2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

සල්ලිකාරයන්ට අලුත්ම සෙල්ලමක්!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 380

පොඩි කාලේ බ්රූම් බ්රූම් ගාලා සෙල්ලම් කාර් පැදලා තියෙනවද? ඔන්න එහෙනම් අද සුදාලට ගැලපෙනම කතාව කියන්නම්. අද Y Trend එක සෙල්ලම් කාර් පිස්සුව ගැන. හැබැයි මේක පොඩි කාලේ තිබුණු පිස්සුවට වඩා වෙනස් එකක්. මේකට කතාව කියන්නේ RC ලෝකය කියලා. එහෙම කිව්වම එකපාරටම නොතේරෙන අය ඉන්නවා මචෝ. ඒ නිසා සරලව කිව්වොත් දුරස්ථපාලකයක් (Remote control) භාවිත කරලා සෙල්ලම් කාර්වලින් රේස් යන විනෝද ක්‍රීඩාවක් ගැන තමා අද කතාව. මේක ලෝකයේ ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ තියෙන විනෝදාංශයක්. ලංකාවෙත් මේ වෙද්දී ටිකක් පටන් අරන් තියෙනවා සුදෝ.

අපි වෙළඳපොළේ අදටත් දකිනවා පොඩි දරැවෝ පාවිච්චි කරන Remote Control වාහන තියෙනවා. පොඩි කාලේ මතක ඇති කෑලි හතරක් පහක් දාලා වැඩකරන Remote Cars ඔයාලා ළඟ තියෙන්න ඇති. ඒ කාලේ ඒක මහා ලොකු දෙයක්. සමහරක් වෙලාවට Remote ටිකක් තිබුණට ඒක සම්බන්ධ වෙලා තිබ්බේ වයර් එකකින්. හෝ හෝ ඉතින් පටලගන්න එපා මචෝ, මේ කතා කරන්නේ ඒවා ගැන නෙවෙයි. Hobby Great RC ගැන. මේ රිමෝට් වාහනවලට ඇත්ත වාහනවල තියෙන scales තියෙනවා. ඒක නම් එහෙම පිටින්ම පිස්සුවක්. ලෝකේ ජනප්‍රිය සුපිරි වාහනවල Model vehicle වගේ තමයි මේ වාහන. ඉතින් මචෝ මේ විනෝදාංශයට වයස් භේදයක් නෑ. ගොඩක් තරැණ අය තමයි මේකට යොමුවෙලා ඉන්නේ. මැදිවියේ ආයේ වගේම වයසක අයත් සැලකිය යුතු ප්‍රමාණයක් මේ සෙල්ලමට ආදරේ කරනවා. ඒක නිසයි අපි මුලින්ම කිව්වේ මේක ලෝකෙ තියෙන පිස්සුම පිස්සුම Y trend එකක් කියලා.

මෝටර් බයික්, කාර්, ජීප්, ට්‍රක් එතකොට  හෙලිකොප්ටර්, ගුවන් යානා, ජෙට් වගේ තව නැව් බෝට්ටු හැමදෙයක්ම මේ RC ලෝකේ තියෙනවා. ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් තියෙනවා මේ වාහන නිෂ්පාදන කරන. ලෝකෙ පුරා අනිත් රටවලත් සමාගම් තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ විනෝද ක්‍රීඩාවක් විදිහට ගත්තට මේක දැවැන්ත ව්‍යාපාරයක්. මේ සම්බන්ධව අන්තර්ජාලය වෙබ් අඩවි හිතාගන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ වාහන ගැන YouTube channel ගොඩක් තියෙනවා. ඒ නිසා Hobby Great RC කියන්නෙත් සුදෝ දැවැන්ත වපසරියක පැතිරුණ විනෝදාංශයක්. අපි ඒ ගැන චූටි චූටි දේවල් ටිකක් තමයි මේ කතා කරන්නේ.

යුරෝපයේ වගේ ජපානේත් මේක Hobby Great RC විනෝදාංශ හරිම ප්‍රසිද්ධයි. ලෝකේ වටේම RC Championship පැවැත්වෙනවා. ක්‍රීඩාවක් විදිහට වැඩේ මුලින් ආරම්භ වුණේ ජපානයේ. ඒ වගේම මේ වෙනකොටත් RC ලෝකේ කීර්තිමත්ම ධාවකයා ඉන්නෙ ජපානේ. Masami Hirosaka මේ ක්‍රීඩකයා. IFMAR World Championships 14 ක් දිනලා තියෙනවා. IFMAR කියන්නේ International Federation of Model Auto Racing කියන සංවිධානයට. 1979 දී පටන් ගත්ත මෙම සංවිධානය මේ වෙද්දී ලෝක ශූරතාව පැවැත්වීමේ ප්‍රමුඛයා වෙලා ඉන්නේ. තරග සඳහා නීතිරීති හදන්නෙත් මෙයාලම තමා මචෝ. ඒකනම් ඉතින් වෙනම කතාවක්. දැන්නම් ලෝකේ ලොකුම ප්‍රසිද්ධම ලෝක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ ජර්මනියේ. කියන්න අමතක වුණා Racing විතරක් නෙවෙයි වාහනවලින් Fight කරගන්න තරගත් තියෙනවා.

කොහොම වුණත් සුන්දරා මේක මිල අධික විනෝදාංශයක්. එහෙත් විනෝදෙට කළාට නූතන ලෝකයේ මේක වේගෙන් ජනප්‍රිය වන ක්‍රීඩාවක්. සාමාන්‍යයෙන් හොඳ Hobby Great RC Vehicle එකක් ගන්න ලංකාවේ මුදලින් අවම ලක්ෂ දෙක තුනක්වත් ඕනා. ඊට අමතරව මිලියන ගණන්වලටත් කැමති කට්ටියට අරගන්න RC වාහන තියෙනවා. සාමාන්‍ය වාහනවල වගේ මේ වාහනවලත් එක එක ශ්‍රේණි තියෙනවා. එතකොට මචෝ ඒවා අනුව කියන්න පුළුවන් වාහනයක් කොච්චර සුපිරිද කියලා. ඒ වගේම නිෂ්පාදන සමාගම් අනුවත් මේ වාහන වර්ග කරනවා.

අපි දන්නවා වාහනයක් අරගෙන සාමාන්‍යයෙන් මොඩිෆයි කරන පිස්සුවක් ලෝකය පුරාම තියෙනවා. අපි ඒ ගැන කාලෙකට කලින් ටිකක් කතාකළා සුදාලාට මතක ඇති. RC Field එකෙත් එහෙම තමයි. රෝද, ලයිට්, චැසිය විතරක් මෝටර්ස්, සස්පෙන්සර්ස්, බ්‍රේක් සිස්ටම් එතකොට ඔයිල් පවා මාරු කරන්න පුළුවන්. මේ වාහනවල හැම කොටසකටම වගේ පේටන් බලපත්‍රයක් තියෙනවා. ඒ නිසා Upgrade කිරීමක් කරද්දී පුංචි පුංචි කොටස්වලට වුණත් විශාල වියදමක් දරන්න වෙනවා. සමහර වෙලාවට පොඩියට වෙනුවට මේ වාහනයක් සෑහෙන්න බරයි. Upgrade කරද්දී සමහර වෙලාවට දෙතුන් ගුණයකින් වැඩි වෙනවා.

මේ වාහන විශාල ප්‍රමාණයක් තමන්ගේ එකතුවේ තියාගන්න එක මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් කට්ටියගෙන් ලොකු ආසාවක්. ඒ වගේ සුපිරි collection තියෙන කට්ටිය යූ ටියුබ් එකේ හරියට RC Legend ලා වගේ. එකතු කරලා, modification කරලා විකුණන එක ලංකාවේ පවා මේ වෙලාවේ සිද්ධවෙනවා. විශේෂයෙන්ම මේකෙ වැඩිපුරම ජනප්‍රිය off-road වාහන. ඒක රේසින්වලම තව එක පැත්තක්.

ඉතිං මචෝ මේකට වයස අදාළම නැති ක්‍රීඩාවක් විනෝදාංශයක්. ලෝකෙම ජනප්‍රියයි ලංකාවෙ පොඩ්ඩක් තියෙනවා. RC Collection තියෙන කට්ටිය කිහිපදෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම ආනයනකරු මේවා වැඩි දියුණුකරලා විකුණන අය අපේ රටෙත් ඉන්නවා. කොහොම වුණත් ඇති හැකි අයට තමා මේක වැඩිපුර සෙට්වෙලා තියෙන්නේ. ඒ නිසාම ලංකාවේ මේ සම්බන්ධ වූ සුපිරි ජනප්‍රියත්වයක් තාම නෑ. මේ දවස්වල හිමිහිට ට්‍රෙන්ඩ් වෙන්න පටන් අරන් තියෙනවා. ඔන්න එහෙනම් සුදාලාට අපි කිව්ව කතාව කෙටියෙන් කලින්ම.

එහෙනම් ගිහින් එන්නම් ලබන සතියේ හම්බවෙමු ජයවේවා!