2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

එහෙම ගමන් යද්දී කුණුහරුපයක්වත් කියන්න බෑ

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 09:59 53

සංගීත්.. මේ දවස්වල තොරතුරු එහෙම කොහොමද?

මේ දවස්වල විස්තරේ තමයි නාඩගම්කාරයෝ, පෝක් වීදිය, සකුණ පියාපත් නාට්‍යවල රෑගත කිරීම් එක්ක පරිස්සමට ජීවත් වෙනවා.

සංගීත්.. ඔබ Travel කරන්න කැමති කෙනෙක්ද?

ඔව්. අනිවාර් යෙන්. හැබැයි මම හැමතැනම Travel කරන්න කැමති නෑ. ගස් කොළන් පිරුණු නිදහසේ හුස්මක් ගන්න පුළුවන් තැන්වල ඇවිදින්න තමයි මම ආසා කරන්නෙ.

ඔබ ඇවිදින එක කුඩා කාලයේ සිටම කරන දෙයක්ද?

අපේ අම්මා ගොඩක් වෙලාවට විනෝද සංචාරවල නිරතවෙන කෙනෙක්. එයා යන ගොඩක් තැන්වල අපිවත් එක්කගෙන ගියා. ඒ නිසා මම කුඩා කාලයේ සිටම ඇවිදින එක කළා.

මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවද?

මගේ හිතට හොඳටම දැනිච්ච තැනක් තමයි අපේ ගම බදුල්ල ලුණුගල ගමන. ඒක මට Travel එකකට වඩා එහා ගියපු දෙයක්. හරියට ඉඳලා ඉඳලා ගෙදර යනවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නෙ.

අපි කැමතියි දැනගන්න ඔබේ ගම ගැන විස්තර ටිකක්?

ඇත්තටම මම හැදුණේ වැඩුණේ අනුරාධපුරයේ. අනුරාධපුරය වගේ පරිසරයක ඉඳලා බදුල්ල වගේ පැත්තකට යනකොට අමුතුම හැඟීමක් දැනෙනවා. ඒ වගේම අපිට නිදහස අඩුවෙන්න ලොකුම හේතුවක් තමයි අපේ ජංගම දුරකථනය. අපේ ගමේ ගෙවල් තියෙන හරියට සිග්නල්වත් නෑ. සමහර වෙලාවට ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි එහේ ගිහිල්ලා වතුර කෝප්පයක් බිව්වත් ඒකෙත් වෙනම රහක් තියෙන්නේ. මම හිතන්නේ ඔය දේවල් නිසා වෙන්න ඇති මම බදුල්ලට එච්චර කැමති.

සංගීත්.. ඔබ ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඔබ ඒ කාර්යබහුලත්වයත් සමඟ කොහොමද Travel කරන්න වෙලාවක් වෙන්කරවා ගන්නෙ?

මේ දවස්වලනම් මම කිසිම තැනක ගියේ නෑ. ඇත්තටම කිව්වොත් මට මගේ ගෙදරටත් යන්න බැරි වුණා. ඒ මේ රටේ පවතින කොරෝනා ප්‍රශ්න නිසා. හැබැයි මේ ප්‍රශ්නවලට කලින් නම් මම කොච්චර කාර්යබහුල වුණත් මගේ වැඩ කටයුතුවලට බාධා නොවන විදිහට Travel කරන්න කාලය සාදා ගන්නවා. විශේෂයෙන්ම ඇවිදින්න කියලා වෙනම කාලයක් වෙන්කර ගන්නෙ නෑ.

ඔබ ඇවිදින්න කැමති කාත් සමඟද?

ගොඩක් වෙලාවට මම පවුලේ අය සමඟ තමයි ඇවිදින්න යන්නේ. එහෙමත් නැත්නම් යාළුවොත් සමඟයි.

ඔබ වැඩිපුර කැමති යාළුවෝ සමඟ Travel කරන්නද? පවුලේ අය සමඟ Travel කරන්නද?

අම්මලා එක්ක යන ගමනකදි හරිම සංවරව තමයි යන්නේ. ඒ දේ අපේ විදිහට කිව්වොත් අඩු තරමේ (කුණුහරුපයක්වත්) කියන්න බෑ ගෙදර අය සමඟ යන ගමනකදි. හැබැයි ඒ කාටත් මම ගොඩක් ආසයි. ඒ වගේම යාළුවොත් සමඟ යන ගමනකදි තියෙන්නෙ වෙනමම ආතල් එකක්. ඒ දේ කොහොම කියන්නද කියලා මට තේරෙන්නෙ නෑ. කොහොම නමුත් මම ඒ දෙවිදියටම කැමතියි.

සංගීත්.. ඔබ විදෙස් සංචාරවල නිරතවෙලා තියෙනවද?

දැනටනම් මම කිසිම විදෙස් සංචාරයක නිරතවෙලා නෑ. හැබැයි මට විදෙස් සංචාර කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් අන්තිම මොහොතේ කුමක් හෝ වැඩක් නිසා ඒ අවස්ථා මඟහැරුණා. 2015 ඉඳන් 2021 කාලය තුළ එකදිගට ටෙලිනාට්‍ය කිහිපයකට වැඩවල රුඳිලා හිටපු නිසා බොහෝ සංචාර මට මඟහැරුණා. නමුත් මම ඉදිරියේදී කොහොම හරි විදෙස් සංචාරයක් යාමට බලාපොරොත්තු වෙනවා.

විදෙස් සංචාරයක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට ඔබ කැමති මොන වගේ රටක සංචාරය කරන්නද?

රටවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් වඩාත් කැමති එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලට.

සංගීත්.. ඔබ Travel කියන දේ දකින්නෙ කොහොමද?

මම Travel කියන දේ දකින්නෙ ජීවිතේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියලා ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා හොයන තැනක්.

ඔබ කවදාවත් නොගියපු හැබැයි කවදා හෝ යනවාමයි කියලා හිතාගෙන ඉන්න තැනක් තියෙනවද?

එක තැනක් තියෙනවා. මගේ යාළුවෝ පවා පුදුම වෙනවා මම එහේ ගිහිල්ලා නෑ කියපුවාම. ඒ තමයි සිරිපාදේ. මම ලංකාවේ ගොඩක් තැන්වල Travel කරලා තියෙනවා. නමුත් නොගියපු එකම තැන තමයි සිරිපාදේ කියන්නෙ. දැන් මේ රටේ පවතින තත්ත්වය හොඳ අතට පෙරළුණු ගමන් කොහොම හරි සිරිපාදේ යන්න තමයි බලාගෙන ඉන්නෙ.

සංගීත්.. ඔබ වගේ Travel කරන හෝ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට ඔබ මොන වගේ පණිවුඩයක්ද දෙන්නෙ?

මේ වෙලාවේ නම් මට කියන්න තියෙන්නේ රටේ පවතින කොරෝනා ප්‍රශ්නයත් එක්ක පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මේ කාලසීමාව තුළ Travel කියන දෙයට සීල් එක තියන්න කියන්න කියලයි කියන්නෙ. නැවතත් රට හොඳ අතට පත්වෙනකම් තමන් ආරක්ෂාකාරීව ඉන්න කියලයි කියන්නෙ තියෙන්නෙ. ඊට පස්සෙ අපිට කලින් හිටියා වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.