කලාව සහ කලාවේ නියුතුවන්නා ඔබ දකින ආකාරය ගැන ඔබෙන් අහන්න මම කැමතියි?
මිනිසාට තියෙනවා කන බොන යැපෙන ජීවිතයක් වගේම නොකන නොබොන ජීවිතයකුත්. එය මා භාවමය ජීවිතය යනුවෙන් හඳුන්වන්න කැමතියි. මේ භාවමය ජීවිතය පෝෂණය කිරීමේ සහ භාවමය ජීවිතය දිගුවීමේ අවස්ථාව තමයි ශිෂ්ටාචාරගත වීම කියන්නේ. මිනිස්සු ශිෂ්ටාචාරයට එළඹි දා සිටම එක් එක් යුගයන්ට සාපේක්ෂව භාවමය ජීවිතයකුත් තිබුණා. ඒ භාවමය ජීවිතයේ දියුණුව භෞතික ජීවිතය වගේ බිංදුවෙන් පටන්ගෙන දහය පහළොව විස්ස විදිහට ආරෝපණය වූ ජීවිතයක් නෙවෙයි. සමහර යුග තියෙනවා අදටත් වඩා ඉහළ භාවමය ජීවිතයක් ඒ යුගයන්හිදී මානවයා සතු වුණා. භාවමය ජීවිතය පිළිබිඹු කරන අවස්ථා තමයි කලා කෘති. ඇතැම් නිර්මාණ පිළිබඳව අපි අදටත් පුදුමයට පත්වෙනවා. භාවමය ජීවිතය කියන්නේ අපි හිතනවට වඩා වේගයෙන් වර්ධනය වූ ජීවිතයක්. ඊට හේතුව තමයි මිනිසා චින්තනමය වශයෙන් දියුණු වීම. චින්තනමය වශයෙන් ඔහු තමන්ගේ පරිකල්පනමය ජීවිතය දියුණු කර ගැනීම. සිතන මිනිස්සු වගේම නොසිතන මිනිස්සු හැම යුගයකම හිටියා. මම කියන්නේ කලාවේදියෙක් කියන්නෙ හිතන මිනිහෙක්. ඒ හිතන මිනිසා - කලාවේදියා මම දකින්නේ විද්‍යාඥයෙක් විදිහට. ඔහු ශිෂ්ටාචාරයට පුදුමාකාර දේවල් එකතු කරන්නෙක්. ආගමික ශාස්ත_වරයෙක් තමන්ගේ චින්තනමය පරාසය සුගැඹුරු ලෙස පුළුල් වීම යන සාධකය තුළ දර්ශන බිහි කරනවා වගේම කලාකරුවන් මහා පුදුමාකාර තීරණාත්මක දේවල් ශිෂ්ටාචාරයට එකතු කරනවා. ඒ එකතු කරන්නේ චින්තනමය නිම් වළලු පුළුල් වීමේ සාධනීයම ප්‍රතිඵලය විදිහට.
මේ තරම් දිගු ගමනක් ආ ඔබේ ගමනේ සමාරම්භය ගැන අපි කතා කරමු?
මගේ හිතුවිලි පෝෂණය කළේ මගේ අම්මා සහ මගේ මිත්තණිය. ඒ ඔවුන් මට කුඩා කාලයෙදි කියා දුන් කතන්දරවලින්. මගේ මුල්ම භාවමය අත්දැකීම් බවට පත්වුණේ ඒ කතන්දර. ඒ වගේම ඉතා කුඩා කාලයේ සිටම මම හුඟාක් කියවන්නෙක් වුණා. මේ ඇසීමත් කියවීමත් කියන කාරණා ද්විත්වය තමයි මගේ චින්තනමය ලෝකය සහ නිර්මාණ ලෝකය පුළුල් කළේ.
ජයන්ත චන්ද්‍රසිරි කියන අද්විතීය නිර්මාණවේදියා කියන්නේ ජනමනසේ රසභාව තම නිර්මාණ ඔස්සේ කුළුගන්වමින් උද්දීපනය කරනු උදෙසා උසස් මෙහෙවරක් කළ කලාවේදියෙක්. මම අහන්නේ ඒ නිර්මාණවේදියාගේ සිත නැවතුණු ගීතයක් ගැන?
මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ නන්දා මාලනී ගායනා කරන වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම්බිම්වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින්, මා තුළ දැඩි භාව කම්පනයක් දනවන එමෙන්ම ප්‍රබල සමාජ කම්පනයක් දනවන ගීතයක් ලෙස මම දකින ඒ ගීතය ගැන කතා කරන්න කැමතියි මම.
ඒ ගීතයට එතරම් සුවිශේෂත්වයක් ඔබ හිමිකර දෙන්නෙ ඇයි?
ලංකාවේ දේශපාලනඥයන්ට ඇහෙන්න සලස්වන්න ඕන ගීතයක් තමයි මේ ගීතය. මේ ගීතයේ ඇති අරුත් දේශපාලන සංවාද දහසකින්වත් දෙන්න බැහැ. එමෙන්ම මිනිසා කියන්නෙ කවුද? මිනිසා මිනිසා දෙස බැලිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව ඉතාම සරලව හදවතට දැනෙන ලෙස නිර්මාණය කළ විරල නිර්මාණාත්මක චිත්‍රපටයක් වගෙයි ඒ ගීතය මට දැනෙන්නේ.
මේ තරම් ප්‍රබල ලෙස ඔබ මේ ගීතයට ආශක්ත වෙන්න හේතු වුණේ මේ සාධකය විතරද?
එක්තරා කාලයක සිට මට මේ සමාජය එක්ක යම් වේදනාවක් දුකක් තියෙනවා. ඒ දුක කොහෙන් එන එකක්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ. මොන සතුට භුක්ති වින්ඳත් මම සමස්ත මනුෂ්‍ය වර්ගයා ගැන කල්පනා කරන්න ජීවිතයේ වෙලාවක් වෙන්කර ගන්නවා. ලෝකයේ මිනිසාට අත්වී ඇති ඉරණම ගැන හිතද්දි මිනිසා පව් කියන සිතුවිල්ලක් මගේ හිතේ කොණක හැංගිලා තියෙනවා. යම් වේදනාවක් මගේ හිතේ කොණක තියෙනවා. මට හිතෙනවා මිනිස්සු පෙළන ලොකුම ඛේදවාචකය තමයි දුප්පත්කම. අවසන් වශයෙන් බැලුවම එක් නිශ්චිත කාරණාවක් අපට පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ නූගත්කම්වල, මෝඩකම්වල, අපරාධවල, ඛේදවාචකවල කෙළවරේ තියෙන ප්‍රධාන හේතුවක් තමයි දුප්පත්කම. නන්දා මාලනී මේ ගයන ගීතය ඒ සියලුම කතන්දර ප්‍රකාශයට පත් කරන ප්‍රකාශනයක් ලෙසයි මම දකින්නේ.
මහාචාර්ය සුනිල් ආරියරත්න ඔබට හමුවෙලා ඇති. ඔහුගේ ගීත ගැන ඔබේ ප්‍රතිචාර ඔබ ඔහුට දැක්වූ අවස්ථා තියෙනවද?
මම වරක් සුනිල් අාරියරත්න මහාචාර්යතුමා එක්ක ගියා චීනයට. ඒක සංස්කෘතික වැදගත්කමක් සහිත ගමනක්. ඒ ගමනෙදි මම පරණ කතාවක් අවුස්සමින් එතුමාගේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි කියන ගීතය ගැන කතා කළා. මේ ගීතය එක්තරා මහාචාර්යවරයෙක් ඉතා දරුණු විදිහට විවේචනය කළ ගීතයක්. රාගයෙන් තොර ආදරයක් තියෙනවනම් ඒ තියෙන්නෙ නෂ්ඨ කාමය තියෙන කෙනෙක් ළඟ කියලා ඒ මහාචාර්යවරයා කීවා. ඒ විචාරය මම දැක්කේ උග්‍ර භෞතිකවාදියෙකුගේ විචාරයක් විදිහට. ඔය කියන මහාචාර්යවරු දන්නේ නෑ කාර්ල් මාක්ස්ට, ලෙනින්ට තිබුණු හදවත්වල ස්වභාවය ගැන. මාක්ස්ගේ හොඳම නාට්‍යකරුවා ශේක්ස්පියර්. මාක්ස් ශේක්ස්පියර්ගේ නාට්‍ය කටපාඩම් කරපු මනුස්සයෙක්. එංගල්ස් වුණත් එහෙමයි. ඒ කාලේ මට මහාචාර්යවරයෙක් එක්ක හැප්පෙන්න ශක්තියක් තිබුණෙ නෑ. එහෙම ආදරයක් තියෙනවද නැද්ද කියන එක වෙනම වැඩක්. එහෙත් ඒ ගීතමය සංකල්පය තුළ ලොකු වටිනාකමක් තියෙනවා.
අද්‍යතන සමාජයේ බහුතරය කලා කෘතියක් රසවිඳිය හැකි මානසිකත්වයක ඉන්න බව ඔබ විශ්වාස කරනවද?
මනුෂ්‍යයා කියන සත්ත්වයාට රසවින්දනය මොටකර ගැනීමට භෞතික ප්‍රශ්න එතරම් දැඩි බලපෑමක් කරන්නෙ නෑ කියන ආකල්පය මම දරන්නේ. හැත්තෑ ගණන්වල ලංකාවේ ඉතා දුර්භික්ෂ කාලයක් තිබුණා. 1971 කැරුල්ල ආවා. 1973 වෙද්දි වගා සංග්‍රාමය කියලා වැඩසටහනක් දියත් කළා. භාණ්ඩ ආනයනය සීමා කළා. දේශීය නිෂ්පාදන ගැන වැඩි අවධානයක් යොමු කළා. උදේට එක්කෙනෙකුට පාන් කාලක් දෙන යුගයේ ඔය පාන් කාල ගන්න අපි ඉස්කෝලෙ යන්න ඉස්සර පාන්දර ගිහින් පාන් පෝලිමේ ඉන්නවා. ඒ මහා දුෂ්කර කාලයේ කිසි මිනිහෙක් බඩගින්නෙ මැරුණෙ නෑ. ඒ වගේම ඒ යුගය කියන්නේ ඉතා විශිෂ්ටයන් බිහිවූ කාලයක්. ජෝතිපාල, බෙග්, වික්ටර් රත්නායක, මාලනී බුලත්සිංහල, ටී.එම්. ජයරත්න, නිරංජලා සරෝජිනී, ගුණදාස කපුගේ ආදී පරපුරක් බිහිවුණේ මේ යුගයේ. 70 දශකය තමා සිනමාවේ ස්වර්ණමය යුගය. සිනමාශාලා පිරී ඉතිරිලා ගියා. චිත්‍රපටයක් නැරඹූ සංඛ්‍යාව බලද්දි රටේ ජනගහණයට වඩා වැඩියි ප්‍රේක්ෂක සංඛ්‍යාව. ඒ කියන්නෙ දෙපාරක් තුන්පාරක් බලලා එක්කෙනෙක් ඒ චිත්‍රපටය.
අද අපිට නැත්තෙ මොනවද? හුඟාක් දේවල් නෑ වගේම හුඟාක් දේවල් තියෙනවා. රේටින්ග්ස් සමාගම්වලට සල්ලි දීලා ඇතැම් අය ඇතැම් සින්දු, නාට්‍ය ප්‍රසිද්ධ කරන කාලයක් අද. මෙලෝ රහක් නැති සින්දු නිතර ඇහෙනවා මේ ප්‍රවණතා මත. හැබැයි හැම ප්‍රසිද්ධ ගීතයක්ම නාට්‍යයක්ම ජනප්‍රිය නෑ. මේ රසවින්දන සෝදාපාලුව විවෘත ආර්ථිකයත් සමඟ ක්‍රමිකව ගොඩනැගුණා. අපේ සමාජ ආර්ථික බලපෑම අද ඉතා දරුණු තැනකට ඇවිත් තියෙන්නේ.
ඔබ කියන්නේ රසවින්දනයට බලපාන ප්‍රධානම හේතුවක් වෙන්නේ සමාජ ආර්ථික ප්‍රතිපත්තිය කියන එකද?
ඔව්. අනිවාර් යෙන්ම එය ලොකු බලපෑමක් කරනවා. ගෝලීයකරණයත් එක්ක ප්‍රචාරණය කියන කාරණය හුඟාක් ඉදිරියට ආවා. ප්‍රචාරණය තුළ ඉදිරියට එන හැමදෙයක්ම හොඳ දෙයක්ද කියන ප්‍රශ්නයට බුද්ධියෙන් උත්තර හොයන්න ඕනෑ තැනක අද අපි ඉන්නේ. ඒක කලාවට විතරක් නෙවෙයි සමස්ත සමාජ ජීවිතයටම අදාළයි.
කලාවෙන් සහ රසවින්දයෙන් මානවයා දුරස්වීම තුළ රසවින්දනයත් කලාවත් කියන දෙය අනාගත ලෝකයෙන් තුරන් වී යන බව ඔබට හැඟෙනවද?
රසවින්දනය නැතිවෙන්න ප්‍රධානම හේතුව තමයි වැරදි රසවින්දනයට නැඹුරු වීම. හරි දේ විදිහට වැරදි දේ පැමිණීම හරි භයානකයි. අද ගීත වැඩිපුර සංඛ්‍යාවක් ඇහෙනවා. ඒත් ඒ ඇහෙන සංඛ්‍යාවෙන් වැඩිම සංඛ්‍යාවක් අවුලක නම් පවතින්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. හොඳ ගීත රචකයන්, ගායක ගායිකාවන් ප්‍රමාණාත්මකව අද අඩුයි. අද බහුතරය ඉන්නේ අර අවුලත් එක්ක. එතකොට ඒ බහුතරයකගේ රසවින්දනය නිසැකවම පිරිහෙනවා. ගීතයට විතරක් නොවෙයි නාට්‍ය, චිත්‍රපට, හැම කලා මාධ්‍යයකම මේ පිරිහීම අපි දකිනවා.
ගීතය හෝ වෙනයම් නිර්මාණයක් සම්භාව්‍ය හෝ අවර ගණයේ ගීත ලෙස වර්ග කිරීමට ඔබ එකඟද?
විනෝදය සහ වින්දනය කියන්නේ භාව දෙකක්. රූසෝ කියන දාර්ශනිකයා කියනවා විනෝදය නරක දෙයක් නෙවෙයි. ඒත් එය මල් මෙන් නෙලාගත් පසු මැලවී යයි කියලා. එහෙත් වින්දනය එසේ හමාර වෙන්නේ නැහැ. මම කුඩා කාලයේ අහපු ගීත අදටත් මම මනසින් විඳිනවා. වින්දනය අපිව අත්හැර යන්නෙ නෑ. වින්දනය කරන සේවයක් තියෙනවා. අවර ගණයේ ගීත කියන්නේ තාවකාලික විනෝදය සම්පාදනය උදෙසා බිහිවූ ඒ ඇබ්බැහියට සරිලන ගීත. ඒ කාලේ බයිලා ගී තුළ තිබුණෙත් රසවත් සාහිත්‍යමය ගුණයක්. රස ආහාර කවලා රන් කූඩුවේ තියලා.. ඇතිකරන්න ගත්ත මාල ගිරවී.. අතහරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා.. හිතුවද ඇය දාලා යයි කියාලා ගීතය බලන්න. එතන තියෙන සාහිත්‍ය බලන්න. එදා අපි නැටුවෙත් ඒ තරම් උසස් ගීතවලට. ඒත් අද නටන නටවන ගීත බහුතරය දිහා බලද්දි ඒ ගීතවලට නටනවනම් කොත්තු ගහද්දිත් නටන්න පුළුවන්.