අංජලී.... මේ දවස්වල අහන්න ආසම ගීතය මොකක්ද?
මම මේ දවස්වල අහන්න ආසම ගීතය සශිකා නිසංසලා මහත්මිය ගායනා කරන
සිත් අහස පිරවරා
තාරැකා මල් පිපෙනවා, දිලෙනවා
ලොවම පිරි වලා යහනට
මගෙ සඳ වඩිනවා....
ගීතයටයි. ඒ ගීතය මුලින්ම අහල දැන් ටික කාලයක් වෙනවා. නමුත් ඒක හරිම ආදරණීය ගීතයක්. ඒක මගේ ජීවිතයට බැඳිලා වගෙයි මට හිතෙන්නේ. ඒක මට හරියට දැනෙනවා.
යහළුවන් එක්ක කතාකරන්න ආසම කරන මාතෘකාව මොකක්ද?
මේ ක්ෂේත්‍රයේ නම් මට එහෙම හොඳම, ළඟින්ම ඇසුරැ කරන යහළුවන් නම් හරිම අඩුයි. එදිනෙදා ෂූටිංවලදී හමුවන හැමෝම මට හිතවත්. මම ඉගෙන ගත්තේ ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ. ඉස්කෝලේ හිටිය ඒ යහළුවෝ අදටත් මගේ හොඳම යාළුවන්. අපි තාමත් කතා කරනවා. මුණගැහෙනවා. අපිට Whatapp group එකක් තියෙනවා. ඒකෙන් අපි හැමෝම කතාබහ කරනවා. ඒකෙදි කාලෙන් කාලෙට එක එක මාතෘකා ගැන අපි කතා කරනවා. කොවිඩ් එන්න කලින් නම් අපි ඔය මාසයකට සැරයක් කාගේ හරි යාළුවෙක්ගේ ගෙදරක, මුණගැහෙන්න පුළුවන් අය මුණගැහුණා. ඉතින් ඒ මුණගැහුණාටත් තොරතෝංචියක් නැතිව ඉස්සර කාලේ ගැන. දැන් කාලේ ගැන අපි කතා කළා. කොවිඩ් නිසා ළඟදී නම් එහෙම මුණගැහුණේ නැහැ. හැබැයි Whatapp group එකෙන් නම් අපි කතාකර ගන්නවා.
අංජලිට පුංචි කාලේට යන්න ලැබුණොත්, යන්න ආසම කරන්නේ කොයි කාලේටද?
මම පුංචිම කාලේටත් ආසයි. කිරි බෝතලෙන් කිරි බොන කාලේ ගැනත් පුංචිම හරි මතකයක් තියෙනවා. හැබැයි ඒක පුංචිම මතකයක්. ඊටපස්සේ මම ඉස්කේලේ යන කාලේටත් හරි ආසයි. පාසැල් රුස්වීමකදීවත් මම කිසිම දේකට ඉදිරිපත් වෙලා නැහැ. මම හරිම ලැජ්ජා චරිතයක්. දවස් පහට පස් දෙනෙකුට කතාවක් පවත්වන්න සිදුවුණොත් මගේ දවසට ඉස්කෝලෙට නොගිහින් බොරැ අසනීපයක් අරගෙන ගෙදර නවතිනවා. ඉතින් ඒ වගේ බොරැ අසනීපයක් අරගෙන ගෙදර නතරවෙන්න උත්සාහ කළොත් ඒකට හේතුව මොකක්ද කියලත් අපේ තාත්තා දන්නවා. පාසැලේදී මම නර්තනයට සහභාගි වුණා... හැබැයි ඒකත් කණ්ඩායම් නර්තනවලටයි. කිසිම දේකට තනියම ඉදිරිපත් වෙලා නැහැ.
පුංචි කාලේ කරපු සෙල්ලම්වලින් අදටත් ආස කරන සෙල්ලම මොකක්ද?
මගේ පවුලේ ඉන්නේ මායි, නංගිලා දෙන්නයි. අපිව පුංචි කාලේ අපේ තාත්තා සෙල්ලම් කරන්න ගෙදරින් කොහේවත් යැව්වේ නැහැ. හැබැයි හැම සති අන්තයකම සෙනසුරාදා හවස හෝ ඉරිදා තාත්තා අපිව ගල්කිස්සේ මුහුදු වෙරළ ළඟ තිබුණු ළමා උද්‍යානයට එක්කගෙන ගියා. ඒ යද්දී ගෙදරින් සැන්විච් ටිකක්, බීම ටිකක් හදාගෙන තමයි අපි ගියේ. ඉතින් එදාට අපි තුන්දෙනා ඇති තරම් ලිස්සන බෝට්ටුවේ ගියා. ඔංචිලි පැද්දා.
කැමතිම පර්ෆියුම් එක?
මම කැමැතිම Bi Jou පර්ෆියුම් එකටයි.
කැමතිම ඇඳුම?
මගේ කැමතිම ඇඳුම ඩෙනිමයි, ටී ෂර්ට් එකයි. එහෙම නැත්නම් ඩෙනිමයි, කුර්තා එකයි.
අංජලීගේ වාහන තේරීම මොකක්ද?
මට එහෙම විශේෂ කැමති වාහනයක් නැහැ. දැන් මම පදින Aqua කාර් එකට මම කැමතියි.
ලංකාවේ යන්න ආස කරන තැනක් තියෙනවාද?
ඔව්... මම ඔය බෙලිහුල්ඔය පැත්තේ මීදුමත් එක්ක තියෙන පැත්තකට යන්න ආසයි. ඒ වගේ ගුප්ත පරිසරයක තියෙන වලව්, බංගලා වැනි තැනක දවසක් නතර වෙන්න මම ආසයි. රූට මීදුමත් එක්ක ගිනි මැලයක් පත්තු කරගෙන ඉන්න ආසයි. උදේ පාන්දර ඒ මීදුමත් එක්ක එළියට ගිහින් ඇවිදින්න මම ආසයි. හැබැයි මම ඒ කියන තැන්වලට යන්න නම් ගොඩක් අය කැමති නැහැ. හැබැයි මගේ තේරීම තමයි ඒක.
පිටරට ඇවිදින්න යන්න කරන රටක් තියෙනවාද?
පහුගිය අවුරැදුවලදී නම් හැම සිංහල අලුත් අවුරැද්දකම හෝ දෙසැම්බර් කාලයේදී අපි කොහේ හෝ රටකට ගියා. ඒ නිසා ඇවිදින්න පුළුවන් ලස්සන රටවල් කිහිපයකට මම ගිහින් තියෙනවා. හැබැයි කොවිඩ් නිසා අවුරැදු දෙක තුනක් එහෙම යන්න ලැබුණේ නැහැ. ආයෙත් දෙවියනේ කියලා රටවල්වලට යන්න ලැබුණොත් එහෙම ඇවිදින්න යන්න ආස කරන, නොගිය රටවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් නවසීලන්තයටත් යන්න ආසයි.
කෙනෙකුට තෑග්ගක් දෙන්න ලැබුණොත් අංජලී දෙන්න කැමැති මොකක්ද?
ඒක තෑග්ග දෙන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මම තෑග්ගක් දෙනවා නම් එයා මට ගොඩාක් හිතවත්, දන්න කෙනෙක්නේ. ඉතින් සමහරවිට මම එයාගේ කැමැති අකමැති දේවලුත් දන්නවා. ඉතින් තෑග්ගක් දෙද්දී එයාට ඒ මොහොතේ අවශ්‍ය කරන, එයා කැමැති වගේම මට එයා වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් තෑග්ගක් මම එයාට අරගෙන දෙනවා.
අංජලීට කාගෙන් හෝ තෑග්ගක් ලැබෙනවා නම් ආස කරන තෑග්ග මොකක්ද?
මම එහෙම ලොකුවට ආස කරන දේවල් මගේ ජීවිතේ නැහැ. සමහර දේවල් ලස්සනයි කියලා හිතුණත් මේක මට ඕනමයි කියලා හිතිලා නැහැ. කවුරැ හරි කෙනෙක් ආසාවෙන් මට ටොෆියක් දුන්නත් මම ඒක හරිම ආසාවෙන් බාරගන්නවා.
අංජලී ජීවත් වෙන්න කැමැති?
මම මේ දැන් ඉන්න විදිහට මම හරි කැමතියි. ඒක තමයි මගේ තේරීම. මේ සරල, සැහැල්ලු වැඩි කලබලයක් නැති ජීවිතය මට හොඳයි.