හිත් රිදීම් ඕනෑ තරම් තියෙනවා - පෝෂිණී
පෝෂිණී නදීකුමාරි දිසානායක
පෝෂිණී... සකූගේ ලෝකයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම හඳුනන චිරාත් විජේසිංහ අයියා දවසක් මට කතා කරල ප්‍රියන්ත කොළඹගේ සර්ගේ අලුත් නිර්මාණයකට කෙනෙක් හොයනවා සහ සම්මුඛ පරීක්ෂණයක් ගැන විස්තර කිව්වා. ඒ වෙලාවේ මමත් ඒකට සම්බන්ධ වෙලා අවසානයේ ඒ ටෙලිනාට්‍යෙය් වාසනාගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා.
• සකුගේ කතාව ටෙලිනාට්‍යයේ ඒ චරිතයට මුලින්ම රඟපෑවේ පබෝදා සංදීපනී. එවැනි ජනප්‍රිය කෙනෙකු කළ චරිතයක් බාරගැනීමම අභියෝගයක් නේද?
ඔව්... අනිවාර්යයෙන්ම... ඒක මට ලොකු අභියෝගයක් වුණා... සකූගේ කතාව මම හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්. ඒ නිසා ඒ චරිත ගැන මට පොඩි අවබෝධයක් තිබුණා. ඒ රංගනය සාර්ථක කරගන්න සකූගේ ලෝකය අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සර් ඇතුළුව මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.
• පෝෂිණීගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තායි, අක්කයි, මමයි. තාත්තා පෞද්ගලික ආයතනයක රුකියාවක් කරනවා. අම්මා ගෘහණියක්. මගේ හැම වැඩකදීම මාත් එක්ක යන්න එන්නේ අම්මායි. මගේ අක්කා විවාහවෙලා දැන් විදෙස්ගත වෙලයි ඉන්නේ.
• පුංචි කාලේ පෝෂිනී ආසාවෙන් හිටියෙ කවුරු වෙන්නද?
පුංචිම කාලේ මම හරිම ආසාවෙන් හිටියෙ වෛද්‍යවරියක් වෙන්නයි. මට තාම මතකයි ඒ කාලේ අම්මයි, තාත්තයි මට Doctor set එකක් ගෙනත් දීලා තිබුණා. ඉතින් මම ඒකෙන් මගේ බෝනික්කන්ට බෙහෙත් කළා. සමහර වෙලාවට මගේ අම්මත් මාත් එක්ක සෙල්ලම් කරන්න එනවා. ඉතින් ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න අම්මාත් එනවා. මට වඩා මගේ අක්කා අවුරුදු හයක් වැඩිමල්. අපි දෙන්නා නම් පුංචි කාලේ සෙල්ලම් කරගන්නවාට වඩා ඇතිතරම් රණ්ඩුවෙලා තිබෙනවා. පුංචිම කාලේනේ... හැබැයි පොඩි වෙලාවයි. ආයෙත් අපි යාළුවුණා. ටිකක් ලොකු වුණාට පස්සේ ගුවන් සේවිකාවක් වෙන්නත් ආසා කළා. මම උසස් පෙළට වෙනත් භාෂා විෂයක් හැදෑරුවා. හැබැයි මගේ අම්මා කලාවට හරිම ආදරේ කරන කෙනෙක්. මාව රංගන ශිල්පිනියක් කරවන්න අම්මට ලොකු ආසාවක් තිබුණා... මේ අද යම්තාක් දුරකට හෝ හැබෑවෙලා තිබෙන්නේ අම්මාගේ ඒ හීනයයි.
• පෝෂිණී පාසැල් අධ්‍යාපනය හැදෑරුවේ කොහේද?
මම මුලින්ම ගියේ රද්දොළුගම ශ්‍රී පඤ්ඤාලෝක ජාතික පාසැලටයි. උසස්පෙළ හැදෑරීමට මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසැලට ඇතුළත් වුණා. මම උසස්පෙළ කලා අංශයෙන් පෙනී සිටියා. නමුත් විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. පාසැල් අධ්‍යාපනයෙන් පසුව අම්මගේ ආසාව නිසාම මට රංගනයට එකතුවෙන්න පුළුවන් වුණා.
• අද සකූගේ ලෝකය ටෙලිනාට්‍යයේ වාසනා වුණාට මේ කලාවට සම්බන්ධ වෙන්න පෝෂිණීගේ වාසනාවත් බලපෑව කියල ඔයා විශ්වාස කරනවාද?
ඔව්... යම්තාක් දුරකට වාසනාවත් බලපාන්න ඇති. අපේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ අය නෙවේ. මේ ආපු ගමනේදී හිත් රිදීම් ඇතිවෙලා තියෙනවා. සමහර සම්මුඛ පරීක්ෂණවලට ගියාට පස්සේ මාව ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා. ඒ වගේ ප්‍රතික්ෂේප වුණු තැන්වලදී මටත් වඩා දුක්වුණේ මගේ අම්මයි. ඒ හිත් රිදුණ, කඩා වැටුණු හැම මොහොතකම මගේ අම්මා මාව දිරිමත් කළා. ඉස්සර මායි අම්මයි, බස්වල ගිහින් සම්මුඛ පරීක්ෂණ කීයකට නම් ගිහින් ඇත්ද? ඒ නිසාම අපේ ගෙදර පහසුවට අපේ අක්කා අපිට වාහනයක් තෑගි කළා. දැන් ඒ පහසුකම තිබුණත්, කලාවට තිබුණ ආසාව නිසාම මගේ අම්මා මාවත් එක්කගෙන බස්වලින් ගියපු කාලයක් තිබුණා.
• සකූගේ ලෝකය ටෙලිනාට්‍යයට පෙර පෝෂිණීට වෙනත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්... මුලින්ම මට වී. සිවදාසන් සර්ගේ පාටක් නැති ආදරයක් කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්ගේ හුස්ම වැටෙන මල් ටෙලිනාට්‍යයේ චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සුමිත් රෝහණ තිත්තවැල්ගල සර්ගේ පුංචි අන්දරේ චිත්‍රපටයේ අන්දරේගේ අක්කාගේ චරිතය රඟපාන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණ හරහා හොඳ අධ්‍යක්ෂවරු වගේම ප්‍රවීන රංගන ශිල්පි ශිල්පිනියන්ගේ ගුරුහරුකම්, ආශීර්වාදයන් මට ලැබුණා. ඒ හරහා සකූගේ ලෝකය ටෙලි නාට්‍යයේ වාසනාගේ චරිතය කරන්නත් මට අවස්ථාව ලැබුණා. මේ වෙද්දී කලාව තුළදී මට හොඳ පිරිසක් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. හොඳ ප්‍රවීණ නළු නිළියන්ගෙන් මට අවවාද, ආශීර්වාදයන් ලැබුණා.
• පෝෂිනීගේ ප්‍රථම ප්‍රේමය පාසැල් ප්‍රේමයක් කියලයි ආරංචිය?
ඔව්. ඒ මගේ ප්‍රථම ප්‍රේමය උසස් පෙළ පන්තිවලදී පටන්ගත්තු ආදරයක්. ඒක සුන්දර ප්‍රේමයක්. එයා වෙනත් පාසලක ඉගෙන ගත්තේ. කාලයකට පස්සේ ඒ ආදරය නතර කරන්න සිද්ධ වුණා.
• පෝෂිණීගේ ඊළඟ බලාපොරොත්තු මොනවාද?
හොඳ නිර්මාණවලට දායක වෙන්න ආසයි. වාසනා කියන්නේ මට ලොකු අභියෝගයක් වුණ චරිතයක්. ඒක මේ රටේ ප්‍රවීණ කලාකාරියක් කරපු චරිතයක්. ඉතින් ඒ චරිතය ආයෙත් මට කරන්න ලැබීමම අභියෝගයක්. ඒ වගේම වාසනා කියන්නේ දරුවා අහිමි වීමෙන් මානසිකව කඩාවැටුණු මවකගේ චරිතයක්. මානසිකව බිංදුවටම වැටිච්චි ඒ චරිතය කිරීමත් මට අභියෝගයක් වුණා. ඉතින් එවැනි විවිධ චරිත කරන්න ආසයි. කවදාහරි දවසක එවැනි චරිත ඔස්සේ සම්මායක් ලබාගන්නට හරිම ආසාවෙන් ඉන්නේ.
යුද්ධ කාලේ මම යුද්දෙටත් ගියා - උදය
උදය ශ්‍රී බණ්ඩාරනායක
• උදය... ඔයා රංගන ශිල්පියෙක් වෙන්නේ අහම්බෙන්. වෘත්තියෙන් ඔයා කවුද?
වෘත්තියෙන් මම පොලිස් නිලධාරියෙක්. පුංචි කාලේ ඉඳන්ම රංගනයට දායකවෙන්න මට හීනයක් තිබුණා. මට තාම මතකයි ඒ හීනය මට ඇතිවුණේ රොෂාන් රවීන්ද්‍ර රංගනවේදියාගේ පින්තූරයක් පත්තරේ පළවෙලා තිබෙනවා දැකපු දවසෙයි. ඒ පින්තූරය නිසාම මම ඔහුගේ රංගනය පිළිබඳව අධ්‍යයනය කළා. ඒ කාලේ ඔහු රඟපෑ සඳගිනිගත් රාත්‍රිය කියන නාට්‍යය මම හරිම ආසාවෙන් බැලුවා. එතැන් සිට රංගනයට මම හරියට ආස කළා. කොහොම හරි ඔය හීනයත් හිතේ ගියාගෙන මම පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්න සිදුවුණා.
• ඒ කොයි කාලේදීද?
මම පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ 2009 අවුරුද්දෙයි. පාසැලෙන් අයින් වුණාට පසුව මම විවිධ රුකියාවල් කළා. හොටෙල් ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ යම් යම් වැඩ ටිකක් කළා. ඔය අතරේ මගේ සෝමරත්න නම් ගුරුතුමා මගේ මල්ලි පොලිසියේ ඉන්නේ. ඔයත් පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්න යැයි උපදෙසක් ලබලා දුන්නා. ඒ නිසා මගේ හිතෙත් පොලිසියට එකතුවෙන ආකල්පය ඇතිවුණා.
• පොලිසියට සම්බන්ධ වීම ගැන දෙමව්පියන්ගෙත් කැමැත්තක් තිබුණාද?
පොලිස් දෙපාර්තමේන්තුව ගැන ඔවුන් තුළත් හොඳ ආකල්පයක් තිබුණා. මුලදී ඒ අය කැමැති වුණා. නමුත් ඒ යුද්ධය අවසන් කාලයයි. යුද්ධයේ උපරිම කාලයයි. ඒ නිසා පොඩි අකැමැත්තකුත් තිබුණා. නමුත් අපි උපදිනකොට මරණය ගෙනැල්ලමයි තියෙන්නේ. ඕන දේකට ඔරොත්තු දෙන්න හිත හදාගෙන මම පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණා.
• මුල්ම පත්වීම ලැබුණේ කොහාටද?
මුල්ම පත්වීම ලැබුණේ මඩකලපුවටයි. ඒක හරිම අසීරුම කාලයක්. යුද්ධයේ අවසන් කාලය හරිම දුෂ්කරයි. පොලිස් නිලධාරියෙක් වුණාට හමුදා සොල්දාදුවෙක්ගේ රාජකාරියම අපිට කරන්න සිද්ධ වුණා. ටී. පනස්හය අරගෙන දහදෙනකුගේ කණ්ඩායම් හදාගෙන කරපු රාජකාරිය හරි දුෂ්කරයි. මම බණ්ඩාරවෙල හැදුණු වැඩුණු කෙනෙක්. බණ්ඩාරවෙල කෙනෙකුට මඩකලපුව වැනි ඉතා රස්නේ පළාතක රාජකාරිය කරද්දී මුල් කාලයේදී හරි අමාරු වුණා. ඒක වෙනස්ම ජීවිතයක්. ඒ කිවුල් වතුර නිසා මුත්‍රා අමාරු පවා අපිට ඇතිවුණා. ඒ පැත්තේ අවුරුදු තුනක් මම සේවය කළා.
• පොලිස් නිලධාරියකු වුණු උදය සකූගේ ලෝකය හරහාත් නිරූපණය කරන්නේ පොලිස් නිලධාරියකුගේ චරිතයක්?
ඔව්.... සකූගේ ලෝකය නාට්‍යය මට අභියෝගයක් වුණා. නමුත් ඒක මට හුරු පුරුදු චරිතයක්. වසර ගණනාවක් තිස්සේ කරපු රාජාකාරි චරිතයක් නිසා ඒ හැසිරීම මට හුරුයි. මම දැකලා තියෙනවා. ඒ චරිතය කරන්න ප්‍රියන්ත කොළඹගේ මහතාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තටම ඒක අභියෝගයක්. මගේ අඩුපාඩු ඇති. ඉදිරියේදී ඒ අඩුපාඩුත් හදාගෙන මම පුළුවන් උපරිමයෙන් ඒ නිර්මාණයට දායක වෙනවා.
• රංගනයට අමතරව උදය නිරුපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ කෙනෙක්? එහෙම නේද?
ඔව්... මම පොඩි කාලේ ඉඳන්ම ලස්සනට අඳින්න, ලස්සනට කොණ්ඩය පීරන්න ආස කෙනෙක්. 2014 අවුරුද්දේ මම රොසෑන් ඩයස් මහත්මියගේ නිරෑපණය සම්බන්ධ ඇකඩමියට සම්බන්ධ වුණා. මාස හයක් මම ඒ සම්බන්ධව ඉගෙන ගත්තා. ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ නාමයන් කිහිපයකට මම නිරූපණයෙන් සම්බන්ධ වුණා. 2016 Mr. Sri Lanka ලෙසින් මම ඉන්දුනීසියාවේ පැවැති තරඟයකින් රටවල් හතලිස් අටකින් අන්තිම රටවල් විස්ස දක්වා තේරුණා. පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ තරඟය මට ලොකු අභියෝගයක් වුණා.
► දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ