මිහිපිට ජීවත් වන යම් මනුෂ්‍යයෙක් වේද ඒ මනුෂ්‍යයා හුස්මක් වැටෙන හුදු මිනිසකු නොවී හුස්මක් ගන්න මිනිසකු ලෙස ජීවිතය දකින්නේනම් ඒ දැක්ම සුන්දරය. පරාර්ථකාමී පරමාර්ථ අල්පමාත්‍රයක් හෝ යමෙක් තුළ වේද සැබැවින්ම ඒ දැක්ම ප්‍රසංශනීයය. 2020 න් එහා ශ්‍රී ලංකාව^ පුස්තකයේ පිටු අතර සැරිසරද්දී වඩා අසිරිමත් මානවීය සෞන්දර්යයෙන් පිරිපුන් හෙට දවසක් ගැන පහන් හැඟුම් සමුදායක් සිත අස විකසිත වෙයි. මා කියවූ ඒ ග්‍රන්ථයේ ලේඛකයා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එසේම පරිසරවේදියෙකි. මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස එක් කලෙක ඒ විෂයෙහි වගකීම් සම්භාරයකට උරදුන් තවද ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හිටපු සභාපති ලෙස තවත් වගකීමක් දෙවුර දැරෑ වෛද්‍ය සාරංග අලහප්පෙරුම අද මගේ නොවන මගේම ගීතය වෙනුවෙන් අප ඇරියුම් ලද ළෙන්ගතු ආරාධිතයාය.
සාරංග ජීවිතය දැනෙන්නේ විඳින්නේ සහ දකින්නෙ කොහොමද කියන තැනින් කතාව පටන්ගන්න මම කැමතියි?
රසවින්දනය, කලාව, සෞන්දර්ය සේම වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය සහ පවුල් ජීවිතය නිසි කාල කළමනාකරණයක් තුළ දකිමින් විඳිමින් ජීවත්වන බව හදවතට දැනෙන්න, ජීවත් විය හැකි ජීවිතයක් තමයි මම හැමදාමත් හෙව්වේ. හුදෙක් වෘත්තිකයෙක් නොවී වෘත්තිකයන් අතර මනුෂ්‍යයෙක් වෙන්න මාර්ගය කලාව සහ ස්වභාවධර්මය වෙත සැබෑ ළෙන්ගතු හැඟීමකින් ළංවීම ඔස්සේ ලැබෙන බව මම විශ්වාස කරනවා. මේ රට මීට වඩා හොඳ රටක් කරන්න, සතුටින් නිරෝගීව ආදරයෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් රටක් කරන්න අල්පමාත්‍රයකින් හරි යමක් කළ හැකිනම් ඒ තමා මගේ බලාපොරොත්තුව.
කලාව ඔබ දකින්නේ සහ කලාවේ හර ඔබ ඔබේ ජීවිතයට ඈඳාගන්නේ කොහොමද?
රාජකාරි ජීවිතයෙන් එළියට ඇවිත් සමාජය දෙස පුළුල් දෘෂ්ටිකෝණයකින් බලන්න මගේ හිත යොමුකර තියෙන්නේ මගේ හිතට පෙරුත්ත කරන්නේ කලාව තුළ තියෙන සංවේදී බව. මනුෂ්‍යයෙක් ආත්මාර්ථකාමී ලෙස තමන් පමණක් තෘප්තිමත් නොවී ඔහු සමාජය තෘප්තිමත් කරන්න වෙහෙසෙන මනුෂ්‍යයෙක් බවට පත් කරන්නේ කලාව විසින්. පාසල් කාලයේදි විශ්වවිද්‍යාල කාලයේදි වගේම ඊට පස්සෙත් කලාව ගීතය මේ හැම දෙයක්ම එක්ක මට තිබුණු සබැඳියාව සහ එය විඳීම ඇතුළේ මා ලද ප්‍රහර්ෂය අපමණයි. කලා විචාරයන් සහ අධ්‍යයනයන් තුළින් ගන්නා සංකල්ප, ජීවිතයේ මම යම් සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඊට කදිම මඟපෙන්වීමක් වුණා. තවම මම ගීත රචනය හෝ ගායනය විෂයෙහි යොමුවී නැති වුණත් කලාව මම හදවතින්ම විඳින කෙනෙක්. රසවිඳින කෙනෙක්. හදාරණ කෙනෙක්. ජීවිතයේ තුලිතභාවය, මානසික නිරෝගීභාවය, මේ හැමදේටම වඩාත් හොඳට පාර කියන්නේ අපි ඉගෙනගත්ත ශාස්ත්‍රය හෝ ඖෂධ නෙවෙයි කලාව. කලාව යනු ඉතා යහපත් දෙයක් සහ අවභාවිත නොකළ යුතු දෙයක්. මම හදවතින්ම කලාවට සමීපයි සහ ආදරෙයි.
සාරංග කලාවට ගීතයට මේ තරම් ළතෙන් හැඟීමකින් ආදරය කරන ඔබ ඔබේම කරගත්ත ගීතයක් තියෙනවද?
ඔව්. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව ගැයූ තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ගීතය මම මගේම කරගත්ත ගීතයක්.
ඇයි ඒ ගීතයට ඔබ එතරම්ම කැමති?
අපි ලෝකයේ විවිධ ව්‍යුහ ගැන කතා කරනවා. මම විශ්වාස කරනවා මේ විශ්වයේ පවතින වැදගත්ම ව්‍යුහය තමයි පවුල කියන ව්‍යුහය. පවුල කියන ව්‍යුහය ශක්තිමත් නැත්නම් ගම කියන ව්‍යුහය කවදාවත් ශක්තිමත් වෙන්නෙ නෑ. රට කියන ව්‍යුහය කවදාවත් ශක්තිමත් වෙන්නෙ නෑ. මම දැන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන්නේ. මම රෝගීන්ගෙන් අහන මූලිකම දේ තමයි කොහොමද ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කියන එක. එය අපට රෝගියෙක් සුවපත් කරන්න වගේම මානසික රෝගයක් වැළඳෙන්නෙ නැතුව ඉන්නත් ඉතාම වැදගත් වෙන කාරණාවක්. ඒ නිසා මට හිතෙන්නේ ඒ ඇතුළෙ අන්‍යෝන්‍ය අවබෝධය එකිනෙකාගේ ගෞරවය, එකිනෙකා තේරුම් කර ගැනීම අතිශය වැදගත් කාරණයක්. අපි ජීවත් වෙන්නේ පුරුෂ මූලික සමාජයක. මේ පුරුෂ මූලික සමාජය ඇතුළේ කාන්තාවකගේ කාර්යභාරය විශේෂයෙන්ම අප වැනි ආසියාතික රටවල් ඇතුළේ ඉතා විශාලයි. ලෝකයේ සමස්ත වැඩ කරන පැය ගණනින් තුනෙන් දෙකක් කාන්තාවන්ගේ ශ්‍රමය. ඒත් ඔවුන් අතට යන්නේ සමස්ත ආර්ථිකයෙන් 10%ක් පමණයි. ඒ වගේම ලෝක ආහාර නිෂ්පාදනයට කැපවන පැය ගණනින් ශ්‍රමයෙන් බාගයක්ම කාන්තාවන්ගේ. නමුත් ඔවුන්ට අයිති සමස්ත ලෝක භූමියෙන් 1%ක්. මේ භෞතික සාධකයන්හි ප්‍රතිශතයන් අගයන් කවරක් වුවත් අපි අම්මාගෙන් ලද ආදරය සෙනෙහස අපි දිනක පියවරු වුණාම ලබන්නේ බිරිඳගෙන්. මම මෙතනදි මේ වටිනාකම මේ නිර්වචනය දෙන්නේ බිරිඳකගේ භූමිකාව සතු සැබෑ වටිනාකම් හඳුනන බිරින්ඳෑවරුන්ට. දරුවකු බිහිකළ පමණින් මව්වත් ගුණ නැති ගැහැනියක වුවත් සැබෑ මවක් වෙන්නෙ නැහැ. බිරිඳට, මවට මේ ආදී සෑම සමාජ භූමිකාවකටම වටිනාකම් පිරිනමද්දී ඊට අදාළ වටිනාකම් දැරීම කියන කාරණය අදාළ කාරණයක්.
වෘත්තීය ජීවිතය තුළ මම කාර්යබහුල වෙද්දී බිරිඳ මා වෙනුවෙන් විශාල යුතුකම් වගකීම් කොටසක් ඉටු කරනවා. අපි ආදරය කරපු, විවාහ වුණු අලුත මා වෙනුවෙන් වෙන්කරපු කාලය අද ඇය නිර්ලෝභීව දරුවන් වෙනුවෙන් පිරිනැමුවත් ඒ පිරිනැමීම හරි සුන්දරයි. ඉස්සර තරම් ආදරය නැද්දෝ වගේ හැඟීමක් කෙනෙක් මේ තුළ වින්ඳත් ඒ ගැන ගැඹුරට කල්පනා කරද්දි දැනෙනවා එදා දැනුණට වඩා සැබෑ සෙනෙහසක් ආදරයක් බිරිය කෙරේ දැනෙනබව. බත් මුට්ටිය ඉදෙන තැන ඉඳන් දරුවන් මතු රජ කරවීම දක්වා සියල්ල ඇගේ දෙවුර දරාගත් පරමාදර්ශී ගැහැනු අදටත් ඉන්න බව මම විශ්වාස කරනවා. සාර්ථකම සහ ශක්තිමත් ව්‍යුහය පවුල. ඒ සාර්ථක බව වෙනුවෙන් පුරුෂයාගේ පැත්තෙනුත් කැපකිරීමක් කිරීම ඉතා වටිනවා. මේ සියල්ල තුළ තමා මේ ගීතයට මම මෙතරම ප්‍රිය කරන්නේ.
මේ ගීතය ඔබ කැමති ගීත සමුදායක් අතරින් ඔබේ ප්‍රියතම ගීතය බවට පත්වෙන්න ඔබේ බිරිඳ ඔබේ හදවතට මහා පවුරක් වගේ දැනෙනවා ඇති. ඇත්තටම සුන්දර බිරිඳකගෙන් ස්වාමියෙක් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
ආදරය, ප්‍රේමය, රාගය, කැපවීම, පරිත්‍යාගය, ඉවසීම, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය, රුකබලා ගැනීම, මේ හැමදේම බලාපොරොත්තු වෙනවා. ඒත් පවුල ඇතුළේ රාගය කියන මනෝභාවය ළඟ ඒ ගනුදෙනුව සිදු නොවෙනවනම් එතනදි පවුලක් අසාර්ථක වෙනවා කියන එක මම පිළිගන්නෙ නෑ. මොකද එය ආදරයේ සහ බන්ධනයේ සමස්තය නොවන නිසා. ආදරය, ප්‍රේමය කියන්නේ ඊට එහා මහා ගැඹුරක් ඇති දෙයක්. ලිංගිකත්වය අවැසි සාධකයක් නමුත් මම පෙර කී ගුණාංග ඊටත් වඩා සැබෑ ආදරයේදි ශක්තිමත් සිද්ධාන්ත බව මගේ හැඟීම. මම මේ සියල්ල මගේ බිරිඳ තුළින් ලබන නිසා, ඒ වගේම මා වෙනුවෙන් කරන කැපකිරීමටත් වඩා වැඩි කැපකිරීමක් ඇය දරුවන් වෙනුවෙන් කරන නිසා, ඒ වගේම මම අම්මාගෙන් උතුම් සෙනෙහසක් ලබපු නිසා, අම්මාගෙන් ලද සෙනෙහසටම සමාන සෙනෙහසක් බිරිඳගෙන් ලබන නිසා මට හිතෙනවා ලෞකික ජීවිතයේ ආධ්‍යාත්මික සුවය ලබන උතුම්ම තැන එතන කියලා.
කෙනෙක් ගීතයක පද රචනයට, තනුවට, කටහඬට මේ කවරකට හෝ සුවිශේෂී ඇල්මක් දක්වන්න පුළුවන්. මේ ගීතයේ ඔබේ හිත වඩා නැවතුණු තැන කුමක්ද?
මේ සියල්ලෙහි අපූරු සංකලනයට මම කැමතියි. මේ සියල්ලෙන් පරිපූර්ණ ගීතයක් ලෙසයි මම මේ ගීතය දකින්නේ.
ජීවිතයේ හුඟාක් සමීප කෙනෙක් එක්ක ඔබ මේ ගීතය ගැන කතා කර තියෙනවද?
කවුරු හරි මගේ ප්‍රියතම ගීතය ගැන මගෙන් විමසුවොත් මම කතා කරන්නෙ මේ ගීතය ගැන. මගේ බිරිඳත් එක්කත් මම මේ ගීතය ගැන කතා කරනවා. උපදේශන සේවාවන්වලදිත් මම මේ ගීතය ගැන කතා කරනවා.
මේ ගීතය යම් තැනකදි ගායනා කරන්න කීවොත් ගයන්න ඔබට පුළුවන්ද?
පණ්ඩිත් අමරදේවයන්ගේ අහලකටවත්නම් යන්න මට බෑ. ඒත් යම් මට්ටමකට ගයන්න මට පුළුවන්. මම එහෙම ගයනවා මේ ගීතය. ඒ වගේම මම නිස්කාන්සුවෙන් ඉද්දි මුමුණන්න ප්‍රිය ගීයක් තමයි මේ ගීතය.