2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

බොලිවුඩයේ අම්මලා තාත්තලා පැංචන්ට නම් තියන හැටි...

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 09:58 47

සීයා හෝ පියාව අනුගමනය කරමින් බොලිවුඩ් සිනමාව තම වෘත්තිය බවට පත් කරගත්ත බොලිවුඩ් සිනමාවේදීන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම තම පියාගේ හෝ සීයාගේ නම තම දරුවන්ගේ නම් වශයෙන්ද ඔවුන් තෝරාගෙන තියෙනවා. අද මේ ලිපියෙන් ඒ වගේ සිනමාවේදීන් ගැන ඔබට දැනගන්න පුළුවන් වෙනවා. 

• කරන් ජොහාර්

ජනප‍්‍රිය නිෂ්පාදක, අධ්‍යක්ෂක, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ නළුවෙක් වන කරන් ජොහාර් හදා වඩා ගැනීමට ගත් දරුවන්හට තම දෙමාපියන්ගේ නම් ලබා දී තියෙනවා. කරන් ජොහාර් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ඔහු ඔවුන්ට රෑහි ජොහාර් සහ යශ් ජොහාර් යනුවෙන් නම් තබා ඇත. කරන් ජොහාර්ගේ මවගේ නම හිරෑ ජොහාර් වන අතර කරන් තම දියණියට මවගේ නම මඳක් වෙනස්කොට රෑහි ජොහාර් ලෙසින් නම් තබා තියෙනවා. ඔහු තම මියගිය පියාණන්ගේ නාමය යශ් ජොහාර්ගේ නම තම පුතණුවන්ට එලෙසින්ම තබා ඇත.

• රන්බීර් කපූර්

රන්බීර් කපූර් ඉපදීමට පෙර ජනප‍්‍රිය නළුවෙක් වූ රාජ් කපූර්ට සීයා ලෙසින් ඇමතීම සඳහා ඔහුට කිසිම මුනුබුරෙකු සිටියේ නොමැති අතර රිෂී කපූර් සහ නීතු කපූර්ගේ පුතණුවන් ලෙසින් රන්බීර්ගේ ඉපදීමත් සමඟ එය කපූර් පවුලේ සියල්ලන්ටම සතුටට කරුණක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රාජ් කපූර් තම පවුලට මුනුබුරෙකු ලැබීම ගැන බොහෝ සතුටට පත්ව තිබෙන අතර රන්බීර්ගේ සීයා වන රාජ් කපූර්ගේ නම රන්බීර්ට තබා තියෙනවා. රාජ් කපූර්ගේ සත්‍ය නම බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඔහුගේ නියම නම රන්බීර් රාජ් කපූර් වූ අතර ඔහුගේ මුණුබුරාට එම නම ලැබී ඇත.

• කරිෂ්මා කපූර්

කපූර් පවුලේ මේ සාම්ප‍්‍රදාය කරිෂ්මා කපූර් විසින්ද පවත්වාගෙන යමින් ඇය තම පුතණුවන්ට රාජ් කපූර් යන නම තබා තියෙනවා. කරිෂ්මා කපූර්ගේ පුතණුවන් කියන ලෙසින් බොහෝ දෙනෙක් දැන සිටියද ඔහුගේ සම්පූර්ණ නම වනුයේ කියාන් රාජ් කපූර් කියාය. කරිෂ්මා තම සීයාට තම සිතෙහි ඇති ආදරය භක්තිය සහ ගෞරවය දැක්වීම සඳහා තම සීයාගේ නම තම පුතාට තබා ඇති අතර කියාන්ද කඩවසම් අයෙක් වන අතර ඔහුද තම පවුලේ නාමය ආලෝකවත් කිරීම සඳහා රංගනය වෘත්තියක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කල් ගෙවනවා.

• ඒක්තා කපූර්

ජනප‍්‍රිය නළු නිළි යුවළක් වන ජීතේන්ද්‍ර සහ ශෝභා කපූර්ගේ දියණිය වන ටීවී රුජිණිය ලෙසින් ජනප්‍රියත්වයට පත්ව සිටින කුඩා තිරය සහ සිනමා තිරය දෙකම එක ලෙසින් ජයගෙන සිටින ඒක්තා කපූර් කියන්නේ සුන්දර පුතෙකුගේ මවක්. ඒක්තා කපූර් කුලියට ගත් ගර්භාෂයක් හරහා මෙම පුතනුවන් මෙලොවට බිහිකරගත් අතර ඇය ඔහුව තම පියාණන් ජීතේන්ද්‍රගේ නමින් රවී කපූර් ලෙසින් නම් කළේය. ජීතේන්ද්‍රගේ නියම නම රවී කපූර් වන අතර ඒක්තා කපූර් තම පියාණන්ගේ නියම නම තම පුතණුවන්ට ලබාදී ඇත.

• බොබී ඩියෝල්

බොබී ඩියොල්ගේ පළමු පුතණුවන් මෙලොව එළිය දුටු පසු බොබී ඩියොල් තම පියාණන් වන ධර්මේන්ද්‍රගේ සැබෑ නාමය වන ධරම් සිං ඩියොල්ගේ නම තම පුතණුවන්ට තැබීමට තීරණය කළද, ඔහුගේ පවුලේ අයගේ විරෝධය හේතුවෙන් ඔහු තම වැඩිමහල් පුතණුවන්ට ආර්යමාන් ඩියොල් ලෙසින් නම් තබනවා. එහෙත් ඔහුගේ නිවසෙහි තවත් පුතෙකු ජන්මය ලද අතර ඔහු තම බාල පුතනුවන්ට තම පියා ධර්මේන්ද්‍රගේ සැබෑ නාමය වන ධරම් සිං ඩියොල් යන නම තබා ඇත.