2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ක්ලීටස්ට චැනල් මාරුවෙලා

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

අපේ ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් පහුගියදා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා.
ඔහුගේ හිතවත්ම මිත්‍රයෙකු සමඟ ක්ලීටස් එදා කොළඹට ඇවිත් තියෙන්නෙ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගි වෙනවා

ඔහුගේ බිරියට හා පවුලේ උදවියට මෙන්ම හිතවතුන්ටත් මේ වැඩසටහන නරඹන්න කියලා දන්වලත් තියෙනවා.

වැඩසටහන උදේ 10ට තියෙන නිසා ඔහු කළින්ම හිරු නාලිකාවට ආවෙ කලින්ම මේක්අප් දාගෙන සූදානම් විය යුතු නිසයි. ක්ලීටස් වෙලාවට වැඩ කරන කෙනෙක් බව ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. 
ඔන්න හිරු නාලිකා කාර්යාලයට ගොඩවුණ ක්ලීටස්ව හැමෝම බොහොම උණුසුමින් පිළිගත්තලු.

ගුඩ් මෝනිං ක්ලීටස්  අයියා. කොහොමද? මොනවද අපෙන් වෙන්න ඕනෙ...,* නාලිකාවෙ කීපදෙනෙක් විමසනවලු.
මොනව වෙන්නද ඉතින්, ඕගොල්ලො සජීවී ඉන්ටවිව් එකකට එන්න කිව්වා, මම ආවා. ක්ලීටස් සුපුරුදු සුහදත්වයෙන් කියනවලු.
කට්ටිය මුහුණට මුහුණ බලාගන්නවලු. තව කෙනෙක් ස්ටූඩියෝ එකට කෝල් එකක් දීලා තහවුරු කරගන්න හදනවලු.
අනේ එහෙම ප්‍රෝග්‍රෑම් එකක් දැන් නැහැලු. අයියට වැරදුණාවත්ද?
පිස්සුද මල්ලි මට එහෙම වැරදෙනවද? උඹලා මාව බයිට් කරන්න හදනවද?
ක්ලීටස් එහෙම අහද්දිම ඔහුගෙ දුරකතනයට කෝල් එකක් එනවලු.
ක්ලීටස් අයියා කොයි හරියෙද ඉන්නෙ.. ළඟද?
කවුද මේ...?

මම අහවල් ටීවී එකෙන්. අයියගේ ලයිව් ඉන්ටවිව් එක 10ට තියෙන්නෙ. පොඩ්ඩක් ඉක්මන් කරන්න. ප්ලීස් අයියා...

 

කන්ඩයි ආවෙ කාලයි යන්නෙ

මේ සතියෙ මංගල දර්ශනය පවත්වපු අලුත්ම වේදිකා නාට්‍යයේ නම තමයි කන්ඩයි ආවෙ කාලයි යන්නෙ.

බොහෝ දෙනෙකුට මේ නම හුරුවුණේ මේ වේදිකා නාට්‍යයේ ප්‍රචාරණ කටයුතු පටන් ගත්තායින් පස්සෙ. ඒත් සිනමා ක්ෂේත්‍රයේ මේ නමින් අලුත් අධ්‍යක්ෂක මල්ලි කෙනෙක් ඉන්නවා කියන එක ක්ෂේත්‍රයේ අය දැනගෙන ටිකක් කල්.
මොකක්දෝ පිනකට ඔහුට අහුවුණ මුල්ම නිෂ්පාදකවරයා නිසා චිත්‍රපටය මුදාහැරියත් අවුරුදු හයක් තිස්සේ ඒ නිෂ්පාදකවරයා තාම බැංකුවට ණය ගෙවනවලු. ඊටපස්සෙ මේ මල්ලි චිත්‍රපට හදන මුවාවෙන් විශේෂයෙන් මුදල් ආයෝජනය කරපු ගෑනු කීපදෙනෙකුට පොල්ල තියලා.

වැඩේ නවත්තන පාටකුත් නැහැ, ඔහුට අහුවෙන කට්ටිය අඩුවෙන පාටකුත් නැහැලු.‍
කන්ඩයි ආවෙ කාලයි යන්නෙ.

 

බඩවැල් කතාව කාගෙද?

 

මෑතකදි අලුත්ම චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වුණා කොළඹ ශාලාවක. සිනමාවට, කලාවට සම්බන්ධ ගොඩාක් අය ඇවිත් හිටියා.

වැඩේ පටන් ගත්තෙ ටිකක් පරක්කුවෙලා. ඒත් එක්කම නිවේදකයා මිනිස්සුන්ගෙ කාලය නිරපරාදෙ නාස්ති කළා වැල් බයිලා කිය කියා. චිත්‍රපටය කොයි මොහොතේ තිරයේ පතිතවෙයිද කියලා නොඉවසිල්ලෙන් බලන් හිටිය අයට නිවේදකයා කඩවුණු පොරොන්දුව, රේඛාව ගැන විස්තර කියනවලු.

ප්‍රේක්ෂකාගාරයේ හිටිය ප්‍රවීණ සිනමා මාධ්‍යවේදියෙකුට ඇවිත් සිටි මාධ්‍ය මිතුරන්ගෙන් දිගටම කෝල් එනවලු.
මචං උඹද මේ පොරට කතාව ලියලා දුන්නෙ, කියලා අහනවලු.

ගී කන්දත් පුපුරා යයිද?

මේ දවස්වල ගොඩාක්ම කතා වෙන්නෙ කුණු ගැන. ඒත් ඉතින් ගොඩාක් අයට පේන්නෙ අනුන්ගෙ කුණු විතරනෙ.

ඔය මීතොටමුල්ල කුණු කන්ද නායගියා වගේම ළඟදි දවසක ගී කන්දත් පුපුරලා යන්න ඉඩ තියෙනවා කියලා තමයි කලා ලෝකෙ කට්ටිය කියන්නෙ.
දැන් හැදෙන බොහොමයක් සින්දු, විෂුවල් මෙලෝ මිනිහෙකුට අහගෙන ඉන්න පුළුවන්ද? ඒ මදිවට අපේ ප්‍රවීණයො ඉතිරි කරලා ගිය ලස්සන සින්දුත් අරගෙන අලුත් පරම්පරාවෙ අය විකෘති කරලා.
ගී කන්ද පුපුරා ගියොත් ඉතින් අපි අතර ඉන්න ගායන ශිල්පීන් ශිල්පිනියන්ට මොනවා වෙයිද?

අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. ගී කන්ද නායයන්න කළින්ම අපේ ප්‍රවීණ ගායක ගායිකාවන් ඒකට යටවෙලා ඉවරයි. ඒකනෙ ඔවුන්ගෙ සින්දුවක්වත් දැන් ඇහෙන්නෙ නැත්තෙ,
ගී කන්දට යට නොවී තාමත් යහතින් ඉන්න ගායිකාවක් පසුගියදා කියනවා ඇහුණා.
 

කෝ අනේ ගාලු පාර

පහුගියදා අපෙන් සදහටම සමුගත් ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරගේ දේහය තැන්පත් කර තිබුණු මල් ශාලාවට කලාකරුවන් රැසක් ඇවිත් හිටියා.
ඒ හැමෝටම වසන්ත ගැන හා ඔහු ළඟින් ඇසුරු කළ අය ගැන කියන්න ඕන තරම් රස කතා තිබුණා. පහුගිය සතියෙත් අපි අර විසිල් කතාව කිව්වනෙ.

ඔන්න තව දවසක් වසන්තගේ බම්බලපිටියේ ගෙදරට ක්ෂේත්‍රයේම හොඳ යාළුවො දෙන්නෙක් ඇවිල්ලා රෑ බෝ වෙනකම් සෙට්වෙලා හිටියලු. ගෙදර යන්න මතක් වුණාම තමයි දැන‍ගෙන තියෙන්නෙ කෙළින්වත් හිටගන්න බැරි විත්තිය.
එක්කෙනෙක් මේ දෙන්නට ගුඩ් නයිට් කියලා ගියාලු.

ඔන්න විනාඩි දහයකින් විතර අර මිනිහා ආපහු එනවලු.
මොකද බං උඹ යන්න නේද ගියේ...
ඔව් මචං ඒත් උඹලගෙ ගෙදර ගේට්ටුව කොහෙද බං? ගාලුපාරත් පේන්න නෑනෙ බං
මචං උඹ කොයි පැත්තෙන්ද ගියේ?
මේ පැත්තෙන්...
ඉතින් මචෝ ඒ අපේ කුස්සිය පැත්තනෙ, එහෙ කොහෙද ගාලු පාරක්...

ගෑනු පිරිමි වෙලාලු

පහුගිය දවසක අපේ කලා ශිල්පියෙකුගෙ ගෙදර පොඩි අවුරුදු පාටියක්ලු. පවුලේ හිතවත්ම කට්ටිය විතරයිලු සහභාගි වුණේ.

ඔන්න කට්ටිය දැන් කාලා බීලා හොඳ ජොලි මූඩ් එකේ ඉන්න වෙලාවක අර ශිල්පියාගෙ බිරිය ඇවිත් හිටිය කට්ටියගෙන් ඇහුවලු ගැහැනු පිරිමි කරන්න ෆෝන් ජාතියක් ලංකාවෙ තියෙනවද කියලා.
කට්ටිය අන්දුන් කුන්දුන්වෙලා බලාගෙන හිටියලු. මෙන්න බොලේ මෙයා එකපාරටම එයාගෙ මහත්තයගෙ ජංගම දුරකතනය ගෙනැල්ලා ඒකෙ සේව් කරලා තියෙන නම් කියවගෙන ගියාලු.
මිස්ටර් රේණුකා, මිස්ටර් ගීතා, මිස්ටර් ප්‍රින්සි...
ඒ වගේ නම් ගොඩයිලු.

මිනිහගෙ මූණ පුංචි වුණාලු. 
කාලෙකට කලින් එයා පුරුදුවෙලා හිටියෙ රේණුකා ස්ටෝර්ස්, ගීතා ෆාමසි, ප්‍රින්සි බේකරි වගේ නම්වලින් ෆෝන් එකේ සේව් කරන්න කියලා මතක ඇතිනෙ.

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00