2021 ජුලි 10 වන සෙනසුරාදා

වින්ඳ දුක් ගැන කියන්න තවම දවස ආවේ නෑ

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 532

- සචින් සමීර ලියනගේ

සචින්.. මේ දිනවල විකාශනය වන ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ අනුත්තරගේ චරිතය හරහා තමයි ඔබව ප්‍රේක්ෂකයන් හඳුනාගන්නෙ. අපි මුලින්ම ඒ චරිතය ගැන කතා කරමු?
ඔව්.. කියා දෙන්න ආදරේ තරම් කියන නාට්‍යයේ තිර රචකයා මහේෂ් රත්සර මද්දුමආරච්චි. එහි අධ්‍යක්ෂකවරයා ධනුෂ්ක රත්නායකයි. ඇත්තටම මේ අනුත්තරගේ සහ නිර්වාන්ගේ චරිත දෙක රඟපාන්න මට ඔවුන් ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අඩුපාඩු ඇති. මම මේ ක්ෂේත්‍රයට තාමත් ආධුනිකයි. ඉගෙනගන්න තව බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් හදාරමින්, ඉගෙන ගනිමින් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න මම හරි ආසයි.

සචින්ගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ සම්පූර්ණ නම ලියනගේ දොන් සචින් සමීරයි. හැබැයි මුහුණුපොතේ සහ බොහෝ දෙනා මාව හඳුනන්නේ සචින් ලියනගේ කියලයි. මගේ ගම හැඳල වත්තලයි. නමුත් දැන් මම පදිංචිවෙලා ඉන්නෙ රාගම මගේ අක්කලාගේ ගෙදරයි. මට අක්කලා තුන්දෙනෙක් ඉන්නවා. මගේ පොඩි අක්කා හාට් ඇටෑක් එකකින් නැතිවුණා. තාත්තා මිය ගියෙත් හාට් ඇටෑක් එකකින්. දැන් මායි අම්මයි අක්කලා දෙන්නයි තමයි ඉන්නේ. මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මම විතරයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා ඉන්නෙ. මගේ අම්මා ගෘහණියක්. තාත්තා කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවය කළා. මගේ තාත්තා මීට අවුරුදු අටකට විතර පෙර මියගියා. එතැන් සිට මගේ ජීවිතේ වුණේ මගේ අම්මයි.

ඔබ පවුලේ එකම පිරිමි දරුවා. අක්කලා තුන්දෙනත් එක්ක ළමා කාලෙදී තිබුණු බැඳීම මොන වගේද?
ළමා කාලයේදී මට අක්කලා එක්ක බෙදාගන්න තරම් ළමා කාලයක් තිබුණේ නැහැ. බාලම අක්කයි මායි අතර වයස් පරතරය අවුරුදු දහයක් විතර වෙනවා. අක්කලා තුන්දෙනා අතරේ වයස පරතරය අවුරුද්දක් දෙකක් අතර වුණත් ඒ අයට වඩා මාත් එක්ක ලොකු පරතරයක් තිබුණා. ඒ නිසා ළමා කාලයේදී ඒ අය එක්ක සෙල්ලම් කරන්න මට වැඩිය අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි අක්කලා තුන්දෙනාගේ ආදරය උපරිමයෙන්ම මට ලැබුණා. මම ලොකු වෙද්දී ඒ අය විවාහවෙන වයසෙයි හිටියේ. හැබැයි මම අදටත් ඒ අයගේ චූටි මල්ලියි. 

සචින්ගේ ළමා කාලයේ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද?
මම ක්‍රිකට් සෙල්ලම් කරන්න හරි ආසයි. ක්‍රිකට්වලට ඒ කාලේ මම හරි දක්ෂයි. මම ඉගෙනගත්තෙ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙයි. පාසලේදීත් මම ක්‍රිකට්වලට දක්ෂයි. ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙලා ඉඳලා තියෙනවා. ක්‍රිකට් සමාජවලට සෙල්ලම් කරලා තියෙනවා. ක්ලබ් මැච්වලට පිටරට සංචාරවලටත් සහභාගිවෙලා තියෙනවා. මම සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණාට පස්සේ තමයි මගේ තාත්තා නැතිවුණේ. ඒ නිසා මගේ හිතට වගකීමක් දැනුණා. මගේ ගෙදර වෙනුවෙන් කළ යුතු යුතුකම් කොටසක් මට මමම පවරාගන්නවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ හීනය පැත්තකට දාලා රස්සාවක් කරන්න මම හිතාගත්තා.

සචින් මුලින්ම කරපු රැකියාව මොකක්ද?
මුලින්ම වරායේ සේවය කළා. එතැනිනුත් මම රුකියාවල් කිහිපයක්ම කළා. සමහර රැකියාවල් කරන්න ලේසි වුණේ නැහැ. ඔය අතරේ පෑලියගොඩ අක්කලාගේ ගෙදර ගිය වෙලාවක අපේ අක්කලාගේ ගෙදරට ළඟ ගෙදරක හිටපු රසාංග ද සිල්වා එක්ක එයාගේ සින්දුවක් එක්තරා නාලිකාවකට බාරදෙන්න ගිය වෙලාවක මටත් එයා එක්ක නිකමට යන්න අවස්ථාව උදාවුණා. ඒ කාලෙදී මම කිලෝ අනූ අටක්, අනූ නවයක් විතර බරයි. ඒ නාලිකාවේ හිටපු සුජිත් අයියා මියුසික් වීඩියෝවක දුෂ්ඨයාගේ චරිතයට සම්බන්ධ වෙන්න මට පුළුවන්ද කියලා ඇහුවා. මාත් ඒකට කැමති වුණා. ඒ ගීතය ඔයා වගේ තව කෙනෙක් කියන ගීතයයි. ඒ ගීතයට ටීනා ෂනෙල් සහ චමීර ලියනගේ තමයි ප්‍රධාන රූප රචනාවට සම්බන්ධ වුණේ. මම දුෂ්ඨයාගේ චරිතයට තමයි ඒ ගීතයට සම්බන්ධ වුණේ. ඒ ආරාධනාවත් එක්ක ආයෙත් ගෙදර එන ගමන් රසාංග අයියා එක්ක ඒ ගැන කතා කරමින් ආවා. ඔහු මට ලොකු සහයෝගයක් එකක් ලබා දුන්නා. අහම්බෙන් ලැබුණු අවස්ථාවෙන් තමයි මේ ගමන අද ඇවිත් තියෙන්නෙ.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට මේ මුල්ම සම්බන්ධ වීමද?
නැහැ. මේ දෙවැනි අවස්ථාවයි. මුලින්ම අහස් මාලිගා ටෙලිනාට්‍යයේ චමෝද්ගේ චරිතය රඟපෑවා. අවුරුද්දක් විතර මම ඒකෙ රඟපෑවා. මගේ කොටස ඉවර වුණාට පස්සෙ මම අවුරුදු එකහමාරක් විතර කිසිම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි මම වෙළෙඳ දැන්වීම්වලටනම් සම්බන්ධ වුණා. කොහොමටත් මාසයකට එකක් හෝ දෙකක් මම වෙළෙඳ දැන්වීම් කරනවා. මේ වෙද්දී මම වෙළෙඳ දැන්වීම් පනස් දෙකකට පමණ සම්බන්ධවෙලා තියෙනවා. තව කිහිපයකටම ආරාධනා ලැබිලයි තියෙන්නෙ. කොවිඩ් නිසා ඒවා ටිකක් පහුවුණා.

ශලනි තාරකා කියන්නේ පුංචි තිරයේ ඉන්න දක්ෂ ආදරණීය කලාකාරියක්. තිරයේදී ඇගේ පෙම්වතා විදිහට රඟපාන්න ලැබීම අභියෝගයක් වුණාද?
ඇත්තටම ඔව්. කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ රඟපාද්දී මට තිබුණු ලොකුම බය වුණේ ප්‍රවීණයන් මැද්දට ගිහින් රඟපාන්නයි. දුලීකා අක්කා, ප්‍රියන්ත අයියා, ශලනි අක්කා, මීනා අක්කා, යෂ් අයියා වගේ අය එක්ක රඟපෑමත් මට ලොකු අභියෝගයක් වුණා. මේ චරිතයට මාව තෝරාගත්තට පස්සේ රෑගත කිරීම් පටන්ගන්න පෙර මම ගෙදර ඉඳන් මේ ප්‍රවීණයන් පිළිබඳ අධ්‍යයනය කළා. ඔවුන් කළ නිර්මාණයන් පිළිබඳ සොයා බැලුවා. රූගත කිරීම්වලට ආවට පස්සේ ඒ හැමෝම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මේකෙදි මට අනුත්තර සහ නිර්වාන් කියන චරිත දෙකක් කරන්න සිදුවෙනවා. ඒ චරිත දෙක වුණත් එකිනෙකට වෙනස්. ඒ වෙනුවෙන් ශලනි අක්කා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම හඬ පාලනය පිළිබඳව හෝ රංගනය පිළිබඳව මෙතෙක් කාගෙන්වත් ඉගෙනගෙන නැහැ. දැන් තමයි මම ඒකට සම්බන්ධ වෙන්නෙ. ශලනි අක්කා කියන්නෙ ගොඩක් හොඳ කෙනෙක්. ඇයගෙන් මම බොහෝ දේ රංගනය පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ වගේම ධනුෂ්ක අයියා ඇතුළු මුළු කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් මට ලැබෙනවා.

සචින්ගේ රංගනය දකින්න තාත්තාට ඉඩක් ලැබුණේ නැහැ. කලාවට සම්බන්ධවීම ගැන අද අම්මා මොකද කියන්නෙ?
ඔව්.. තාත්තට මගේ රංගනය දැකගන්න ඉඩ ලැබුණේ නැහැ. ඒ මගේ අවාසනාව. හැබැයි අපේ අම්මා වුණත් නාට්‍ය බලන කෙනෙක් නෙමේ. හැබැයි මගේ දෙයක් යද්දී අම්මා අනිවාර්යෙන්ම බලනවා. මගේ වෙළෙඳ දැන්වීම් පවා යද්දී සමහරදාට අම්මා රිවයින් කරලා ආයෙත් ඒක බලනවා. අපේ අම්මා කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ හොඳ රසිකාවියක්. අම්මා හැම වෙලේම කියන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන හොඳ දෙයක් කරන්න කියලයි. අම්මා මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ ආශිර්වාදය මට හැම මොහොතකම තියෙනවා. තාත්තත් කොහේ හරි තැනක ඉඳන් මට ආශිර්වාද කරන බව මම විශ්වාස කරනවා.

අද යම් තැනකට එන්න සචින් දුක් වින්ඳද?
ඔව්.. අම්බානෙක කට්ටක් කෑවා. ඒක මම අද වෙන මහන්සියට කවදා හෝ ඇගයීමක් ලැබුණොත් ඒ දවසට කියන්න ආසයි. තාම ඒ විඳපු දුක ගැන කියන්න කාලය නෙමේ. අදටත් මම මගේ දක්ෂතා හරියටම පෙන්නලා නැහැ. තව මට ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ හැමදේම පුළුවන් විදිහට මම ඉගෙන ගන්නවා. මාව ප්‍රතික්ෂේප කරපු තැන් බොහෝයි. මම ඇඟ කෙට්ටු කරගත්තෙත් මාව එහෙම ප්‍රතික්ෂේප කරපු තැනකින් ලැබුණු පන්නරය නිසයි. මම මොඩ්ලින් ෂෝ එක්කට ගිය වෙලාවක පළමු වටයේම එතන හිටපු ප්‍රවීණ කෙනෙක් ඔයා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න එපා. ඔයාට නිරෑපණ ක්ෂේත්‍රයවත්, රංගනයවත් කරන්න බැහැ. ඔයා වෙන රස්සාවක් තෝරාගන්න කියලා කිව්වා. එයා ප්‍රවීණ නිරූපණ ශිල්පියෙක්. මම මගේ ඇඟ හදාගත්තා. හරියටම අවුරුද්දකට පස්සේ මම ඒ කියපු කෙනාත් සමඟ වෙළෙඳ දැන්වීමකට සහභාගි වුණා. එතනදි මම ප්‍රධාන චරිතය කරද්දී එයාට ලැබුණේ අනු චරිතයක් විතරයි. එදා එයාට මාව මතක තිබුණෙත් නැහැ. එදා එයා මම ළඟට ඇවිත් &අපරාදේ ඔයා නිකම් ඉන්නෙ. ඔයාට මොඩ්ලින් කරන්න තිබුණනේ කියලා කිව්වා. ඒ වගේ වැටුණු තැන් බොහෝයි. හිත් රිදුණු තැන් බොහෝයි. ප්‍රතික්ෂේප වුණු තැන් බොහෝයි. ඒත් මේ ඒවා ගැන කියන්න සුදුසු කාලය නෙමේ. අද මගේ රංගනය ගැන බොහෝ දෙනා ඇගයීම් කරනවා. හැම කොටසක්ම YouTube එකේ ගියාට පස්සේ මට කතා කරලා ඒ ඔස්සේත් මාව අගයනවා. සමහරු මගේ අඩුපාඩු පෙන්නලා දෙනවා. ඒකට මම ගොඩක් කැමතියි. අඩුපාඩු පෙන්නලා දුන්නට පස්සේ ඒ අඩුපාඩු හදාගෙන මට ඉදිරියට හොඳට මේ චරිත දෙක රඟපාන්න පුළුවන් වේවි.

අනුත්තර, නිර්වාන් කියන්නෙ පෙම්වතුන් දෙන්නෙක්. සචින් කියන්නෙ මේ වෙනකොට පෙම්වතෙක්ද?
නැහැ. අද වෙනකොට පෙම්වතෙක් නෙමේ. පාසල් ප්‍රේමය ගැන කතා කළොත් මම පාසල් කාලෙදී මුල්තැන දුන්නේ ක්‍රිකට්වලටයි. අපි උදේට ගියාම කුණු ගෑවෙනකම් ක්‍රිකට් සෙල්ලම් කළා. ඒ නිසා කුණු ගෑවුණු යුනිෆෝම් ඇඳගෙන අහල පහල තියෙන අනෙක් පාසල් ඉස්සරහින් අපි ගියේ නැහැ. ඒ නිසා පාසල් ඇරිලා ටික වෙලාවක් පාසලේම ඉඳලා තමයි අපි ගෙවල්වලට ගියේ. එතකොට හැමෝම ගෙවල්වලට ගිහින් ඉවරයි. කොහොම හරි සාමාන්‍ය පෙළ අවසන් කාලෙදි අමතර පන්තියකට ගියාට පස්සෙ තමයි මට මගේ පාසල් ප්‍රේමය මුණගැහුණේ. ඒක මරු. හොරෙන් ගෙවල් ගාවට ගිහින් බලාගෙන හිටියා. පොඩි ලියුමක් ලියලා හොරෙන් දෙන්න බලාගෙන හිටපු කාලය හරි අපූරුයි.

 

                     සේයාරූ I සුමුදු හේවාපතිරණ