කළු පාටට තරම්ම කළුවරටත් මම ආදරෙයි. ඒත් කළුවර ලෝකයම කරගෙන ජීවත් වෙන්න පුළුවන්ද ඔයාට. මම අහන්නේ කළුවරෙන් එහා කිසිවක් නොදකින තැනක ජීවත් වෙන්න පුළුවන්ද ඔයාට.. තිත්ත රහක් නොදැනුණත් කළුවරකදි දැල්වෙන පුංචි පහන් සිලක එළියක් වුණත් හොයන්නෙ නැද්ද හිත... සීතල මැදියමක වුණත් තරු එළියක් තරම්වත් හොයන්නෙ නැද්ද... ඇයි එහෙම හිත හොයන්නෙ... කළුවර ඇතුළෙ කළුවර විතරක්ම දකින්න අකමැති හින්දා තමයි අපි කළුවරින් එහා කළුවරකදි ආලෝක රේණුවක තරම් දෙයක් හරි හොයන්නෙ...
ඒත් ඇගේ ලෝකයම කළුවර විතරයි. ඒ ඇයට විවර වුණු ඇස් දෙකක් දෙන්න තරම් දෙවියන් වහන්සේ සාධාරණ නොවුණු නිසා. ඒත් ඇය කළුවර තුළත් ලෝකයක් හොයනවා. ඒ ඇයට පය තියලා ඇවිදින්න. ඒ ඇවිදින ගමනේදි ඇගේ ජීවිත යාත්‍රාව කම්පනයට පත් කරන කුණාටු ගැන තමා Black හින්දී චිත්‍රපටයෙන් කතා කරන්නේ.
Black චිත්‍රපටයේ කතාව සංජේ ලීලා බන්සාලිගේ. බන්සාලි කියන්නේ භාරතය නිමැවූ අපූර්වතම සිනමාවේදියෙක්. ඔහු පුදුමාකාර ඉසියුම් තල කරා ගමන් කරමින් මනුෂ්‍යභාවයන්ගේ විවිධ හැඩතල තම නිර්මාණ හා සුසංයෝග කරගන්න හැටි ඇත්තටම පෙර නොවූ විරූ තරම්... බන්සාලි අනිත් අයගේ ජීවිත ඇතුළට... අනිත් අයගේ ආත්මගත භාවයන් තුළට මේ තරම් සුගැඹුරු ලෙසින් කිඳා බසින්නේ කොහොමද කියලා කියවන්න බන්සාලිගේ සිනමා පටයකට දැහැන්ගතවීම හරිම සුන්දර අත්දැකීමක්..
ඇය පුදුමාකාර හිතුවක්කාරියක්. ඒත් ඒ හිතුවක්කාරකම ඇතුළෙ තියෙන්නෙ හිතුවක්කාරකම විතරක්ම නෙවෙයි ඇය ඉල්ලන ආදරය ඇය ඉල්ලන ජීවිතය ඇය ඉල්ලන සතුට ඇය ඉල්ලන නිදහස. මේ සියල්ල ඒ හිතුවක්කාරකම ඇතුළේ තියෙනවා. ඒ නිසාම ඇය ඇයට අවැසි ඇගේ ලෝකය වෙනුවෙන් ඇයට දැනෙන හැම කෙනෙක් එක්කම අරගල කරනවා. ඒත් ඒ හිතේ සංවේදනාවන් සංවේදනාත්මකව කියවන්න ඉන්නෙ ඇගේ අම්මා විතරයි. ඇගේ හිතුවක්කාරකම් ආදරයෙන් ඉවසන්න ඉන්නෙත් ඇගේ අම්මා විතරයි.
ඔයා තාත්තා කෙනෙක්ගෙ ආදරය විඳලා තියෙනවද? ඔයාට තාත්තා කෙනෙක්ගේ ආදරය දැනිලා තියෙනවද? ඒ ආදරයේ හැඩතල, වර්ණ ගැන ඔයා දන්නවද? ඒ වර්ණ ඔයාගේ ජීවිතය ලස්සනට පාට කරලා තියෙනවනම් ඔයා තාත්තගේ ආදරය ගැන දන්නවා ඇති...
ඒත් ඇයට කවදාවත් තාත්තාගේ ආදරය දැනෙන්නේ නෑ... ඒ තාත්තා ඒ හිතුවක්කාරියට ආදරය කරන්නෙ නෑ.. ඇගේ මනෝමය අරගලය ඒ තාත්තා කවදාවත් තේරුම් ගන්නෙත් නැහැ. ඒ නිසාම ඇය ඇය තුළම හුදෙකලා වූ දරුවෙක් බවට පත්වෙනවා.
ආදරය දැනෙන තැන ගිහින් නැවතී ඉන්න... ජීවිතය හැමදාමත් ඉල්ලන්නෙ නවතින්න ආදරය දැනෙන තැනක්. ඒත් ඇයට අම්මාගෙන් ලැබෙන කරුණාව ළෙන්ගතුකම තුළ වුණත් ඇය ඉල්ලන ආදරය දැනෙන්නෙ නෑ... ඒ නිසා සියල්ලගෙන් සහ සියල්ලකගෙන් ප්‍රතික්ෂේප වන ඇයව බාරගන්න එන්නෙ එක්තරා ගුරුවරයෙක්.. ඒ ගුරුවරයා තමන්ගේ මිනිපිරියක් වගේ වෙච්ච මේ පුංචි කෙල්ලව දරදඬුකම් අතරෙම සැඟවිච්ච ආදරයකින් පිරිපහදු කරනවා.. ඇයට ආදරය කියන හැඟීම ජීවිතයේ දැනෙන පළමුවෙනි තැන තමා එතැන.
නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට... ඇගේ ලෝකය නවතින්නෙ එතැන. ඔහු ආදරයෙන් සහ දරදඬුකමින් ඇය හික්මවන අයුරු හරිම සුන්දරයි.
මේ ලෝකයේ වෙනත් හුඟාක් හැඟීම්වලට කරන්න බැරි දේවල් ආදරය කියන හැඟීමට කරන්න පුළුවන්. ආදරය කියන්නෙ ආදරයම විතරයි. මම දන්නෙ නැහැ ඒ ආදරය නිර්වචනය කරන්න වෙන වචන.
රැයකට ඔයා ආදරය කරන්නෙ ඇයි? මම රාත්‍රියට ආදරය කරන්නේ කළුවර හින්දා.. කළුවරකදි පුළුවන් කළුවරත් එක්ක කතා කරන්න.. ජීවිතය අහගෙන ඉන්න කෙනෙක් නැත්නම් කළුවරට කතා කරන්න.. කළුවරත් එක්ක ජීවිතය ගැන ආදරය ගැන කතා කරන්න. ඇය හැමදාමත් කතා කළේ ඒ කළුවරත් එක්ක.
ඇයට ඇගේ ජීවිතයේ ආදරණීයම ගුරුවරයා මුණගැහෙන්නේ ඒ අතරවාරයේදී.. මහා අන්ධකාරය දල්වාලූ පුංචි පහනක් වගෙයි ඒ ආදරය ඇගේ ජීවිතයට... ඇය කළුවර අස්සේ එළියක් හොයන හැටි දකිද්දි පුදුමාකාර භාව ප්‍රකම්පනයක් අපේ හිත්වලට දැනෙනවා..
මනුෂ්‍ය භාවයන්ගේ ස්වභාවය වරෙක පුදුමාකාරයි. ලැබෙන දේ අත්හැර අත්හැර මිනිසුන් හොයන්නෙම නොලැබෙන දේවල්. ඒ හොයන දේ ලැබීමත් අයිතියක් බවට පත්වුණාම ඒ දෙයට මිනිසුන් ඒ දෙය සෙවූ කාලයේ තරම් ආදරය කරනවද කියලා හිතද්දි මට හිතෙන්නෙ නැහැ එහෙම ආදරය කරන්නෙ කියලා.
ඇය අවසානයේ අර ගුරුවරයාට ආදරය කිරීම අතහැර ප්‍රේම කරන්න පටන් ගන්නවා. ප්‍රේමය ආදරය තරම් නිර්මල නෑ... ආදරය තුළ ඉල්ලීම් නොතිබුණත් ප්‍රේමය තුළ ඉල්ලීම් තියෙන්න පුළුවන්. ආදරය සඳ එළියක් වගේ. සඳ එළිය තමයි මේ ස්වභාවධර්මය ලෝකයට දුන්න නොකිලිටිම දායාදය. ප්‍රේමය මහ වැස්සක් වගේ. ජීවිතය කකාරවමින් හැඟීම් අවුස්සනවා. ප්‍රේමය කවුරු කොතෙන්ට එක්ක යයිද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. ඒ ප්‍රේමය නිසාම ඒ ගුරුවරයා ඇය අත්හැර යනවා.. මට හිතෙන්නේ ඇය දෙවැනි වර ජීවිතය පටන් ගන්නෙ එතනින්...
Black අපිට ගෙනියන්නේ ඇගේ ජීවිතය තුළට... මඟහැරි හැරී ඇයට ජීවිතයම හමුවෙන හැටි ඉරණම ගැන අලුත්ම කතාවක්. Black අවසානයේ කියා දෙනවා ආදරයෙන් වියුක්තව ජීවත් වෙන්න පුළුවන්... ඒත් ජීවත්වෙන බව දැනෙන්න නම්... හුස්මක් වැටුණට හුස්මක් වැටෙන බව දැනෙන්න නම් ආදරය ජීවිතයට අවශ්‍යම සාධකයක් කියන සිද්ධාන්තය...
ආදරය කියන්නෙ ආදරයට
ප්‍රේමය කියන්නෙ ප්‍රේමයට...
ඉන් එහා කෝ නිර්වචන...