ලෝකෙ මේ කාලයේ වැඩිපුරම Trend හැදෙන්නෙ ඔන්ලයින්නේ මචෝ. අද කතාවත් ඔන්ලයින් Trend එකක් ගැන. හැබැයි සුදූ ට්‍රෙන්ඩ් එක ඔන්ලයින් වුණාට කතා කරන්නේ සුරතල් සතුන් ගැන. සීන් එක මඤ්ඤං වගේද? ඩෝන්ට් වොරි සුදු පුතේ. ඕං එහෙනං හිමීට අහගන්නකො.
සුරතල් සතුන් කියලා කියන්නේ අදක ඊයෙක ඉඳන් මිනිස්සු අතර තියෙන Trend එකක් නම් නෙවෙයි. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සුදෝ. හැබැයි සුරතල් සතුන් ඔන්ලයින් වෙන්න පටන් ගත්තෙ පහුගිය කාලේ. ඉතින් ඒ නිසා ඒකනම් අලුත් ට්‍රෙන්ඩ් එකක්. තමන්ගෙ සුරතල් සතුන්ගේ photo දාන එක, එයාලා එක්ක හුරතල් වෙන Video කරලා දාන ඒවා Social Media දාන එක, එතකොට වෙබ් අඩවි ඔස්සේ සුරතල් සතුන් විකුණන එක වගේ දේවල් මේ Trend එකට අදාළ සරල දේවල්. ඒ වුණත් ඊට වඩා බරපතල දේවල් මේ Trend එක ඇතුළේ තියනවා. හරියට බලෙක්ට පූසෙක්ට Instagram Account එකක් Facebook Profile එකක් තියනවා වගේ දෙයක්. හා.. හා... හරි හිනා... හිනාවෙන්න එපා අඩෝ මේවා සිරා කතා.
එහෙනම් කතාව මෙහෙම පටන් ගමු. අපේ කෙල්ලෝ කොල්ලෝ විශ්වාස කරයිද මන්දා මේවා. මේ වෙද්දි බල්ලන්ට පූසන්ට විතරක් නෙවෙයි ඉබ්බන්ට මීයන්ට කුරැල්ලන්ට වගේ සුරතලේට ඇතිකර සතුන්ට Instagram, Facebook Account තියෙනවා. ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා කොහොමද ඒක. බයවෙන්න එපා ඒ සෝෂල් මීඩියා එකවුන්ට් පවත්වාගෙන යන්නේ මිනිස්සු හරිය. තමන්ගේ සුරතලුන් වෙනුවෙන් Social media account එකක් පවත්වාගෙන යන එක ලෝකෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකක්. අමෙරිකාවේ යුරෝපයේ වගේම ජපානයේ කොරියාවේ වගේ රටවලත් සීන් එක සැරට තියෙනවා. ලංකාවේ සැරටම නැතිවුණත් ලාවට තියෙනවා. ඒ වගේම සුරතල් සතුන් වෙනුවෙන්ම වෙන් වෙච්ච යූ ටියුබ් චැනල් එහෙමත් දැන් ලෝකේ පුරාම තියෙනව මචෝ. ඒක වෙනම සීන් කෝන් එකක්. Subscribe මිලියන ගණන්වලින් තියෙන්නේ ඒ වලට. ආ එතකොට TikTok එහෙමත් තියෙනවා බල්ලන්ට පූසන්ට. එවල තියෙන්නෙ මාර ආතල්. සුදාලා මේවා දැකලා නැත්තම් සයිබර් ලෝකේ එහෙට මෙහෙට කරක් ගහන ගමන් පොඩ්ඩක් ඇහැදාලා බලන්න ඕනෑ. මේක නම් පිස්සුවක් සුදෝ සිරාවට.
සුරතල් සතුන් වෙනුවෙන්ම හදපු යූ ටියුබ් චැනල්වලින්ම සීන් එක පැහැදිලි කරන්න පටන් ගමු. එක එක ජාතියේ චැනල් තියෙනවා පැංචෝ. තනි බල්ලෙක්. තනි පූසෙක් වෙනුවෙන් හදපු ඒවා තියෙනවා සෑහෙන්න. ඒවගේ වෙන්නෙ ඒ සතාගේ දවසේ වැඩ කිඩ ටික වීඩියෝ කරලා දාන එක. ඒ වගේම special ටැලන්ට් තියෙන සත්තු මේ අතර ඉන්නවා. ඉතින් ඒ සුපිරි වැඩ කිඩ එහෙමත් කට්ටිය ප්‍රමෝට් කරනවා Youtube සීන් එක ඇතුළේ. තවත් සමහර YouTube Chanel තියෙනවා සුරතල් සතුන් හතර පස් දෙනෙක් එකතු කරගෙන කරන ඒවා. උදාහරණයක් විදියට රට කොරියාවේ ඩයල් එකක් Chanel එකක් කරනවා පූසෝම පස් දෙනෙක් දාගෙන. ඒ පූසෝ පස්දෙනා සෙල්ලම් කරන විදිහ, උන්ට කවන පොවන්න විදිහ, අයිතිකාරයා එක්ක ගමන් බිමන් යන විදිහ වගේ ගොඩක් දේවල් ඒ Chanel එකේ තියනවා.
ඉතින් මේ වගේ සීන් එක බලන්න ලෝකය පුරා මිලියන ගණක් මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ මචෝ. ඇත්තම තත්ත්වය කියනවා නම් ඉතින් දැන් සයිබර් ලෝකේ මිනිස්සු වගේම බල්ලෝ පූසෝත් පට්ට ජනප්‍රියයි. අපි කිව්වේ ටිකක් විතරයි ඔය වගේ තව ගොඩක් ඒවා තියෙනවා. බල්ලොන්ගෙ Chanel සෑහෙන්න තියනවා. සමහර YouTube Chanel වලින් මේ සත්තුත් එක්ක එක එක experiment එහෙමත් කරනවා. සමහරක් ඒව බලන් ඉන්න ආසයි. ඒත් සමහර ඒව නම් හරිම අමානුෂීයයි. හැබැයි බහුතරයක් තියෙන්නේ සත්තුන්ට ආදරේ කරන අය කරන දෙවල් තමයි පැංචෝ. ඒක නොකියා බෑනී. හැබැයි ආදරේ කරත් වෛර කරත් ගොඩක් දෙනෙක් මේ වීඩියෝ, චැනල් හරහා බලාපොරොත්තු වෙන්නේ සල්ලි හොයන්න. හෝව් හෝව්... අපි ඉතින් ඒවා කතා නොකර ඉමු සුදෝ. මොකද ඕවා කතා කරන්න ගියොත් සත්ත්ව ද්‍රෝහියෝ වෙන්න ඉඩ තියෙනවා. සමාවෙන්න ඕනෑ. මෙහෙමයි සීන් එක මෙහෙම කිවුවට සුදාලට මේ සීන් කෝන් එක ගැන හරිය තේරෙන්නේ වෙන්න පුළුවන්. ඒ නිසා අනිවා ඩෙෆා පොඩ්ඩක් යූටියුබ් එකේ සර්ච් පාරක් දාලා බලන්න. සීන් එක පට්ට.
ටික් ටොක් සීන් එකත් යූටියුබ් සීන් එකට ගොඩක් සමානයි. ගොඩක් වෙලාවට බල්ලෝ පූසෝ සුරතල් සත්තු කරන කියන දේවල්වලට sound effect එකක් දාලා ආතල් වීඩියෝ කෑලි හදන එක තමයි ටික් ටොක් වල වෙන්නේ. ඒ වගේම සුදු නංගිලා බල්ලොත් එක්ක හුරතල් වන වීඩියෝ කෑලිත් TikTok එකේ හිට් එකක් තමයි මේ දවස්වල. සමහරු තමන්ගේ පොෂ් සීන් එක පෙන්නන්න මෙහෙම ආතල් ගන්නවා. තවත් සමහරු සිරාවටම ආතල් එකක් ගන්නවා. ඇත්තටම එයාලා සත්තුන්ට ආදරෙයි. එහෙම කිව්වාම මතක් වුණේ. ඔය TikTok එකේ ලංකාවේ ඉන්නම බල්ලන්ට එහෙම මාර විදිහට ආදරේ කරන, කන්න දෙන, බලාගන්න චරිත. එයාලා තමන් කරන වැඩ වීඩියෝ කරල ඕකේ දානවා. එහෙම වීඩියෝ හරහා ජනප්‍රිය වෙච්ච චරිත දෙක තුනක්ම සුදාලාට බලාගන්න පුළුවන් ටික්ටොක් පැත්තේ කරක් ගැහුවත්. ඒකත් වෙනම ආතල් එකක්.
ෆේස්බුකිය පැත්තට ආවොත් මචෝ සුරතල් සත්තු ගැන සීන් එක එකෙත් සෑහෙන්න දරැණුවට තියෙනවා. බුකියේ Page, Group එහෙමත් සෑහෙන්න තියෙනවා. තනි සත්තුන්ට අයිති ඒවා, එලාවා බලාගන්න හැටි කියලා දෙන ඒවා , සත්තුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ඒවා, සුරතල් සතුන් විකුණන ඒවා වගේ category ගාණකට බෙදන්න මේවා බෙදන්න පුළුවන්. සුදාලට කියන්න මේ වෙනකොටත් ලංකාවේ සුරතල් සතුන් ගැන හොඳට දන්න ප්‍රෝ පොරවල් ෆේස්බුක් එක තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක් කරගෙන ඉවරයි. උදාහරණයක් විදියට බල්ලෝ පුහුණු කරන්න කොන්ත්‍රාත් ගන්න, බල්ලෝ ක්‍රොසින් දාන්න කොන්ත්‍රාත් ගන්න, බලු පැටව් විකුණන්න, බෙහෙත් සප්ලිමන් පිටරටින් ගෙන්නලා විකුණන්න වගේ වැඩ වලට මේ වෙද්දි පේස්බුක් එක තරම් හොඳ තැනක් ඇත්තෙම නෑ. ලංකාවේ ගත්තම ඒ ඒ වැඩවලට විශේෂ වෙච්ච Facebook Group එහෙමත් දැකගන්න පුළුවන්. එක අතකට මචෝ මේ වලට වැරදි කියන්න අපිට බෑ. මේක ලෝකෙම අරක් ගත්ත ට්‍රෙන්ඩ් එකක්. තමන්ගේ සුරතල් සතුන්ට ආදරය කරන ගමන් අනිත් සත්තුන්ට වෛර නොකර ඉන්න පුළුවන් නම් එච්චරයි. සිරාවට කියන්නේ හොඳ සමාජ විද්‍යාඥයෙක්ට මේ ගැන සුපිරි පරීක්ෂණයක් කරන්න වුනත් පුළුවන් &සයිබර් ලෝකයේ සුරතල් සතුන්* කියලා.
ඕ ඕ තව දෙයක් තියෙනවා කියන්න. ෆේස්බුක් එක ඇතුලේ මේ සත්තුන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙහෙස මහන්සිවෙලා වැඩ කරන අය ගොඩක් ඉන්නවා. එහෙම අය ෆේස්බුක් භාවිත කරලා ගොඩක් යහපත් දේවලුත් කරනවා. මේ වෙනකොට සත්තු සුබසාධන සංවිධාන රැසක් ලංකාවේ තියෙන නිසා ඒ අයට තමන්ගෙ වැඩ කරගන්න මේ සයිබර් ලෝකේ මාර උදව්වක් වෙලා. ඒ වගේම එදිනෙදා සත්තු ඇතිකරන සාමාන්‍ය අයටත් තමන්ගේ සත්තුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න ෆේස්බුක් එක හොඳ මාධ්‍යයක් වෙලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් ඔය ගෲප් ඇතුළේ ඒ අයට උදව් කරනවා. සහෝලාට කියන්න ඒ නිසා ලංකාවේ ඉන්න සුරතල් සත්තු ගොඩක් දෙනෙක්ට සෝෂල් මීඩියා කියන්නේ නරක දෙයක් නම් නෙවෙයි. කොච්චර අවුල් දේවල් තිබුණත් සාපේක්ෂව සෝෂල් මීඩියා ඇතුලේ සුරතල් සතුන්ගේ සුබසාධනයට හොඳ හොඳ වැඩ ටිකක් වෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා.