2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

අදහගන්න බැරි මිනිසුන් හමුවෙන්න !

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 43

අපේ පැංචෝ පැංචියෝ දන්නවද අල්ලාප සල්ලාප ගැන.  ඔන්න ඉතින් අද කතාව Digital ලෝකේ අල්ලාප සල්ලාප වෙනුවෙන් හැදුණු අලුත්ම නිර්මාණය වුණ අවකාශය ගැන. මේක අලුතෙන්ම අලුත්ම Social Media App එකක්. ලංකාවේ ඇතුළේ මේ දවස්වල මේ App එක නිසා චූටි කල්ට් එකකුත් හදිලා. සමහරු දන්නවා ඇති, සමහරු යාන්තම් අහලා ඇති. නොදන්න අය ගොඩක් අය ඇති. ඒ සීන් අපි කතාව ගලපන්නම් සුදාලා වෙනුවෙන් කොණක ඉඳලා.

මේක සෝෂල් මීඩියා ඇප්ලිකේෂන් එකක් විදිහට ඔයාලගේ Mobile එකට දාගන්න පුළුවන් ඇප් එකක් බ්‍රෝ. නම තියෙන්නේ Clubhouse කියලා. නම ඇහුවාම පොඩ්ඩක් වැඩේ තේරෙන්න ඕනෑ හරිය. සීන් එක පැහැදිලි කරොත්, සුදාලා Group Call එක්ක Zoom Meeting එකක ෆීලින් එක මතක් කරගන කෝ. මේක ඊට වඩා Classic හරිද මචෝ. මෙතන දී Live Voice එකෙන් තමා කට්ටිය ගනුදෙනු කරන්නේ. එක එක Clubs තියෙනවා. ඒ වලින් Rooms ඔර්ගනයිස් කරනවා. එක මාතෘකාවලට. අපිට ඒ වලට යන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. නිකන් හරියට Radio එකක Program එකක් ඇතුළේ ඔයා ඉන්නවා වගේ. මගෙ මචෝ ඔයිට වඩා සරලව නම් මේ සීන් කෝන් එක පැහැදිලි කරන්න බෑ. ඉතින් Clubhouse කියන්නේ ඔන්න ඔය වගේ තැනක්.

දැන් අපේ සෙටාර් එක කියයි. අයියෝ ඔය වගේ Application කොච්චර තියෙනවාද? ප්‍රධන Social Media Platforms වල ඔය වගේ කතා කරන්න චාන්ස් එක දීලා තියෙනවානේ කියලා. හෝව් හෝව් අපි ප්‍රශ්නයක් අහන්නද ඒ වගේ ලංකාවේ කොච්චර කට්ටියක් ඉන්නවාද? ලංකාවේ කොච්චර තියෙනවාද? මචෝ හරිම අඩුයි. ඇත්තේම නැති තරම්. අන්න ඒක නිසා තමා Clubhouse එක අපිට වැදගත් වෙන්නේ. මේකේ ලංකාවේ අය සැලකිය යුතු පිරිසක් ඉන්නවා. විවිධ වෘත්තිකයෝ ඉන්නවා. අදහස්, දැනුම, මතවාද බෙදාගන්නවා. විනෝදාස්වාදය අඩුවක් නෑ. ඕනෑම කෙනෙක්ට අලුතින් එන්න පුළුවන් සීන් එකට. ඇත්තම කියනවා නම් මේ වෙනකොට Clubhouse උප සංස්කෘතියක් නිර්මාණය වෙමින් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් සුදෝ.
ලංකාවේ සීන් එක පොඩ්ඩකට නතර කරලා. අපි බලමු ලෝක මට්ටමෙන් Clubhouse කියන්නේ මොකක්ද කියලා. ක්ලබ්හවුස් මුලින්ම එන්නේ ඇපල් දුරකථන වලට. 2019 දී පෝල් ඩේවිඩ්සන් සහ රොහාන් සෙත් කියන දෙන්නා podcasts එකක් හදන්න යාමේ ප්‍රතිඵල තමා මේක. කොහොමහරි 2020 දී මේගොල්ලෝ මේක iOS මෙහෙයුම් පද්ධතිය වෙත හඳුන්වා දෙනවා. මිනිස්සු කොවිඩ් එකත් එක්ක ගෙවල්වලට වෙලා හිටපු නිසා සීන් එක වේගයෙන් ව්‍යාප්ත වෙනවා. වැඩේට ඩොලර් මිලියන ගණනින් ආයෝජන ගලාගෙන එනවා. 2021 වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් වලටත් Clubhouse එක හඳුන්වා දෙනවා. නොමිලේ භාගත කරන්න අවස්ථාවක් දෙනවා. මේක 12+ ඇප් එකක්.

එතකොට මචෝ දැන් මේක මව් සමාගම විසින් හඳුන්වන්නේ The Social Audio App කියලා. &අන්තර්ජාල කොරිඩෝව දිගේ ඇවිද ගොස් ඇදහිය නොහැකි මිනිසුන් හමුවන්න* ඒක තමා මෙයාලාගේ තේමා පාඨය. මොකක්ද මේ ඇදහිය නොහැකි මිනිසුන්ගේ කතාව කියලා සුදාල බලනවා ඇති. ඒක මෙහෙමයි අපි කවුරුත් ආදරය කරන සුපිරි චරිත ඉන්නවානේ. නළුවෝ ගායකයෝ විතරක් නෙවෙයි ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ. අපි අනුගමනය කරන අය. එහෙම චරිත මේ වෙනකොට Facebook එකේ Twitter එකේ Instagram එකේ අපි දකිනවා. ඒත් මුළු ජීවිතේටම අපිට ඒගොල්ලොත් එක්ක කතාකරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. වැඩේ කියන්නේ සමහරවිට ඔයාලට Clubhouse එකේ Room එකේදී ඒ චරිතයත් එක්ක කතා කරන්න අදහස් බෙදාගන්න ඔයාලාට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.

ජර්මනිය වගේ රටවල්වල Clubhouse  ජනප්‍රිය වෙන්න හේතු වුණේ ඒකට මාධ්‍යවේදීන් සහ දේශපාලකයින්ගේ පැමිණීම. ලංකාවෙත් මේ වෙද්දී ජනප්‍රිය චරිත ටිකක් Clubhouse පැත්තට ගොඩ වෙනවා අපිට නිරීක්ෂණය වුණා මචෝ. ඔන්න අපි ආයෙ ලංකාව පැත්තට එනවා. ලංකාවේ සමහරු Clubhouse පාවිච්චි කරන්න ඉංග්‍රීසි හදාගන්න. පිටරට Room වලට ගිහිල්ලා කතා කරන්න. ලංකාවේ අයටත් ඉංග්‍රීසි හදාගන්න උදව් කරන Clubs තියෙනවා. තව සමහරු පාළු යන්න එක්ක කයියක් ගහන්න Clubhouse පාවිච්චි කරනවා. දැනුම බෙදාගන්න මතවාද කියන්නත් ලංකාවේ මේක පාවිච්චි වෙනවා. Clubhouse එක ඇතුළේ ජනප්‍රිය වෙච්ච චරිතත් මේ වෙනකොට ඉන්නවා. නම නිසා පොඩි අධිකාරී බලයක් වගේ එකකුත් එයාලට තියෙනවා.
තමන්ගේ දැනුමෙන් තමන් පොරක් කියලා පෙන්නන්න හදන අයත් නැත්තේම නෑ. ඒ වගේම දැනුම නිසා ඉබේට පොරක් වෙන, අනික් අය ආසාවෙන් ඇහුම්කන් දෙන චරිතත් ඉන්නවා. මේක ඇතුළේ වෙන හොඳ සංවාද ගැන පොඩ්ඩක් කතා කළොත් උදාහරණ ටිකක් දෙන්න පුළුවන්. කාලීන දේශපාලන සංවාද, පෝෂණ සෞඛ්‍ය පිළිබඳ සංවාද, විදෙස් දේශපාලන පිළිබඳ සංවාද, දරුවන් පිළිබඳ, ලිංගිකත්වය පිළිබඳ, සිනමාව පිළිබඳ ඔය වගේ ගොඩක් කියන්න පුළුවන්. මේවාට අමතරව විනෝදාස්වාදය ගත්තම කවි ගී විචාර, ගායනා තරග වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඇත්තටම මේක අමුතු තැනක්.

මේකේ ඇතුළු අයහපත් දේවල් නෑ කියලා අපි කියන්නේ නෑ මචෝ. හැබැයි මේ ආරම්භය විතරයි. අනාගතයේදී Clubhouse එකත් කොයි වගේ තැනකට ගමන් කරයිද කියලා අපි දන්නේ නෑ. ගතවුණු මාසයක වගේ කාලය තුළ ලංකාවේ විශාල පිරිසක් මේකට සම්බන්ධ වුණා. මුලදී තිබුණු සුහද සංවාද දැන් ටිකක් වෘත්තිය මට්ටමේ තැනකට ගිහිල්ලා. ආයතනයක් විදිහට ගත්තම මේක මව් සමාගම මුදල් ඉපයීම සම්බන්ධ දේවලුත් කරමින් ඉන්නවා. ඒ වගේම සමහරු Clubhouse ඒක ඇතුළේ දේවල් විකුණමිනුත් ඉන්නවා. App එක ගැන හොඳ වගේම නරක ආරංචි පැතිරෙනවා.

ඔන්න අපි අපේ සුදාලාට Clubhouse එකට යන්න කියලාවත්, එපා කියලවත් කියන්නේ නම් නෑ. කොහොම වුණත් මේක අලුත් අත්දැකීමක්. අදහස් සිතුවිලි අහන් ඉන්න බෙදාගන්න පුළුවන් අවකාශයක්. අධ්‍යාපනික වටිනාකමක් නැත්තෙමත් නෑ. ඒ වුණත් ආයෙත් කියනවා මේක තියෙන්නේ ආරම්භක අවස්ථාවේ. අනාගතයේ මොනවා වෙයිද දන්නේ නෑ. ඇතුළට ගියොතින් ඇබ්බැහියක් වෙන්නත් පුළුවන්. ආ අමතක වුණා. ඩේටා නම් ටිකක් කැපෙනවා. මේ විස්තර දැනගෙන කැමැති කෙනෙක් ඕනනම් ගිහිල්ලා බලල එන්න. අකමැති අය අයින්වෙලා පයින් යන්න. එහෙනම් මචෝ ලබන සතියේ තව Y Trend එකකින් හම්බවෙමු.