2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

වැඩියෙන්ම ’’නිල්’’ බලන්නේ ගෑනු

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 651

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ sex යන වචනය වැඩිම වාර ගණනක් එබූ රට ලෙස අපි කප් ගසා ඇත්තෙමු. එය සමාජයේ පරිහානිය විකෘතිය පෙන්වන සාධකයක් යැයි ඇතැමෙකු කෑ මොරදුන්න ද එහි ඇත්තේ ඊට එහා ගිය කතාවකි. හරිහමන් ලිංගික අධ්‍යාපනයක් පාසැලේදී හෝ නිවසේදී හෝ සමාජයේදී නොලබන මෙරට තරුණ තරුණියන් ලිංගික අධ්‍යාපනය ලබන්නේ අන්තර්ජාලය ඔස්සේ යැයි කීම වැරදි නැත.

ලිංගිකත්වය යනු කූඨ ගනුදෙනුවක් යැයි සිතන්නට අප වෙසෙන පරිසරයෙන්ම අනුබල ලබන තරුණ පරපුර අන්තර්ජාලය හරහා ලිංගිකත්වයේ සැබෑව සොයා යාම තුළින් එක්කෝ ඔවුහු යම් තරමක අධ්‍යාපනයක් ලබති. නැතහොත් ලිංගිකත්වය පිළිබඳ මානසික විකෘතියකට ගොදුරු වෙති. මේ දෙකින් කොයි දේ සිදුවූව ද අසැබි දර්ශන ලෙස සමාජය හඳුන්වන නිල් චිත්‍රපට අප කතා කිරීමට මැළිවන නමුත් කතා කළ යුතුම මාතෘකාවකි.

නිල් චිත්‍රපට ගැන මෙසේ කතාබහට තුඩු දෙන ආසන්නතම හේතුව වන්නේ සුප්‍රකට අමෙරිකානු නිල් චිත්‍රපට ප්‍රදර්ශනය කරන වෙබ් අඩවියක් සිදුකරන ලද සමීක්ෂණයකි. එය 2017 මාර්තු 08 වැනිදාට යෙදුණු ලෝක කාන්තා දිනය දා තම වෙබ් අඩවියට පිවිසි පුද්ගලයන් ඇසුරින් කරන ලද්දකි. අන්තර්ජාලය ඔස්සේ වැඩි වශයෙන් නිල් චිත්‍රපට නරඹන්නේ පිරිමි පාර්ශ්වය බවට පසුගිය අවුරුදු ගණනාව මුළුල්ලේම සිදුකරනු ලද සමීක්ෂණවලදී තහවුරුව තිබූ පසුබිමක මෙම නවතම සමීක්ෂණය දියත් කෙරුණේ, ස්ත්‍රී හා පුරුෂ පක්ෂය අදාළ වෙබ් අඩවියට පිවිසීම සඳහා භාවිත කර තිබුණේ කුමන විද්‍යුත් මෙවලමක් ද යන්න විමසා බැලීමට ය. 

ස්මාට් උපාංගවලින් නිල් චිත්‍රපට නැරඹීමේ 
කප් එක දකුණු අප්‍රිකානු ගැහැනුන්ට

සමීක්ෂණයේ ප්‍රතිඵල සිත්ගන්නා සුළු විය. අදාළ වෙබ් අඩවියට පිවිසි කාන්තාවන්ගෙන් සියයට 80ක්ම ඒ සඳහා භාවිත කර තිබුණේ ස්මාට් ජංගම දුරකථන හෝ ටැබ්ලට් ය. ස්මාට් උපාංග භාවිතයෙන් එම වෙබ් අඩවියට පිවිසි පිරිමින්ගේ ප්‍රතිශතය සියයට 69ක් විය. 

මේ අතර එම සමීක්ෂණයෙන්ම පෙන්වා දුන් තවත් කරැණක් වූයේ ස්මාට් උපාංග හරහා එම වෙබ් අඩවියේ නිල් චිත්‍රපට නරඹන වැඩිම පිරිසක් වයස අවුරුදු 18ත් 34 අතරට වයස් කාණ්ඩයට අයත් බවය. එය එතරම් පුදුමයට හේතුවක් නොවන්නේ ස්මාට් උපාංග භාවිතය බොහෝ විට තරුණ පරපුර අතර ජනප්‍රිය වී තිබෙන හෙයිනි. 

තව ද ස්මාට් උපාංග භාවිතයෙන් එම වෙබ් අඩවියට පිවිසෙන කාන්තාවන්ගෙන් සියයට 53ක්ම ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නියන් බවද ඇපල් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්නියන් ප්‍රමාණය සියයට 45ක් බවද හඳුනාගෙන තිබේ. කෙසේ නමුත් වින්ඩෝස් දුරකථන හෝ ටැබ් භාවිතයෙන් එම වෙබ් අඩවියිට පිවිස ඇත්තේ සියයට එකක් පමණි.  

ස්මාට් උපාංගවලින් නිල් චිත්‍රපට නැරඹීමේ කප් එක මෙහිදී හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකානු කාන්තාවන්ට ය. එනම් දකුණු අප්‍රිකාවේ සියයට 91ක්ම කාන්තාවන් අදාළ වෙබ් අඩවියට ගොඩවී තිබුණේ දුරකථනය හෝ ටැබ්ලට් එක මගිනි. එහි දෙවැනි තැනට බ්‍රිතාන්‍ය කාන්තාවන් පත්වෙද්දී තෙවැනි තැනට පත්ව සිටින්නේ පාකිස්තාන කාන්තාවන් ය. 

මීට වසර දෙකකට පමණ ඉහතදී පැවැති තවත් සමීක්ෂණයකට සහභාගී වුණු අඩකට වැඩි කාන්තාවන්ගේ මතය වූයේ, අන්තර්ජාලය ඔස්සේ නිල් චිත්‍රපට නැරඹීමෙන් තම ලිංගික ජීවිතයට යහපතක් සිදුවූ බව ය. 
තව ද සියයට 63ක් කාන්තාවන් විරුද්ධ ලිංගික ඇසුර සහිත වීඩියෝවලට වැඩි රුචිකත්වයක් දක්වද්දී සියයට 44ක් කාන්තා සමලිංගික වීඩියෝවලට වැඩි කැමැත්තක් දක්වන බව ඉන් අනාවරණය කරගෙන තිබුණි. 
නිල් චිත්‍රපට සහ විශේෂයෙන්ම අන්තර්ජාලය තුළ නිල් චිත්‍රපට නැරඹීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින්නේ එතරම් ධනාත්මක ආකල්පයක් නොවේ. නිල් චිත්‍රපට යනු සංස්කෘතික සීමා මායිම්වලට තර්ජනයක් බව මෙරට සමාජයේ සාමාන්‍ය බහුතර පිළිගැනීම වීම ඊට හේතුවය. නමුත් තාක්ෂණයේ දියුණුවත් වේගයත් නිසාවෙන්ම අද ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව නිල් චිත්‍රපටවලට වැඩි වශයෙන් නිරාවරණය වී තිබේ. 

අද අපේ රටේ දික්කසාද බොහෝමයකට හේතු පසුබිම් වී ඇත්තේ සහකරුවන් දෙදෙනා අතර පවතින ලිංගික නොගැළපීම බව අප කොතෙකුත් අසා ඇත්තෙමු. නමුත් දික්කසාද නඩුව තුළදී එය සහමුලින්ම නිරූපණය වනුයේ පුරුෂයෙකු නම් පර අඹුවන් කරා යෑම හෝ ගැහැණියක නම් පර පුරුෂයන් කරා යෑම ලෙස ලඝු කොට ය. ලිංගික ජීවිතය තුළ දෙදෙනා අතර පවතින නොගැළපීම්, දෙදෙනාගේම ලිංගික අධ්‍යාපනයේ පවතින දුර්වලතාව ආදිය තිරය පිටුපස සිට හොල්මන් කරයි. 

එනිසා සමාජයක් ලෙස අප නිල් චිත්‍රපට ද ලිංගිකත්වය මෙන් ගූඪ හෝ අශික්ෂිත දෙයක් ලෙස සැලකීමට හදිසි විය යුතු නැත. කළයුත්තේ, තරුණ පරපුර එය අවභාවිත කිරීමෙන් වළක්වා ගැනීම අවශ්‍ය පියවර ගැනීම ය. නමුත් ලිංගිකත්වය කෙරෙහි අපේ මිනිසුන්ගේ කුහක බව ඉවත් කරනොගන්නා තාක් එය සිදුනොවනු ඇත.  

Text — Rajitha

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00