ. එයා ඒ වැඩ කරන නිසා මම කොහේ හරි ගියත් බබා එක්ක මගේ අම්මිට ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපේ රියැදුරු වන ප්‍රියන්තගෙනුත් අපේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ දෙන්නත් බබාට හරි ආදරෙයි.
නෙහාරයි, මේනකයි කතෝලික. සිංහල අවුරුදු කාලෙට මොකද කරන්නේ?
බොහෝ වෙලාවට අපි ඔය චාරිත්‍ර වාරිත්‍ර නම් කරන්නේ නැහැ. හැබැයි විද්‍යුත් නාලිකාවල අවුරුදු උත්සව, අවුරුදු චාරිත්‍ර එහෙම පවත්වද්දී මේනකටයි, මටයි ආරාධනා ලැබිලා තියෙනවා. බොහෝ වසරවල්වලදී අපි අවුරුදු සැමරුවේ ඒ ඒ රුපවාහිනී නාලිකා එක්කයි. එහෙම අවුරුදු කාලේදි නාලිකාවලින් ආරාධනා නොලැබුණු කාලවලදී මායි මේනකයි කොහේ හරි ට්‍රිප් ගියා. කොහොම හරි චූටි දුවගේ පළවෙනි සිංහල අලුත් අවුරුද්ද තමයි මේ. අපි රෑපවාහිනී නාලිකාවක මෙවරත් සමරනවා. ඉතින් මේනකගේ අම්මා චූටි දුවට හරි ලස්සන චූටි රෙද්දකුයි, හැට්ටෙකුයි මැහුවා.
නෙහාරා ඉස්සර ඉඳන්ම ලස්සනට, ඉන්න වැඩිය මහත් නොවී හිටිය නිළියක්. දුව ලැබුණට පස්සෙත් ව්යායාම්වලටත් මුල්තැනක් ලබාදීලා තියෙනවා?
ඔව්. ඒ කාලේ ඉඳන්ම මම වැඩිය මහත් වෙන්න කැමැති කෙනෙක් නෙමෙයි. දුව ඉපදෙද්දී මගේ බර කිලෝ හැත්තෑ අටයි. ඊට කලින් මගේ සාමාන්‍ය බර වුණේ හතළිස් හය සහ හතළිස් අටයි. ඉතින් දුව ඉපදිලා සති දෙකකින් පස්සේ මගේ බර හැට අටක් වුණා. මගේ ඩොක්ටර් හැමවෙලේම මට ඒ උපදෙස් ලබලා දුන්නා. සති හයක් යනතුරු බර උස්සන්න එපා කියලයි ඩොක්ටර් මට කිව්වේ. ඉතින් දුව ඉපදිලා සති හයකට පස්සේ මම ව්‍යායාම් හෙමීට කරන්න පටන් ගත්තා. ඒ හැම දෙයක්ම මගේ වෛද්‍යතුමාගේ උපදෙස් මත තමයි මම කරන්නේ. මම ඒ හැම ව්යායාමයකටම උපදෙස් ලබාදෙන්නේ සෑම් ව්‍යායාම් උපදේශකතුමයි. දැන් මගේ බර කිලෝ හැටයි. උදේ වරුවේ ඒ ව්‍යායාම් කරන්න මම කාලය වෙන්කර ගන්නවා.
මේනක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. නෙහාරා තවම අළුත් වැඩකට අත ගැහුවේ නැද්ද?
බබා නිසා තවම මම රූගත කිරීම්වලට සහභාගී වුණේ නැහැ. අලුතින් නාට්‍යයකට ආරාධනා ලැබිලයි තියෙන්නේ. බොහෝවිට මැයි මාසේ අවසාන වෙද්දී ඒකේ රූගත කිරීම් පටන් ගනීවි.