2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

මල් සුවඳ පර්ෆියුම්වලට මම හරිම ආසයි

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

කොවිඩ් කාලයේදී අනුරාධාගේ වැඩිපුරම හිත ගියේ මොනවටද?

කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ මගේ ශරීර සුවතාවය ගැන හිතන්න. පසුගිය කාලවලදී මම ටිකක් මහත්වෙලා කියලා මාව දන්න කියන අය කියන්න පටන් ගත්තා. මටත් ඒක පොඩ්ඩක් දැනුණා. ඒ මහත්වීම අඩුකරගන්න හොඳම කාලය මේ විවේකීව ඉන්න කාලය කියලා මට හිතුණා. ඉතින් මේ කාලයේදී හොඳ විවේකයක් ලැබුණා. හැමදාම මම කෑම පාලනයකුත් එක්ක ව්‍යායාම් කරන්න පටන් ගත්තා. ඒ උත්සාහයත් එක්ක කිලෝ දහ තුනක් ඇඟ අඩුකරගන්න මට පුළුවන් වුණා. ඉතින් මම ගැන හිතන්න හොඳම කාලය විදිහට ගෙවුණු ඒ කාලය මම හඳුන්වනවා.

ජීවිතේ ආයෙමත් අහන්න ආසා කරන ගීතය?

එහෙම අහන්න ආසා කරන ගීත කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන %සිනා තොටක් විය ඔබ පාමුල^ ගීතය අහන්න මම හරි ආසයි. අපොස උසස් පෙළට සිංහල විෂය හදාරමින් ඉද්දි උපුල් ශාන්ත සන්නස්ගල ගුරැතුමාගේ පිහිටෙන් ගීතවල තේරැමත් සමඟ නියම රසයක් විඳින්න හැකියාව ලැබුණා. ඒ කාල වකවානුවේදීම තමයි නිරෝෂා අක්කාගේ මේ ගීතය එළිදැක්වු‍ණේ. ඒ ගීතයේ නියම තේරැමත් එක්ක ගීතය විඳින්න මට පුළුවන් වුණා. ඒ නිසා තාමත් ඒ ගීතය අහන්න ගොඩක් ආසයි.

යාළුවන් එක්ක කතා කරන්න ආසා කරන මාතෘකාව මොකක්ද?

යාළුවන්ව මුණගැහුණාම වැඩිපුරම යන්න ආසා තැන් ගැන, ඇඳුම් ගැන, විලාසිතා ගැන, ආසා කරන කෑම බීම ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ.

පුංචි කාලෙට යන්න ඇත්නම් යන්න ආසා කරන්නේ මොන කාලෙටද?

මම ජීවිතේ ආපස්සට යන්න තියෙනවානම් උසස් පෙළ කරලා ඉවරවෙලා සුනිල් තල්ගහගොඩ ගුරැ මහතාගේ නර්තන කණ්ඩායමට සම්බන්ධවෙලා නර්තනය කරපු කාලෙට යන්න ආසයි. ඒ ආයතනයේ මම ගුරැවරියක් විදිහටත් කටයුතු කළා. ඒ කාලේ එළිමහන් සංගීත ප්‍රසංග, රෑපවාහිනී වැඩසටහන් බොහොමයක් තිබුණා. අපි ඒ කාලේ හැමදාම පුහුණුවීම් කළා. ප්‍රසංගවලට ගියා. හරිම විනෝදයෙන් සතුටින් හිටපු කාලයක්. අවුරැදු අටක් වැනි කාලයක් මම නිත්‍ය නර්තන ශිල්පිනියක් විදිහට ඒ කණ්ඩායමේ කටයුතු කළා. අදටත් මම ඒ කාලෙට ගොඩක් කැමතියි.

වැඩිපුරම ආසාවෙන් කරපු සෙල්ලම මොකක්ද?

ඇත්තටම ඒක සෙල්ලමක් කියලා කියන්නත් බැහැ. මම පාසලේ පහ වසර, හය වසර ඉගෙන ගන්න කාලෙදි ජාතික රෑපවාහිනියේ %රොබින් හුඩ්^ මුල්වරට විකාශය වුණා. ඒ කාලේ අපි ඒ චරිතවලට, ඒ කතාවට පුදුම විදිහට ආසා කළා. මට තව හොඳම යාළුවෝ හය දෙනෙක් හිටියා. අපි සතියෙන් සතියට රොබින් හුඩ් එකේ එන විවිධ චරිතවලින් ඒ සතිය තුළ ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. එක සතියක මම රොබින් හුඩ් වුණා. තව සතියක මැරියන් වුණා. ගිස්බන් වුණා. ටක් වුණා. ඒ වගේ චරිතත් එක්ක අපි හරි ලස්සන සෙල්ලමක් කළා. ඒ මතකය හරි සුන්දරයි.

අනුරාධාගේ ආසම වාහනය?

ඇත්තම කියන්නද? මට වාහන සම්බන්ධවනම් ලොකු අවබෝධයක් නැහැ. හැබැයි ජීප් වර්ගයේ වාහනවලට මම හරි ආසයි. ඒ වගේ කළු පැහැති වාහනවලට මම හරි ආසයි.

කැමතිම පර්ෆියුම් එක?

පර්ෆියුම්වලදී විශේෂයෙන්ම කැමති වුණු බෑන්ඩ් එකක් මට නැහැ. හැබැයි මල් සුවඳ පර්ෆියුම්වලට තමයි මම වඩාත් කැමති. ඒ අතරින් සමන්පිච්ච පර්ෆියුම් එකටනම් මම හරි කැමතියි.

අනුරාධා ලංකාවේ යන්න ආසම තැන කොහේද?

ලංකාවේ මම නුවරඑළියට යන්න හරි කැමතියි. ඒ සුන්දර පරිසරයට, දහවලේ මීදුමත් එක්ක රාත්‍රියේදී එන සීතලට මම හරි කැමතියි. ඒ වගේම ග්‍රෙගරි වැව වටේ ඇවිදගෙන යන්න හරි ආසයි

ඇවිදින්න ආසා කරන රට?

මම සංචාරය කරන්න ආසයි. රටවල්වලට ආවේණික වුණු කෑම බීම, ඒ විශේෂ තැන් බලන්න, ඒ අත්දැකීම ලබන්න ආසයි. හැබැයි එහෙම යන්න ආසා කරන විශේෂිත රටක් නැහැ.

අනුරාධා කෙනෙකුට තෑග්ගක් දෙන්න තෝරද්දි හිත යන්නෙ මොනවටද?

තෑගි තෝරද්දිනම් මම ගොඩක් සැලකිලිමත් වෙනවා. සමහර විට මම කැමති දේ ඒ තෑගි ලබන කෙනා අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ තෑගි දෙන කෙනා මම දන්න කියන, ආශ්‍රය කරන කෙනෙක්නම් එයාගේ සිතුම් පැතුම් මම දන්න නිසා එයාව සතුටු කරන්න පුළුවන්, එයා ආසා කරන දෙයක් අරගෙන දෙනවා. එහෙම නැත්නම් තෑගි දෙන කෙනා ගැන මට ලොකු අවබෝධයක් නැතිනම් මම එයාට ගිෆ්ට් වවුචරයක් අරගෙන දෙනවා.

කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවානම් ඔයා ආසා කරන්නෙ?

මම ඇඳුම්වලට, හෑන්ඩ් බෑග්, සපත්තු, ජුවලරිවලට හරි ආසයි. මගේ සල්ලිවලිනුත් මම වැඩිපුරම වියදම් කරන්නේ ඒවාටම තමයි.

කොච්චර කෑවත් බිව්වත් එපා වෙන්නෙ නැති කෑම බීම?

මම කජු කන්නනම් හරි ආසයි. ඒ වගේම ෆලූඩා බොන්නත් හරි ආසයි.

අනුරාධා උදයංගනී කියන කෙනා ජීවත් වෙන්න කැමති?

මම බොහොම සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ සතුට මට හරියට වටිනවා. බොහොම නිදහස් කෙනෙක් හැටියට, සරලව, සතුටින් කාටවත් කරදරයක් නැති කෙනෙක් විදිහට හැමදාමත් ජීවත් වෙන්න ආසයි.

 දිශානි