මේ සති අන්තයේ My Travel ගැන කතා කරන්න අපිත් සමඟ එකතු වන්නේ ඔබ අප කවුරුත් දන්නා ගායකයෙක්. ඒ තමයි නිලාන් හෙට්ටිආරච්චි.
නිලාන්.. ඉතින් මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
අවුරුදු දෙකකට විතර පෙර නැවතුණු මංගල උත්සව නැවත පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව රෑපවාහිනී වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා. ඒ වගේම මීට මාස තුනකට පෙර නිකුත් වුණු මගේ %ලෙලෙනා^ සින්දුව මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් බලලා තියෙනවා. ඔය දේවල් තමයි මේ දවස්වල තොරතුරු.
නිලාන්.. ඔබ Travel කරන්න කැමති කෙනෙක්ද?
අනිවාර්යයෙන්ම. මම ඒ දෙයට ගොඩක් කැමතියි.
ඔබ එය කුඩා කාලයේ සිට කරන දෙයක්ද? නැතිනම් මෑත කාලයේ සිට කරන දෙයක්ද?
මෙහෙමයි. කුඩා කාලයේ සිට Travel කළත් ඒ කාලයේ අපි සීමාවක් ඇතුළේ තමයි ඇවිදින එක කළේ. ජීවිතයේ ටික ටික ලොකු වෙන්න වෙන්න, ඒ කියන්නේ මට තනියම ගමනක් යන්න පුළුවන් වෙන කාලයේ තමයි Travel කියන දේ හොඳටම කරන්න පටන් ගත්තේ. දැන්නම් ඉතින් මම ලංකාවේ නොගියපු තැනක් නැති තරම්. මොකද ගොඩක් වෙලාවල්වලදි සංගීත ප්‍රසංග වැඩිපුර තියෙන්නේ කොළඹින් පිට. ඒ නිසා මම ගොඩක් වෙලාවට Travel කරන කෙනෙක්.
නිලාන්.. ඔබ Travel එකක් කරද්දි ඔබ කැමති ලොකු පිරිසක් සමඟ ඇවිදින්නද? නැතිනම් තනියම යන්නද?
මම කැමති මට සෙට්වෙන කට්ටියක් එක්ක ඇවිදින්න යන්නයි. හැබැයි මම කලිනුත් කීවා මම ගොඩක් වෙලාවට Travel කරන්නේ සංගීත ප්‍රසංගවලට සහභාගි වන අවස්ථාවලදි කියලා. ගොඩක් වෙලාවල්වලදි ඒ ප්‍රසංගවලට මම යන්නේ මගේම වාහනයේ. ඒ නිසා හතර දෙනෙකුට විතරයි වාහනයේ ඉඩ ප්‍රමාණය තියෙන්නෙ. ගොඩක් වෙලාවට මගේ යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා මාත් එක්ක ප්‍රසංගවලට යන. එයාලා තමයි තිවංක රුක්ෂාන්, අශාන් මහදුරගේ, ශේෂාන් හර්ෂ, නුවන් ක්‍රිෂාන්ත යන සෙට් එක. ඒ අය තමයි ගොඩක් වෙලාවට මාත් එක්ක Travel කරන්නෙ.
ඔබ කියන විදිහට ඔබ ගොඩක් තැන්වල ඇවිදපු කෙනෙක්. ඔබ ඒ ඇවිදපු තැන් අතරින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවද?
ඇත්තටම හිතට දැනිච්ච තැන් ගොඩක් තියෙනවා. මම කරපු හැම Travel එකකදීම සුන්දර මතකයන් තියෙනවා. නමුත් මෑතකදි මගේ යාළුවෝ සමඟ අපි ගියා ලෝකාන්තය බලන්න. ඒ ගමනට මම ගොඩක් ආසා කරනවා.
ඇයි ඔබ ඒ ගමනට එච්චර කැමති?
ඒ ගමන ගියෙත් මගේ ප්‍රසංගයක් සඳහා. ඒ ප්‍රසංගය තිබුණේ වැලිමඩ. දවස් දෙකක් තිබුණු ප්‍රසංගයක්. පළවෙනි දවසේ ප්‍රසංගය ඉවරවෙලා අපි පාන්දර පහට හයට විතර තමයි ලෝකාන්තය බලන්න ගියේ. උදේ පාන්දර අඹේවෙල හරියෙන් යනකොට තියෙන ලස්සන කියන්න තේරෙන්නෙ නෑ. අපි විතරයි හිටියේ. අපි දිව්වා, හයියෙන් කෑගැහුවා. මොකද කිසිම කෙනෙක් නැහැනේ ඒ පාන්දර. මට හිතෙන්නේ Travel එකක් කරනවානම් ඒ වෙලාව තමයි හොඳම වෙලාව. කලාකරුවෝ විදිහට අපි ලොකුවට නිදහස භුක්ති විඳින්න බැරි පිරිසක්. නමුත් මේ ගමනෙදි මම මගේ නිදහස උපරිම වින්ඳා. ඔය වගේ හේතු නිසා වෙන්න ඇති මම මේ ගමනට ආසා කරන්නේ.
වැලිමඩ ගිය ගමනේදි සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
ඔය ගමන යන්න පටන් ගත්තට පස්සෙ ටික දුරක් යනකොට අපි ගිය වාහනයේ සද්දයක් ඇහෙන්න ගත්තා. අපි කට්ටියටම පට්ට අවුල්. මොකද අලුත්ම වාහනයේ එහෙම වෙන්න බෑනෙ. දෙපාරක් තුන්පාරක් නවත්තලත් බැලුවා මොකක්ද ප්‍රශ්නය කියලා. ඒත් අපිට කිසිම දෙයක් හොයාගන්න බැරිවුණා. අපි හිතුවේ වාහනයේ රෝදයක් ගැලවිලා යන්න වගේ කියලා. කොහොම හරි වැලිමඩ හන්දිය ආසන්නයේ හොඳ එළියක් තිබුණා. මොකද අපි මේ ගමන ගියේ රාත්‍රියේ. කිසිම දෙයක් හරියට පේන්නෙත් නෑ. කොහොම හරි අර එළිය තිබුණු තැනට ගිහිල්ලා අපි වාහනය හොඳට පරීක්ෂා කළා. එතකොට තමයි දැක්කෙ ටයරයට පොල් හනසු කෑල්ලක් ගිහිල්ලා. ඒ හනසු කෑල්ල මඩ කවරයේ වදිනකොට එන සද්දයට තමයි අපි පැය දෙක තුනක් බයවෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මම හිතුවේ ප්‍රසංගයටත් යන්න බැරිවෙයි කියලා. ඒ තරමටම මම බයවෙලා හිටියේ. ඔය සිදුවීමනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. මාත් එක්ක අපි සෙට් එකේ ඉන්න ෂෙහාන් මල්ලි හරි විනෝදකාමී චරිතයක්. මිනිහා ඒ හනසු කෑල්ල අරගෙන ඒ හනසු කෑල්ලට බණිනවා, තෝ තමයි මිනිහෝ අපිව කෑවෙ කියලා. ඒ හනස්සට බැන්නෙ හරියට මිනිහෙකුට බණිනවා වගේ. ඊට පස්සෙ බැණලා බැණලා කන්දෙන් පහළට විසි කළා. මිනිහා හෙන ආතල් එකක් දුන්නේ. කොහොම හරි ඒ හනස්සට නමකුත් දැම්මා. මම ඒකනම් මතක නෑ. ඔන්න ඔය සිදුවීම තමයි ඒ ගමනෙදි සිදුවුණු අමතක නොවන සිදුවීම.
නිලාන්.. ඔබ කරපු විදෙස් සංචාරවලින් ඔබේ හිතට දැනුණේ මොන විදෙස් සංචාරයද?
මම විදෙස් සංචාර බොහොමයක් කරලා තියෙනවා. ඒ අතරින් මම වඩාත් කැමති යුරෝපා සංචාරයට. මොකද මම මාසයක් විතර ඒ සංචාරයේ යෙදුණා. රටවල් තුනකට විතර ගියා. වෙනම ආතල් එකක් තිබුණේ ඒ සංචාරයේදි.
ඔබ Travel කියන දේ දකින්නේ කොහොමද?
ඇත්තටම මම ඒ දේ දකින්නේ පුදුම මානසික සතුටක් ලැබෙන දෙයක් විදිහටයි. අපේ පවුලේ කට්ටියගේ පවා පුදුම ආසාවක් තියෙන්නේ Travel කියන දෙයට. පොඩි කාලයේ ඉඳන් පුදුම ආසා කරන දෙයක් තමයි Travel කියන්නෙ. මම හිතන්නේ Travel කියන්නේ මිනිහෙකුට සතුටින් ජීවත් වෙන්න අවශ්‍යම දෙයක්.
ඔබ කවදාවත් නොගිය නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවද?
මේ කොරෝනා ප්‍රශ්නවලට කලින් අපිට කැනඩාවට සහ අමෙරිකාවට සංගීත ප්‍රසංගයක් සඳහා යන්න අවස්ථාව ලැබිලා තිබුණා. නමුත් කොරෝනා ප්‍රශ්න නිසා ඒ ගමන අපිට මඟහැරුණා. කොහොම හරි ඒ සංචාරයට සහභාගි වෙන්න ආසාවෙන් ඉන්නෙ.
ඔබ වගේ Travel කරන හෝ ඇවිදින්න ආසාවෙන් ඉන්න අයට මොනවගේ පණිවුඩයක්ද දෙන්න තියෙන්නෙ?
ඇත්තටම මම කියන්නේ Travel එකක් කරනකොට අපේ ජීවිතය ආරක්ෂා වන විදිහට ඒ Travel එක කරන්න ඕනෙ. මම එහෙම කියන්නෙ සමහරු ඉන්නවා Travel එකක් ගියොත් කිසිම පරිස්සමක් නැතිව දකින දකින තැන නාන්න යනවා. ඒ වගේ කට්ටියට ආදරයෙන් කියන්නෙ මොන විදිහේ Travel එකක් කළත් අපි අපේ ජීවිතයට ආදරය ඇතිව තමයි කරන්න ඕනෙ කියලා.