2021 ජුලි 31 වන සෙනසුරාදා

අලි යන පාරේ මහ රෑ පැය හතරක් මම තනිවුණා......

2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00104

හරිත්.. මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල පාසල් නිවාඩු නිසා වෘත්තීය කටයුතුවලින් දුරස්වෙලා පිටපත් රචනා කිහිපයක් කරන ගමන් ගෙදරට වෙලා පාඩුවේ ඉන්නවා.

හරිත්.. ඔබ Travel කරන්න ආසා කරන කෙනෙක්ද?

ඇත්තටම මම Travel කරන්න ආසා කරන කෙනෙක්. මම ඒ දේ දකින්නේ ජීවිතයේ සොඳුරු රස්තියාදුවක් වගේ. ඒ සොඳුරු රස්තියාදුව තුළ ජීවිතය විඳින්න පුළුවන් කියලා මම හිතනවා.

ඒ කියන්නේ ඔබ Travel කරන එක විනෝදාංශයක් විදිහට කරන කෙනෙක්ද?

මෙහෙමයි. මට ඔය දේ දෙවිදිහකට කියන්න පුළුවන්. එකක් තමයි මම ගෙදර කට්ටිය, යාළු මිත්‍රාදීන් සමඟ ඇවිදින්න යන එක කොවිඩ්වලට කලින් දිගටම කරගෙන ආවා. ඊට අමතරව මම තනියම Travel කරන එක මගේ ජීවිතේ එක කොටසක් කරගෙන තියෙනවා. සමහර වෙලාවට සමහරු හිතයි මට පිස්සු කියලා. ඒත් මම ඒකට මාර ආසයි වගේම ආදරෙයි.

කොහොමද ඔබ තනියම Travel කරන්න පටන් ගත්තෙ?

අධ්‍යක්ෂකවරයෙක් මට පිටපතක් ලියන්න දුන්නා. ඒ නිර්මාණයේ තොරතුරු සොයාගැනීමට මට ගොඩක් දුෂ්කර පළාත්වල ඇවිදින්න යන්න වුණා. ඒ දේ හරහා මම තනියම Travel කරන්න යන්න පුරුදු වුණා. උදාහරණයක් වශයෙන් ගත්තොත් වැවක් ළඟ ගසක් යට හවස් වරුවක වැව් දිය දිහා බලාගෙන කාත් කවුරුත් නැතුව තනියම ඉද්දි එන හැඟීම කට්ටියත් එක්ක ගිහිල්ලා ලබන්න හරි අමාරුයි. මොකද ඒ දේ හුදෙකලා බවත් එක්ක එන අමුතුම හැඟීමක් වෙනවා. ඒ දේ තුල රමණීය රසයක් තියෙනවා කියලා මට හිතෙනවා.

හරිත්.. ඔබ තනියම ඇවිදින එකයි යාළුවන් සහ පවුලේ අය එක්ක ඇවිදීමයි අතර ඔබ දකින වෙනස කොහොමද?

පවුලේ අය සහ මිත්‍රයන් එක්ක කරන Travel එකකදි විනෝදවෙලා, පොඩියට මධුවිත ටිකක් අරගෙන සාකච්ඡාවක් දාගෙන එන්න පුළුවන්. හැබැයි තනියම යන ගමනකදි තමන්ට තමන් ගැනම කියවීමක් වගේ හැඟීමක් එනවා. එහෙම දැනෙන්නේ හුදෙකලාවත් එක්ක. මොකද මිනිසුන්ගේ ඇසුරෙන් මිදිලා අපිට ජීවිතයේ අපි ගැනම හිතන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. නිර්මාණයක් ගැන හිතන්න වුණත් අදහසක් එන දෙයක් තමයි තනියම Travel කරනවා කියන එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් පාළු පාරක කාත් කවුරුවත් නැතිව ඇවිදගෙන යද්දි ලබන අත්දැකීම කට්ටියත් එක්ක යන ගමනකදි ලබන්න බැහැ. ඒ දෙක දෙකක්. මට හිතෙන විදිහට ඒ දෙකම ජීවිතයට ඕනෙ. මම කියන්නෙ නෑ ඒක හොඳයි මේක හොඳයි කියලා. ඒ දෙකෙන් ලැබෙන්නෙ රස දෙකක්. හරියට ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ගමේ ගොඩේ කෑමවේලක් කනවා වගේ. ඒ දෙක රස දෙකක්නෙ. අන්න ඒ වගේ තමයි මම මේ තනියම කරන Travel එකයි පවුලේ අය සහ මිත්‍රයන් සමඟ කරන Travel එකයි දැනෙන්නෙ.

ඔබ ඒ කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවාද?

ඇත්තටම ඔව්. මම ආසා කරන තැනක් තමයි හෝර්ටන්තැන්න කියන්නෙ. මම වැඩිපුරම ගිහිල්ලා තියෙන්නෙත් හෝර්ටන්තැන්න බලන්න. හැබැයි මම එහේ යන්නෙ මිනිසුන් ගොඩක් යන කාලෙට නෙවෙයි. වැඩිය කවුරුත් නොයන කාලෙට යන්න තමයි මම ආසා. මොකද එහෙම කාලෙට තනියම යද්දි තමයි මම කවුද කියලා මටම කියවාගන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා වෙන්න ඇති මම හෝර්ටන්තැන්නට මෙච්චර ප්‍රිය කරන්නෙ.

හරිත්.. ඔබ Travel ගොඩක් කරපු කෙනෙක් විදිහට ඔබට සිදුවූ අමතක නොවන අත්දැකීම් ගොඩක් ඇති. ඒ අත්දැකීම් ගැන පොඩ්ඩක් කතා කරමුද?

අත්දැකීම්නම් ගොඩක් තියෙනවා. එක සැරයක් ගෙදර කට්ටිය එක්ක හෝර්ටන්තැන්නේ ගිය වෙලාවක එක මනුස්සයකුට අසනීපවෙලා අපි ඒ මනුස්සයාව රෝහලකට අරගෙන ගියා. තව සිදුවීමක් වුණා. හැබැයි ඒ දේ වුණේ හෝර්ටන්තැන්නෙදි නෙවෙයි. මම දවසක් තනියම තණමල්විල පැත්තෙ ගිය වෙලාවක උඩවලව පාරේ රූක තනියෙන් එනකොට මගේ මෝටර් රථයේ පොඩි කාර්මික දෝෂයක් වෙලා ක්‍රියා විරහිත වුණා. පැය හතරක විතර කට්ටක් කෑවා. හැබැයි ඒ පැය හතර තුළ මාර අත්දැකීමක් ලැබුවේ. මොකද ඒ වෙලාවට අලි එනවා කියනවා. ඒ ඇහිච්ච දේවල් එක්ක අමුතුම අත්දැකීමක් ලැබුණෙ. කොහොම හරි ඒ වෙලාවේ පාරේ ගිය තවත් වාහනයක කෙනෙක් මට උදව් කළා. ඊට පස්සේ මම නැවතත් මගේ ගමන ගියා. මම හිතන්නේ Travel කරද්දි කන කට්ටත් මාරම ආතල් එකක් කියලයි.

ඔබ Travel එකක් කරද්දි ඒ ගමන සැලසුම් කරන්නෙ කොහොමද?

ගෙදර කට්ටිය එක්ක යද්දිනම් සැලසුමක් තියෙනවා. අපි කොහෙද යන්නෙ, නවතින්නෙ කොහෙද කියලා ලෑස්ති කරගෙනයි යන්නෙ. නමුත් මම තනියම යන Travel එකක් කලින් සැලසුම් කරන්නෙ නැහැ. තනියම යන ගමන සැලසුම් කරලා යනවාට වඩා එතනට ගිහිල්ලා සැලසුම් කරන එක හරි රසවත් කියලයි මට හිතෙන්නෙ. මොකද මම දවසක් ගියා අලි මිනිස් ගැටුම ගැන කරුණු සොයා බලන්න. ඒ අවස්ථාවේ මම හිටියේ ගහක් උඩ තියෙන පැලක. ඒ අත්දැකීම හරි රසවත්. ඒ දේවල් කලින් සැලසුම් කරන්න බැහැනෙ. ඒ නිසා මම කැමති සැලසුම් නොකර යන එකටයි.

ඔබ කවදාවත් නොගිය යනවාමයි කියලා හීන දනික තැනක් තියෙනවාද?

එක තැනක් තියෙනවා. %පාහියන්ලෙන^  ඒකට හේතුව මම මතුගම වාසය කරලත් ඒක බලන්න යන්න බැරිවීම. යාළුවෝ මම මතුගම නිසා පාහියන්ලෙන ගැන ඇහුවොත් මට ඒ ගැන හරි පිළිතුරක් ලබාදෙන්න බැරිවීම. සාමාන්‍යයෙන් ළඟ තියෙන දේ අපිට මඟ ඇරෙනවා. දුර තියෙන දේවල්වලට හිත යනවා. මටත් ඒ වගේ දෙයක් වුණු එක අවස්ථාවක් තමයි ඒක.

හරිත්.. ඔබ Travel කියන දේ දකින්නෙ කොහොමද?

Travel කියන දේ තුළ අපිට මානසික චිකිත්සාවක් ලබන්න පුළුවන්. විවිධ පරිසරවලට ගිහිල්ලා මේ තියෙන ප්‍රශ්නවලින් මිදිලා සොබාදහමත් එක්ක ඉන්නකොට අපේ තියෙන සියලු ප්‍රශ්න අමතක වුණාම ජීවිතයට හරි සැහැල්ලුවක් දැනෙනවා. සමහර මිනිස්සු ඉන්නවා ජීවිතේ සල්ලි හම්බ කරලා කරලා අන්තිමට කිසිම සතුටක් නැතිව මැරිලා යන. එහෙම නැතිව මේ ජීවත්ව ඉන්න කෙටි කාලය තුළ සතුටින් ඉන්නවානම් ඒ සතුටින් ඉන්න හොඳම ක්‍රමය තමයි Travel කරනවා කියන එක කියලයි මම හිතන්නෙ. හැබැයි මටනම් වැඩිපුර සතුටක් ලැබෙන්නෙ තනියම Travel කරන එකෙන් කියලා කියන්න ඕනෙ.