2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

මම මැරෙන්න ගිය දවසේ තාත්තා ගැන වෛරය අත්හැරියා

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 269

රංගනය තුළ ඇයගේ රංගන දිශානතිය විවිධ පරාසයන් ඔස්සේ විහිදී ගියාය. රංගනයෙහි ඇය පෑ ප්‍රතිභාවද සැබැවින්ම අපූරු ප්‍රතිභාවකි. දමිතා අබේරත්න යන රංගවේදිනියගේ රංගනය අදටත් ප්‍රේක්ෂක හදවත්හි නොමැකෙන ඉඩහසරක් වෙන්කරගෙන ඇත්තේ එහෙයිනි. අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්නේ ඇයයි.

මම විශ්වාස කරන විදිහට ඔබ ප්‍රේක්ෂකයන්ට ඉතා ළං වුණු රංගවේදිනියක්. ඒ ආකර්ෂණය කොහොමද ඔබ ඇතිකර ගත්තේ?
මම හිතන්නේ අපි මිනිස්සු එක්ක ජීවත්වෙන විදිහ අනුව තමයි මිනිස්සුන්ව අපිට දැනෙන්නේ. අපි රඟපාන්නේ කළු චරිතයක්ද සුදු චරිතයක්ද කියන එකටත් වඩා ඒ චරිතයට අපි කරන සාධාරණය අනුව ඒ චරිතය තුළ අපි අවංකව ජීවත්වීම තුළ තමයි අපි මිනිසුන්ගේ හදවත්වල ඉඩක් වෙන්කර ගන්නේ.

චරිතයක් තුළට ඉතා තාත්විකව ආරෝපණය වීම ලෙහෙසි කාර්යයක් නෙවෙයි. ඉතා සියුම් ලෙස කොහොමද ඔබ ඒ දුෂ්කර වෑයම සාර්ථකව ජයගන්නේ?
මුඩුක්කුවක චරිතයක් මට වරක් රඟපාන්න සිද්ධවෙලා මම මුඩුක්කුවකට ගිහින් මගේ චරිතයට සමාන ගෑනු කෙනෙක් හමුවෙලා කතා කළා. මම එයාට කීවේ නෑ මම මේ වගේ චරිතයක් රඟපාන්න යන්නෙ කියලා. ඒ මුඩුක්කු පරිසරය, හැසිරීම් හොඳට අධ්‍යයනය කරලා තමයි මම ඒ චරිතය රඟපෑවේ. මොන චරිතය කළත් මම ඒ චරිතය තමන්ගෙම කරගෙන තමයි ඒ චරිතය එක්ක ආත්මීයව බද්ධ වෙන්නේ. මට ලැබෙන චරිතවල සාමාන්‍ය චරිතයක අංග ලක්ෂණ, කතාබහ, හැසිරීම මේ ඔක්කොම මම අධ්‍යයනය කරලා තමයි රඟපාන්නේ.

මම දර්ශන තලයට යන්නෙ මැටි බෝලයක් විදිහට. එතකොට අධ්‍යක්ෂවරයාට පුළුවන් ඒ මැටි බෝලය තමන්ට ඕනෑ විදිහට හදාගන්න. අපි ගෙදර ඉඳන්ම මෙහෙම තමයි මම කරන්නෙ කියලා හිතාගෙන ගියොත් ඒක කරන්න අමාරුයි.

දමිතා.. ඔබේ හිතට හුඟාක් සමීප වුණු, ඔබ විඳින, ඔබ ඔබේම නොවුණත් ඔබේම කරගත්ත ගීතයක් ඔබට තියෙනවද කියලා මම ඊළඟට අහන්නේ?
මම මගේම කරගත්ත ගීත හුඟාක් මට තියෙනවා. ඒ ගීත අතරින් අද මම කතා කරන ගීතය මට හරි විශේෂයි. එය මම පොඩි කාලෙ ඉඳන්ම කැමතිම ගීතයයි. කුමාරදාස හපුතන්ත්‍රි ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව කියන ගීතයයි.

ඒ ගීතයට පුංචි කාලයේ ඉඳන්ම ආදරය කරන්න තරම් ප්‍රබල වූ හේතුව කුමක්ද?
මගේ තාත්තා බීමට ඇබ්බැහි වූ කෙනෙක්. මට අවුරුදු තුනේදි විතර තාත්තා අපිව අත්හැරලා ගියා. අම්මා හරි අහිංසකයි. අපිව හදාගෙන අම්මා තනියෙන් ජීවත් වුණා. තාත්තා අපිව අත්හැරලා ගිය දවසේ පටන් මට අම්මා තාත්තා දෙන්නම වුණේ අම්මා. මේ ගීතය අහපු පළමු දවසේම මට හුඟාක් දැනුණා. තාත්තා කෙනෙක්ගේ ආදරය නොලැබුණු හින්දමද මන්දා මම හරි ආසයි යාළුවෙක්ගේ තාත්තා කෙනෙකුට හරි තාත්තා කියලා කතා කරන්න. තාත්තා කියන වචනයට මම ආසයි.

තාත්තා කෙනෙක්ගේ ආදරය කොයි වගේද කියලා ඔබට හිතාගන්න පුළුවන්ද?
තාත්තා කෙනෙක්ගේ ආදරය මේ ගීතය තුළ මම දකිනවා. පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහි ඇත්දෝ.. උන්ගේ සිත රුඳි තනිය මකන්නට මවුනට කවදා හැකිවේදෝ.. තාත්තා කෙනෙක්ගේ අඩුව මකන්න අම්මා කෙනෙකුට පුළුවන්ද කියන ප්‍රශ්නය පුංචි කාලයේ ඉඳන්ම මගේ හිතේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මගේ ආතාගෙන් මගේ තාත්තාගේ ආදරය ලැබුණා. අම්මා අපට කිසිම දේකින් අඩුවක් කළේ නෑ. ඒත් මට දැනුණා දරුවෝ දෙන්නෙක් හදපු අම්මා කෙනෙක්ට එයාගේ ස්වාමිපුරුෂයා නැතිවුණාම එයා කොහොමද ඒක දරාගන්නෙ කියලා. සැබෑ ගැහැනියකට තමන්ගේ ස්වාමිපුරුෂයා කියන්නේ තවත් එක් පියෙක් තමයි. තමන්ගේ තාත්තාගෙන් පසු ලැබෙන දෙවෙනි තාත්තා තමයි ඔහු. ඒ වගේම ඔහු යාළුවෙක් වෙන්න ඕනෑ. සහෝදරයෙක් වෙන්න ඕනෑ. මේ හැමදේම මගේ අම්මට නැතිවෙද්දි මගේ අම්මා හරි පව් නේද කියලා මට හිතුණා. මගේ ආතා නැතිවුණාම මට මගේ තාත්තා නෑ නේද කියන හැඟීම හුඟාක් දැනුණා. එතෙක් ඇත්තටම ඒ හැඟීම ඒ තරම් ප්‍රබලව මට දැනුණේ නෑ.

තාත්තා නැති අඩුව ජීවිතේ කොතනකදි හරි ඔබ හෙව්වද ආයෙත්?
ඒ කොච්චර හෙව්වත් තාත්තගේ ආදරය මට ආය කොතනකින්වත් ගන්න බෑනේ. මගේ අම්මා පොඩි කාලේ මගේ තාත්තා ඉන්න තැනට අපිව අරගෙන ගියා. අම්මා අපිට කීවේ තාත්තා එක්ක තරහා වෙන්න එපා කියලා. ඒත් මම මගේ තාත්තට තාත්තා කීවේ නෑ. ඒකට හේතුව මගේ තාත්තා මගේ අම්මට දීපු වධ මම දුටු නිසා. මගේ තාත්තා එක්ක මට තිබුණා තරහක්. හැබැයි ඒක වරදක්. මොකද මම අද මේ ලෝකේ ඉන්නෙත් මගේ තාත්තා නිසානේ. මගේ අයියාගේ හිතේ එහෙම දෙයක් තිබුණේ නෑ. ඒත් මට හිතුණා ඇයි මෙච්චර හොඳ අහිංසක අම්මා කෙනෙක් දාලා තාත්තා ගියේ, එයාගේ ළමයි දාලා එයා ගියේ කියලා. අපි ජීවත් වුණේ පුංචි තැනක. මගේ අම්මා දවසක් රූ 12.00ට විතර බීලා ගෙදර එන තාත්තට රූ කෑම බෙදද්දි එකපාරටම මෝල්ගහක් අරන් අම්මගේ නළලට ගැහුවා. මම එතකොට අවුරුදු තුනක විතර ළමයෙක්. කිසිම වරදක් නොකළ අම්මට එහෙම ගහද්දි ඒක බලාගෙන හිටියා. මට පුදුම කම්පනයක් දැනුණා. අදටත් අම්මාගේ නළලේ ඒ ගැටය තියෙනවා. ඒ මොහොතේ මාත් මේ දේ තාත්තාට කරනවා කියලා ලොකු වෛරයක් මගේ හිතට එකපාරටම ආවා. ඒත් ළමයින්ට ආදරය කරන තාත්තලා දැක්කම මට හරි ආදරේ හිතෙනවා. පසුකාලීනව මගේ හිතුවිලි වෙනස් වුණත් මම ඇත්තටම මුලින් තාත්තට ආදරේ කළේ නෑ. මම එකපාරක් මහ රූ වාහනයෙන් පෙරළෙන්න ගියා. මමයි රියදුරුයි විතරයි වාහනේ. මම පිටිපස්සේ හිටියේ. මම හෙල්ලුණොත් වාහනය පල්ලමට වැටෙන තැනට තිබ්බේ. එදා මට හිතුණා මේ වාහනය වැටුණොත් මගේ ජීවිතය ඉවරයි. මගේ ජීවිතය ඉවර වුණොත් තාත්තා එක්ක ලොකු වෛරයකින් මම මැරෙන්නෙ. මගේ හිත එදා කීවා මේ වෛරය එක්ක ජීවත් වුණොත් ඊළඟ භවයෙත් මට හොඳ තාත්තා කෙනෙක් නැතිවෙයි.. මම මොකක් හෝ පෙර කරන ලද කර්මයක් නිසා මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එදා මට හිතුණා ඇයි මම තාත්තට වෛර කරලා මැරෙන්නෙ කියලා. එදා මම හිතුවා අද දවසේ මම බේරුණොත් මම ඉස්සරලවම කරන්නේ මගේ තාත්තාට සමාව දෙන එක කියලා. එදා ගෙදර ඇවිත් මම මගේ අයියට කීවා තාත්තව එක්ක එන්න කියලා. එයා තාත්තා එක්ක ආවා. මට සමාවෙන්න තාත්ති.. මම හිතාගෙන හිටියේ ඔයා එදා අම්මට ගැහුවා වගේ මම ඔයාට මෝල්ගහකින් ගහනවා කියලා. ඒක ලොකු වෛරයක්. ඒ වෛරය අදින් පස්සේ නෑ. ඒත් අපි ළඟ හිටියත් නැතත් ඔයා හොඳ තාත්තා කෙනෙක් වෙන්න කියලා මම කීවා. එදා තමා මම එයාට තාත්තා කියලා කතා කරපු පළවෙනි දවස. එදා එයා හුඟාක් ඇඬුවා.


ඔබ හරිම සංවේදීව කතා කරනවා මේ ගීතය සමඟ ඔබේ ජීවිතයේ සත්‍ය අත්දැකීමක්. ඒ අත්දැකීමත් එක්ක මේ ගීතය අහද්දි මේ ගීතයේ ඔබට වඩාත් හෘද සංවේදීව දැනෙන තැන කුමක්ද?

මට මේ මුළු ගීතයම එකම විදිහට දැනෙනවා.

පිතු සෙනෙහේ පිදු
පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රුඳි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදෝ

හිරු මඬලක් සේ කිරණ බෙදා දී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජීවිතේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
පොළොව නිවාලන්නේ...

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවරණ දෙන්නේ...

අම්මා කෙනෙක්ට බුදු වන්න විවරණ දෙන්නෙ ඒ තාත්තා. තාත්තා කෙනෙක්ගේ ආදරය කොච්චර බරක්ද? මේ ගීතය ඇතුළෙ අම්මා තාත්තා දෙන්නාගෙන්ම අපට ලැබෙන දේවල් ටික තියෙනවා.
මේ ගීත රචකයා දවසක හමුවුණොත් ඒ ගීත රචකයාට මේ ගීතය ගැන ඔබේ ප්‍රතිචාරය ඔබ දක්වන්නේ කොහොමද?
කොහොමද මෙහෙම හැඟීමක් ආවේ කියලා මේ ගීතය ලීව ගීත රචකයාගෙන් මම අහනවා.

මේ ගීතය ගැන ඔබේ හදගැස්ම දැනෙන කෙනෙක් ළඟදි ඔබ කතා කරලා තියෙනවද?
ගොඩාක් අයත් එක්ක මම මේ සින්දුව ගැන කතා කරලා තියෙනවා. මට කවුරුහරි සින්දුවක් කියන්න කීවොත් මේ ගීතය තමයි මම කියන්නේ. හුඟාක් අය මගෙන් අහනවා ඇයි මේ ගීතයට කැමති කියලා. කෙනෙක් මේ ගීතය අහද්දි ඇයි මේ ගීතයට කැමති කියලා ඇහුවොත් මම මේ ඇත්ත කතාව කියනවා. බෞද්ධ දර්ශනය එක්ක අපි ජීවිතයේ සියලු දේ අත්හරින මිනිස්සු. ජීවිතයේ අත්හැරෙන සමහර දේවල්වල මතකයන් අපි ලෞකිකත්වය තුළ අරගෙන යනවා.

ලෝකයේ දහස් ගාණක් දරුවෝ ඉන්නවා අම්මාගේ තාත්තගේ ආදරය හොයාගෙන අඳුරේ අතපත ගාන. ඔබේ අත්දැකීමත් එක්ක ඔබ මේ සමාජයට දෙන පණිවිඩය කුමක්ද?
මට දැනෙන තේරෙන වයසේ ඉඳන් මම කළේ අම්මා තාත්තා නැති දරුවන්ට දානෙ දෙන එක. මේ ගීතය අහන්නත් ඉස්සර ඉඳන් මම ඒක කළා. මට මොනවද නැතිවුණේ කියලා මට හිතෙන්න පටන් ගත්තා. අම්මා තාත්තා දෙන්නගේම ආදරය නැතිවූ ළමයි හම්බවෙද්දි මගේ දුක නිවාගන්න ලොකු සහනයක් වුණා ඒ දානමය පින්කම්. ඒ දරුවන්ගේ සතුට දැකලා මම ලොකු සතුටක් වින්ඳා. ජීවිතය තේරුම් ගන්න දුක් විඳින්න ඕනෑනම් ඒ දරුවන්ට ජීවිතය අලුතින් තේරුම් ගන්න දෙයක් නෑ. මම දෙන පණිවිඩය තමයි අපිට පුළුවන් සැම මොහොතකම දරුවන්ගේ මානසිකත්වය ගැන හිතලා ඒ දරුවන් සතුටින් තියන්න. ඒ ලබන සැනසීම වින්දනය තරම් සතුටක් වෙන කොහෙන්වත් ලබන්න බෑ.

ඔබට ඔබේ දුක කඳුළු කරලා මේ ගීතයත් එක්ක ඔබේ දුක නිවාගත්ත ඉඩහසරක් තියෙනවා. ඒත් වර්තමානයේ දරුවන් කලාවෙන් හුඟාක් දුරස්වෙලා. රසවින්දනයක් නැති දරුවන්ට තමන්ගෙ දුක කලාවත් එක්ක දියකර ගන්න තේරෙන්නෙ නෑ. රසවින්දනය එක්ක ජීවිතයේ ප්‍රශ්න බෙදාගන්න දරුවන්ට ඉඩක් නෑ කියන එකට ඔබ එකඟද?
රසවින්දනය කලාව මිනිසුන් සුවපත් කරන බෙහෙතක්. ඒ බෙහෙත හරියට ගන්න සංවේදී මිනිසුන් ගීතයක හෝ කලා නිර්මාණයක රසය හඳුනාගන්න මිනිසුන් ඒ තුළින් ලබන සුවපත් වීම අපමණයි. ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක ඉන්න ළමයි පුංචි මැෂින් වගේ වෙලා. දරුවන්ට කලාව නර්තනය උගන්වන්න හොඳ ගීත අහන්න දෙනවා. කලාව තුළ දරුවන් ඉවසීම ඉගෙන ගන්නවා. අනිත් මනුෂ්‍යයාගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් සංවේදී දරුවෙක් නිර්මාණය කරන්න. දරුවන් දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතිඥයෝ කරන්න පොරකන මව්පියන්ට මම කියන්නෙ දරුවා ඒ කවුරු කළත් කමක් නෑ.. කලාව තුළිනුත් ඒ දරුවන් පෝෂණය කරන්න. ඒ දරුවා හොඳ රසවින්දනයක් ඇති මනුෂ්‍යයෙක් කරන්න. ඒ දරුවා ලෝකයට ආදරය කරන ගෞරව කරන මනුෂ්‍යයෙක් විදිහට මේ ලෝකය එක්ක ගමනක් යයි.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00