2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ජීවිතයේ හුඟාක් දේවල් ලැබුණේ කතරගමින්

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 63

විශ්ව.. ඉතින් මොනවද මේ දවස්වල තොරතුරු?

මේ දවස්වල අහස් මාලිගා ටෙලිනාට්‍යයේ වැඩ කරලා ඉවරයි. තවත් අලුත් නාට්‍ය කිහිපයකම වැඩ පටන් ගත්තා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා.

විශ්ව.. ඔබ ඇවිදින්න ආසා කරන කෙනෙක්ද?

ඔව්. මම Travel කරන්න ගොඩක් කැමති කෙනෙක්. හැබැයි මම තෝරාගත්ත පරිසර කිහිපයක් තියෙනවා. නැතුව නිකම් යන්නම් වාලේ ඇවිදින්න කැමති කෙනෙක් නෙවෙයි.

මොනවද ඒ ඔබ තෝරාගත්ත පරිසර?

බොහොම නිස්කලංක පරිසරවල වගේම මහනුවර, පොළොන්නරුව, අනුරාධපුරය, කතරගම වගේ ප්‍රදේශවල ඇවිදින්න තමයි මම කැමති.

ඔබ Travel කරන්න පටන් ගත්තේ කුඩා කාලයේ සිටද?

මම කුඩා කාලයේ ඉඳන් ගොඩක් ඇවිදින්න කැමති කෙනෙක්. අපේ පවුලේ කට්ටියත් ගොඩක් වෙලාවට Travel කරනවා. ඒ නිසා මම කුඩා කාලයේ සිට Travel කරන කෙනෙක්. හැබැයි මම ගොඩක් ගිහිල්ලා තියෙන්නේ කතරගම, නුවර, පොළොන්නරුව වගේ පැතිවලට. අදටත් මම යන්න කැමති මේ ප්‍රදේශවලට.

මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවද?

මගේ ජීවිතයේ මගේ හිතට දැනිච්චම තැන තමයි කතරගම සහ මගේ ගම නුවර.

කතරගම යන ගමන ඇයි ඔබේ හිතට එච්චරටම දැනුණේ?

ඒකට හේතුව ඇයි කියලා මට තාම තේරෙන්නෙ නෑ. මම හිතන්නේ ඒ පරිසරයට වෙන්න ඇති. ඒ වගේම මම අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් යන තැනක් තමයි කතරගම දේවාලය සහ කිරිවෙහෙර කියන්නෙ. විශේෂම දේ තමයි මම මගේ උපන්දිනයට ගොඩක් වෙලාවට ඉන්නෙ කතරගම. මම හිතන්නෙ ඒ හින්දා වෙන්න ඇති මම කතරගම යන ගමනට මෙච්චරම ආදරය කරනනෙ.

ඒ ගමනෙදි ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීම් මොනවද?

මම ගොඩක් විශ්වාස කරනවා කතරගම දෙවියන්ව. ඒ විශ්වාසයත් සමඟ මගේ ජීවිතයේ මට ලැබුණු ගොඩක් දේවල් ලැබුණේ කතරගම යන ගමන නිසයි. මම බොහොම බෞද්ධ සිතින් ඒ දේවල් ගැන විශ්වාසය තියාගෙන ආගමට ලැදිව ඉන්න එක මට ගොඩක් යහපතක් වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂ කාරණා නැහැ.

කතරගම වගේ ගමනක් යෑමට පෙර ඒ ගමන සැලසුම් කරන්නෙ ඔබද? ඒ කොහොමද?

ගොඩක් වෙලාවට සැලසුම් කරන්නෙ මම. නැතිනම් මගේ පියා. හැබැයි ලොකුවට සැලසුමක් නෑ. දවසකට දෙකකට ඉන්න ඇඳුම් සහ නවතින තැන් ගැන සොයා බලන එක විතරයි සැලසුමකට කියලා කරන්නෙ.

ඔබ කාර්යබහුල කෙනෙක්. කොහොමද ඔබ මේ දේවල්වලට කාලය සලසා ගන්නෙ?

මෙහෙමයි. මම මොන රාජකාරිය කළත් ඒ දේවල්වලට කාලය වෙන්කරවා ගන්නවා. මම උදේම වැඩ ආරම්භ කරන්න කලින් පන්සිල් සමාදම් වීම කරනවා. ඒ දේ මම කුඩා කාලයේ සිට කරන දෙයක්. ඒ වගේම මම අලුතින් වැඩක් පටන් ගන්න කලින් බෙල්ලන්විල පන්සලට හරි දළදා මාලිගාවට හරි අනිවාර්යෙන් යනවාමයි. මගේ උපන්දිනය දවසට මම කතරගම කිරිවෙහෙරට යනවාමයි. ඒ වගේම මම කොච්චර කාර්යබහුල වුණත් මේ සියලු දේ කරනවා.

විශ්ව.. ඔබ මේ වගේ ගමනක් යන්නේ වැඩිපුර කාත් සමඟද?

මගේ ජීවිතයේ මම කතරගම ගිහිල්ලා තියෙනවානම් සිය පාරක් ඒකෙන් අනූනව පාරක් ගිහිල්ලා තියෙන්නෙ මගේ පවුලේ අය සමඟයි. එක පාරක් වගේ මම ගිහිල්ලා ඇති රංගන කටයුතු සඳහා. ඊට අමතරව සෑම අවස්ථාවකම ගියේ මගේ පවුලේ කට්ටිය සමඟයි.

ඔබ විදෙස් සංචාරත් කරපු කෙනෙක්. ඒ අතරින් ඔබ කැමතිම විදෙස් සංචාරය කුමක්ද?

මම විදෙස් සංචාර කිහිපයක්ම කරලා තියෙනවා. ඒ අතරින් මම ආසා කරනම සංචාරය තමයි ඕස්ට්‍රේලියා සංචාරය කියන්නෙ. මොකද ඒ රටේ පරිසරය හරි නිදහස් සහ පිරිසිදුයි. ඒ වගේම ඒ දේශගුණයටත් මම මාර ආසයි. ඒ රටත් ජීවත් වෙන්න හොඳම රටක්. හැබැයි මම නම් ලංකාව දාලා වෙන රටක ජීවත් වෙන්න කැමති නෑ. 

ඔබ ඕස්ට්‍රේලියා ගියේ සංචාරයක් සඳහාද?

නැහැ. මම පළවෙනි පාරට ගියේ මගේ පෞද්ගලික රාජකාරියකට. ඊට පස්සේ ඕස්ට්‍රේලියා ගියේ කලා කටයුත්තක් සඳහා පමණයි.

විශ්ව.. ඔබ කවදාවත් නොගිය හැබැයි කවදා හෝ දවසක යනවාමයි කියලා හිතාගෙන ඉන්න තැනක් තියෙනවද?

මට එහෙම විශේෂ තැනක් නෑ. හැබැයි පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවානම් මම කැමති මීමුරේ, සිංහරාජ වගේ යන්න.

ඔබ Travel කියන දේ දකින්නෙ කොහොමද?

ජීවිතයේ තියෙන කාර්යබහුලකමින් මිදිලා මනස නිරවුල් කර ගන්න හොඳම දේ තමයි Travel කරනවා කියන්නෙ. මොකද මම ඇවිදින තැන් ගැන බලද්දි ඒක මගේ මනසට ගොඩක් හොඳයි කියලා දැනිලා තියෙනවා.

ඔබට එහෙම දැනිච්ච අත්දැකීම් එහෙම තියෙනවද?

අත්දැකීම් කියන්නෙ මම වැඩ කරලා කරලා වෙහෙසක් දැනිච්ච ගමන් කරන්නෙ මගේ ගම මහනුවර යන එක. ඊට පස්සේ මහනුවර නගරයේ පොඩ්ඩක් ඇවිදලා වැව රවුමේ ඉඳන් පැයක් දෙකක් එළියේ ගත කරන කාලය මගේ මනසට ලොකු සහනයක් ගෙන එනවා. ඊට පස්සේ නැවත කලා කටයුතුවලට සහභාගි වෙනකොට දැනෙන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්නවා වගේ හැඟීමක්.

Travel කරන අයට වගේම Travel කරන්න ආසාවෙන් ඉන්න අයට මොන වගේ පණිවුඩයක්ද ඔබ දෙන්නෙ?

මම කියන්නෙ ජීවිතය විඳින්න. Travel කියන්නෙ ජීවිතය විඳින තවත් තැනක්. අපිට ගොඩක් දේවල් දකින්න තියෙනවා. අපි අපේ ලංකාව ගැන දන්නේ පුංචිම පුංචි දෙයයි. මට නම් ලංකාව තුළ ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා. ඒවා පුදුමාකාර තැන්. ගියාම එන්න හිතෙන්නෙ නෑ. ඉතින් මම හැමෝටම කියන්නෙ ඒ තැන් විඳින්න කියලා. පවුලේ කට්ටිය සමඟ යන්න බැරිනම් තනියම හරි ඒ තැන්වලට යන්න කියලයි මම කියන්නෙ. ඒ වගේම Travel කරද්දි අපි ජීවිතයට නොගිය පළාතකට ගියාම ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන් මම ඉල්ලන්නෙ ඒ ගමට පැමිණි කෙනාව අමුත්තෙක් හැටියට පිළිගන්න එපා. ඒ ආපු කෙනාට බරක් වෙන්න එපා කියලයි. මොකද පිටරට ඉඳන් එන කෙනෙක් වුණත් මෙහෙට එන්නේ ඇවිදින්න. එහෙම නැතිව ඒ කෙනාට කරදර වෙන්න ගියොත් ඒ කෙනා Travel එක දකින්නේ කරදරයක් හැටියට. ඒ නිසා මනුස්සයකුට මනුස්සයකුගේ නිදහස ගත කරන්න ඉඩ දෙන්න කියලයි මම සියලු දෙනාගෙන් ඉල්ලන්නෙ.