ලොව බොහෝ රටවල අලුත් අවුරුද්ද ජනවාරි පළමුවැනිදාට යෙදුණද ලොව ඇතැම් රටවලට ඔවුන්ගේ සංස්කෘතිය හා ඇදහිලිවලට අනුව තමනටම ආවේණික අලුත් අවුරුද්දක් තිබේ. ලංකාවේ සිංහල සහ හින්දූ අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ ආසියාවේ වසන්ත කාලය ලෙස හැඳින්වෙන අප්‍රේල් හෙවත් බක්මාසයේය. එය අප්‍රේල් 12, 13 හෝ 13. 14 යන දෙදින තුළ පැවැත්වේ.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවේශවීම සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ උදාව ලෙස සැලකේ. සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල්ය. හින්දු දහම අනුව මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද, ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’ හෝ ‛චිත්තරයි තිරුනාල්’ යන නමින් හඳුන්වනු ලබයි.
දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අයත් ජනතාවද ශ්‍රී ලංකාවේ සිංහලයන් හා හින්දූන් මෙන් මේ කාලයේ නව වසර සමරති. තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕස් අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ උගාඩි සහ සන්ක්‍රාන්ති අලුත් අවුරුද්දද අපේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමඟ සමීප සබඳතාවක් පවතී.
ඉන්දියානුවන් ග්‍රිගෝරියන් දින දර්ශනය අනුව අලුත් අවුරුද්ද ජනවාරි 1 දින සැමරුවද ඇතැම් ප්‍රාන්තවලට වෙන් වූ අලුත් අවුරුදු දිනයන් දැකිය හැකිය. උගාඩි අලුත් අවුරුද්ද ඉන්දියාවේ කර්ණාටක, තෙලන්ගානා හා අන්ද්‍ර ප්‍රදේශ්හි මාර්තු අප්‍රේල් සමයේ සැමරෙන්නකි. උගාඩි යනු හින්දු භක්තිකයන්ගේ වැදගත් හා ඓතිහාසික උත්සවයක් වන අතර මධ්‍යතන යුගයේ ග්‍රන්ථවල හා සෙල්ලිපිවලද ඒ පිළිබඳව සඳහන්ය. අප්‍රේල් 13 දින පැවැත්වෙන මෙම උත්සවය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සහ ගෝව ප්‍රෙද්ශයේ ගුඩි පද්වා ලෙස හැඳින්වේ. කර්ණාටක ප්‍රාන්තයේ මෙම උත්සවය යුගාඩි ලෙස සමරනු ලැබේ. අප්‍රේල් 13 දිනම ඉන්දියාවේ පැවැත්වෙන තවත් අලුත් අවුරුදු උත්සව වන්නේ හර්යානා, ජම්මු, හිමචල් වැනි ප්‍රදේශවල හින්දූන් සහ සික්වරුන්ගේ වෛසාකි අලුත් අවුරුද්ද, තමිල්නාඩුවේ පුතාන්ඩු අලුත් අවුරුද්ද, ඇසෑමයේ සාම්ප්‍රදායික ආදිවාසීන්ගේ බොහග් බිහූ අලුත් අවුරුද්ද, අරුණාචල් ප්‍රදේශ්හි සංකන් අලුත් අවුරුද්, ඔඩිෂා ප්‍රදේශයේ පනසන්ක්‍රාන්ති වැනි උත්සවයි.
චීන අලුත් අවුරුද්ද, චන්ද්‍ර අලුත් අවුරුද්ද හා වසන්ත උත්සවය ලෙසද හැඳින්වේ, සෑම වසරකම සීත සෘතුව අවසන්වී වසන්තය එළඹීමත් සමඟ උදාවන නව සඳත් සමඟ චීන.නව වසර උදාවේ. චීන අලුත් අවුරැද්ද මිථ්‍යාවන් හා පැරණි සිරිත් විරිත් සමඟ ඒකාබද්ධ වූවකි. මෙම උත්සවය සාම්ප්‍රදායිකව දෙවිරැන්ට මෙන්ම මුතුන් මිත්තන්ටද ගෞරව කළ යුතු කාලයකි. දින 14ක් පුරා එය පැවැත්වෙන එම උත්සවයට සමගාමීව මැලේසියාව, සිංගප්පූරැව, බ_නායි, හොංකොං, මකාවු, ඉන්දුනීසියාව වැනි රටවලද අලුත් අවුරුදු උත්සව පැවැත්වේ.
කොරියානු අලුත් අවුරුද්ද සියොලාල් නමින් හැඳින්වේ. එය වසරේ දෙවැනි චන්ද්‍ර උදාව දිනයේ පැවැත්වෙන අතර බොහෝ විට ජනවාරියේ හෝ පෙබරවාරියේ උදාවන්නකි. අලුත් අවුරුද්ද සැමරීම තුළින් වසර පුරාම වාසනාව අත් කර ගැනීමටත් දුෂ්ඨ ආත්මයන් දුරු කිරීමට හැකි වන බවටත් විශ්වාස කෙරේ.
වියට්නාම අලුත් අවුරුද්ද ටැට් ගුයියන් දාන් නමින් හැඳින් වේ. එය බොහෝ විට චීන අලුත් අවුරුද්දට සමාන දිනයකි. වියට්නාම ජාතිකයන් චීන දින දර්ශනයට සමාන චන්ද්‍ර දින දර්ශනයක් භාවිත කරති. අලුත් අවුරුදු දිනයේ නිවෙස අතුගෑම තහංචියකි. එසේ කිරීමෙන් වාසනාව අතුගා දමන බවට වියට්නාම්වරැන් අතර විශ්වාසයක් පවතී. දින තුනක් පුරා පැවැත්වෙන මෙම ටැට් උත්සවයේ පළමු දිනය පවුලේ සාමාජිකයන් උදෙසාත්, දෙවැනි දිනය යාළු මිත්‍රයන් හා ඥාතීන් වෙනුවෙනුත් තෙවැනි දිනය ගෞරවණීය ගුරුවරුන් උදෙ සාත් වෙන් කෙරේ.
ටිබෙට් අලුත් අවුරුද්ද හැඳින්වෙන්නේ ලොසාර් ලෙසිනි. ජනවාරි සිට මාර්තු අතර කාලයේ දිනයක උදාවේ. ටිබෙට් බෞද්ධයන්ගේ උත්සවයක් වන ලොසාර් උත්සවය තුන් දිනක් පුරා පැවැත්වෙන්නකි. ලොසාර් අලුත් අවුරුදු සැමරුම ටිබෙටයට බුදු දහම පැමිණීමට පෙර තිබූ බොන් ආගමේ චාරිත්‍රයක් වූ සුවඳ දුම් පූජා කිරීමේ උත්සවය ඇසුරින් නිර්මාණය වූවක් ලෙස සැලකේ. පසුකාලයේ අස්වැන්න නෙළීමේ උත්සවය සමඟ ඒකාබද්ධ වූ එය අලුත් අවුරුදු උත්සවය ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.
මියන්මාර අලුත් අවුරුද්ද හැඳින්වෙන්නේ තිංග්යාන් නමිනි. එහි අරුත සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම යන්නයි. අප්‍රේල් මස මැද දිනෙක පැවැත්වෙන මෙය දින හතරක් හෝ පහක කාලයක් පුරා පැවැත්වෙන බෞද්ධ උත්සවයකි. චීනය (යුනාන් පළාතේ දායි ජනතාව), ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාවේ බොහෝ රටවල පැවැත්වෙන අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව මියන්මාරයේ අලුත් අවුරුද්ද පැවැත්වේ.
අප්‍රේල් 13/14 හෝ 15/16 යන දෙදින තුළ උදාවන ලාඕසයේ අලුත් අවුරුද්ද සොන්ක්‍රාන් නැතිනම් පි මායි ලෙස හැඳින්වේ. මෙම කාලය ලාඕසයේ උණුසුම්ම කාලයයි.