දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකික රසික ප්‍රජාව පිනවමින් සිනමා ලොව ජය කෙහෙළි නැංවූ සිංහල සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකා අදටත් අප සැමගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වී සිටින්නීය. සිය දිවිමගේ තවත් එක් කඩඉමක් පසුකරමින් අද උපන් දිනය සමරන මාලනී ෆොන්සේකා සමඟ හදසර කළ සොඳුරු කතාබහක් මේ.
චිත්‍රපට 160කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වූ මාලනී සිනමා අධ්‍යක්ෂකවරියක් හා නිෂ්පාදකවරියක් ලෙසද ප්රකටය.
1963 වසරේ නොරත රත වේදිකා නාට්‍ය හරහා රංගන ලොවට පා තැබූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, 1968 දී අකල් වැස්ස වේදිකා නාට්‍යයේ රංගනය උදෙසා හොඳම නිළියට හිමි ජාතික සම්මානයටද පාත්‍ර වූවාය. එම වසරේම ඇය තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයේ සිනමා ලොවට අවතීර්ණ වූවාය.
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය නියෝජනය කරමින් තිරය මත පෙළහර පෑ ඔබ අද පරිණතභාවයෙන් ඉහළම තැනක සිටිනවා. ඒ සමඟම ඇතිවන වියපත් වීමේ ක්‍රියාවලිය ගැන මොනවද හිතෙන්නේ?
කලාකාරිනියක් හැටියට අපි හැමදාම නැවුම් අත්දැකීම් එක්ක, අලුත් නිර්මාණ එක්ක ගනුදෙනු කරනවා. ඒ ජීවිතය තුළ තිබෙන නැවුම් හා ප්‍රබෝධමත් භාවය නිසා අපි වයසට යනවද කියලා හිතෙන්නෙක් නැති තරම්. ඒත් වයසට යාම ගැන පසුතැවීමකුත් නැහැ. මොකද ඒක නතර කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයිනෙ.
ඔබ පසුගියදා හෘද සැත්කමකටත් භාජනය වුණා නේද?
ඇත්තටම කියනවානම් මම ලෙඩ රෝගවලට පොඩ්ඩක්වත් බය නැහැ. මට ලොකු අසනීපයක් හැදුනා. ඒත් මම ඒකෙනුත් ජයගත්තා. ඒවට මුහුණ දෙන්න පුළුවන් හොඳ ආත්ම ශක්තියක් මට තියෙනවා.
නිළි රැජින ලෙස වැජඹුනද ඔබේ නිහතමානී බව කාගෙත් පැසසුමට ලක්වෙලා තිබෙනවා. ඔබේම කියලා නිවසක් තනන්නට ඔබට හැකිවූයේ මෑතක නේද?
හරියටම කියනවානම් මම ගෙයක් හදාගත්තෙ නිළියක වෙලා අවුරුදු 50ක් ගියාට පස්සේ. මගේ කලා ජීවිතේට අවුරුදු 50ක් ගෙවුණට පස්සෙ තමයි මම අලුත්ම වාහනයක් ගත්තේ.
එතකොට ඔබ කාලයක් පුරා හම්බ කරපු මුදල්?
අපි ඒ කාලේත් විශාල මුදල් හම්බ කළේ නැහැ. ඒ වගේම ලොකු ගෙවල් දොරවල් හැදීමේ, යාන වාහන ගැනීමේ, ලොකු පොහොසත් කෙනෙක් වීමේ හීන මට තිබුණේ නැහැ. එදා වගේම අදත් මම සරලව ජීවත් වෙන කෙනෙක්. මට කවදාවත් කළමනාකරුවෙක් හිටියෙ නැහැ. ඒ නිසාදෝ සමහර නිෂ්පාදකවරුන්ගෙන් අපට හරියට මුදල් ලැබුණෙත් නැහැ. මම ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න ගියෙත් නැහැ.
ආපසු හැරී බලද්දී ඔබේ ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව් කලා ශිල්පිනියක් හැටියට මගේ ජීවිතය සාර්ථකයි කියලා හිතෙනවා. පෞද්ගලික ජීවිතේ යම් යම් කලකිරීම් තිබුණත්
ඔබ කතා කරන්නේ කලකිරීමෙන්ද?
නැහැ. මගේ ජීවිතේ බැඳීම් හරිම අඩුයි. මව්පියෝ ජීවතුන් අතර හිටිය එකයි තිබුණ ලොකුම බැඳීම. අද ඒ ගොල්ලොත් නැහැ. පවුල් ජීවිතයක්, දරුවෝ කියලත් මට නැති නිසා මම අද හුඟාක් දේවල් අත්ඇරලා තියෙන්නෙ. ඒත් ඒ අත්හැරීම් ගැන මම කිසිම විදිහකින් පසුතැවෙන්නෙත් නැහැ.
කෙටි කාලයකට හෝ දේශපාලනයට සම්බන්ධ වීම ගැන පසුතැවෙන්නෙත් නැද්ද?
නැහැ. ඒක මගේ ජීවිතයට ලැබුණු තවත් නැවුම් අත්දැකීමක් කියලයි මම විශ්වාස කරන්නෙ. මම විශාල වශයෙන් දේශපාලන කරන්න බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් නෙවෙයි. මට ආරාධනාවක් ලැබුණා. ජාතික ලැයිස්තුවෙන් පත් වුණා. නිළියකගේ භූමිකාවට වඩා ගැඹුරින් සමාජය ගැන රට ගැන මිනිස්සු ගැන අවබෝධයක් ලබාගන්න ඒ අත්දැකීම ඉවහල් වුණා.
නැවත චිත්‍රපට අධ්යක්ෂණයට හෝ නිෂ්පාදනයට අවතීර්ණ වෙන්න අදහසක් නැද්ද?
ආසාවක් තියෙනවා. ඒත් වර්තමානයේ ප්‍රේක්ෂක රුචි අරුචිකම් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය මොනවද කියලා හැදෑරීමක් කරන්න වෙනවා. ඒක බොහෝම පරෙස්සමෙන් කළ යුතු දෙයක්.
Text - Ramesh Uvais