ජීවිතේ ජීවත්වෙද්දී කැපකිරීම කියලා කියන්නේ නැතිවම බැරි දෙයක්. මගේ ජීවිතෙත් එහෙම කැපකිරීම් කරලා තියෙනවා. මගේ ජීවිතේ කරපු ඒ කිසිම කැපකිරීමක් ගැන මම පසුතැවෙන්නේ නැහැ. රංගනය කියන මගේ වෘත්තිය කරද්දී කාලය, ශ්‍රමය සියල්ල වෘත්තිය වෙනුවෙන් කැපකරන්න සිදුවෙනවා. මහන්සියක් නොබලා අපිට වැඩ කරන්න සිදුවෙනවා. කලාවට තියෙන විශේෂ ආදරය නිසා මම ඒ කැපකිරීම කරනවා. සමහර කැපකිරීම් ජීවිතේ මා වටා ඉන්න අනිත් පිරිස සතුටින් ඉන්න ඕනේ නිසා මම කැපකිරීම් කරලා තියෙනවා.
ඉරිසියාව කියන දේ මගේ ජීවිතේ ඇත්තේම නැහැ. ඉරිසියාව කියන දේට මම කොහොමටත් අකමැතිම කෙනෙක්. මට නැති දෙයක් තව කෙනෙකුට තිබීම සම්බන්ධව මම කවදාවත් ඉරිසියා කරන්නේ නැහැ. අපිට මිනිස් ආත්මයක් ලැබිලා තියෙන්නේ අප යම් කුසලයක් කරලා තියෙන නිසයි. ඉරිසියාව කියන්නේ මේ මිනිස් ආත්මයට නොගැලපෙන දෙයක්.
මගේ ජීවිතේ තැන් කිහිපයකදී කඩා වැටීම් වුණා. මේ කඩාවැටුණු තැන්වලදී මම මානසිකව පීඩා වින්දා. මට හිතෙන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයකට කඩා වැටීම් අවශ්‍යයි. කඩා වැටීමකදී නැඟිටින නැගිටිල්ල ආයෙ කාටවත් රිද්දන්න, කාටවත් කඩා වට්ටන්න බැහැ. ජීවිතේ රිදෙන්න රිදෙන්න අපි ශක්තිමත් වෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.
මම හැමදේම කරන්නේ හොඳට හිතලා බලලයි. සාමාන්‍යයෙන් අපි ජීවිතේ පසුතැවෙන්නේ අපි කරපු දේවල් නිසයිනේ. නමුත් මම නම් එහෙම කරපු දේවල් පිළිබඳව සතුටු වෙනවා හැර කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නැහැ.
මඟහැරීම ගැන කතාකළොත් බොහෝදෙනා තමන්ට එන ප්‍රශ්න මඟහරින්න උත්සාහ කරනවා. මගේ ජීවිතේට ප්‍රශ්න ආවා අඩුයි. හැබැයි ආපු එක දෙක ප්‍රශ්න ටිකක් ලොකු වුණා. බොහෝ දෙනාට මගේ ප්‍රශ්නත් ලොකු ප්‍රශ්න වුණා. ඒ මගේ ජීවිතේට ආපු ඒ කිසිම අවස්ථාවක මම ප්‍රශ්න මඟහැරියේ නැහැ. අඩුම තරමේ මගේ ජීවිතේ ඒ දේවල් ගැන ප්‍රේක්ෂකයින් මගෙන් අහපු ප්‍රශ්නවලටවත් මම මඟහැරියේ නැහැ. මගේ ජීවිතේ මඟහැරීම මම කරන්නේ හරිම අඩුවෙන්. මම හැමදේටම මුහුණ දෙන්න කැමති කෙනෙක්.
පුංචි කාලේ ඉඳන් ජීවිතේ මම අත්හැරීමට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. මම ගොඩක් දේවල් අල්ලගෙන ඉන්න කැමති නැහැ. අත්හැරිලා ඉද්දි හරිම පහසුයි. මා වටා ඉන්න පිරිසට මම ආදරය කරනවා. නමුත් මම පෙරළා ඔවුන්ගෙන් ඒ ආදරය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට යුතුකම් වගකීම් ඉෂ්ට කරනවාද කියලා මට අදාළ නැහැ. මම ඒවා අත්හැරලා ඉන්නේ. හැබැයි මගෙන් විය යුතු යුතුකම්, වගකීම් මම කරනවා.
පරිත්‍යාගය කියන්නේ හරි ලස්සන දෙයක්. ජීවිතේ අන් අයගේ සතුට ගැන හිතලා පරිත්‍යාග කරන්න අවස්ථාව ලැබෙනවා කියලා කියන්නෙත් අපිට නම් පින් කරන්න අවස්ථාව ලබලා දෙනවා කියලයි. ඒ වගේ ජීවිතේ සමහර තැන්වලදී පරිත්‍යාග කරලා තියෙනවා. හැබැයි ඒ පරිත්‍යාග ගැන මම අණබෙර ගහන්නේ නැහැ. ඒ ගැන හිතින් හිතලා සන්තෝසයෙන් ජීවත් වෙනවා.
මට දැනෙන හැටියට මගේ ප්‍රථම ප්‍රේමය ජීවිතේ හරි ලස්සන අත්දැකීමක්. ඒක උසස් පෙළ දෙවැනි අවුරුද්දේදී ඇතිවුණ ආදරණීය ප්‍රේමයක්. එක් හරි ලස්සනයි. සුන්දරයි. දැන් මට හිතෙන්නේ ආදරේ ඒ තරමටම සුන්දර වුණා නම් කොච්චර හොඳද කියලයි. ඒ ප්‍රථම ප්‍රේමයට ආදරය කරනවා. ඒ ප්‍රථම ප්‍රේමයේ සංකේත අදටත් මා ළඟ තියෙනවා. කවදාහරි දවසක ඒ ප්‍රථම ප්‍රේමයම මා ළඟට ඒවිද කියලත් මම දන්නේ නැහැ.
මට දැනෙන විදිහට මේ ආදරය අකුරු හතරක තියෙන සරල සුන්දර දෙයක් නෙවේ. හැම මොහොතක කියන්නේත් මගේ ළඟ තිබෙන ආදරය හරි පිරිසිදුයි කියලයි. ආදරය කියන දේ කිළිටි කරගන්න හොඳ නැහැ කියලා මම විශ්වාස කරනවා. ආදරය කියන දේ තුළ විවේචනයක් නැහැ. ආදරයට, පළිගැනීම් නැහැ. ආදරය කියන දේ තුළ වෛරය නැහැ. ආදරය පිරිසිදු දෙයක්.
මම පරාජය හොඳින් දරාගන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ කවදාවත් මම හිතින් පරාජය වෙලා නැහැ. හැබැයි සමාජය ඉදිරියේ සමහර වෙලාවට මම පරාජ වෙච්චි තැන් ඇති. සමාජයේ මිනිසුන් මාව පරාජය කරවන්න ඇති. හැබැයි මම කරන දේ මම කරපු දේ හරියට කරපු කෙනෙක් නිසා මම හිතින් පරාජය වෙලා නැහැ. සමාජය ඉදිරියේ ඔවුන් මම පරාජය වෙලා ඇති කියලා හිතෙන හැම මොහොතකම මම හිත හයිය කරගත්තා. මම බුදුන්, දෙවියන්, ජේසු, සොබාදහම අදහන කෙනෙක්. මම නිතරම ඔවුන් එක්ක ගනුදෙනු කරනවා. ඔවුන් එක්ක ගනුදෙනු කරද්දී මම මොනවද කළේ. මොනවද කරන්නේ කියලා ඔවුන් දන්නවා. ඒ නිසා මම පරාජය වෙලා නැහැ.
මගේ ජීවිතේ පරාජයන්වලට වඩා ජයග්‍රහණයන් තමයි මගේ ජීවිතේ තියෙන්නේ. ඒ සියලු ජයග්‍රහණ ගැන නිහතමානීව සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. ජයග්‍රහණයන් කියනම දේ තනියම කරන්න බැහැ. ඒ නිසා මගේ ජීවිතේ ජයග්‍රහණයන්වලට දායකවුණ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.
මම ඉලක්කයකට යනව කිව්වොත් යනවාමයි. මම දෙයක් ඕන කියලා හිතුණොත් ඒක කොහොම හරි ලබාගන්නවා. මම අහම්බෙන් රංගන ශිල්පිනියක් වෙච්චි කෙනෙක් නෙමේ. මම උවමනාවෙන්, කැමැත්තෙන්, උත්සාහයෙන් රංගන ශිල්පිනියක් වුණ කෙනෙක්. ඒ නිසා මට ඉලක්කයක් තිබුණහොත් මම ඒ ඉලක්ක සපුරා ගන්නවාම තමයි.
මට දැනෙන විදිහට මම බොහෝම සරල, අනුන්ගේ ඕපාදූපවලට කැමති නැති, මගේ පාඩුවේ පොළොවේ පයගහලා ඉන්න කෙනෙක්.