පා සළඹකට ජීවිත කිහිපයකම ඉරණම තීන්දු කරන්න පුළුවන් වුණා... නිරපරාදේ අසාධාරණ විදිහට එක් මනුෂ්‍යයකුගේ ප්‍රාණය උදුරා ගන්න විතරක් නෙවෙයි ඒ හේතුව හින්දා මුළු දේශයකම මහල්ලන්, පති භක්තිය රකින පතිනියන්, දරුවන්, රෝගීන් ඇරෙන්න අනෙක් සියල්ලන්ම ගින්නෙන් දැවී මියැදුණා. ඇය සුරක්ෂා කළ පති භක්තියට පුළුවන් වුණා අයුක්තියෙන් ඔද්දල් වුණු පඬි රටම ගිනි තියන්න.
ඇගේ කතාව තමා පත්තිනි... පඬි රටම පති භක්තියේ අනුහසින් ගිනි තැබූ කන්නගී තමා පත්තිනි නමින් දේවත්වයට පත්වෙන්නේ.. පත්තිනි සිංහල චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ මේ පත්තිනි කතාව ප්‍රස්තුත කරගෙනයි... දේව කතා හුදු ප්‍රබන්ධ ලෙස කෙනෙක් බැහැර කරන්න පුළුවන්. එහෙත් එය එසේ වුවත් නොවුණාත් ඒ කතන්දර ඔස්සේ සමාජය වෙත සම්ප්‍රේෂණය කරන පණිවිඩයක් තියෙනවා.
කෝවලන් කියන සිටුවරයා මාධවී නම් එරට ප්‍රධාන නාටිකාංගනාව වෙත ගොස් කන්නගීට ජීවිතයේ කවදාවත් සමාව දිය නොහැකි ද්‍රෝහිකමක් කරනවා. අවසානයේ කෝවලන් සිටුතුමා තමාගේ සියලු ධනය පවා මාධවී වෙත දෙනවා. එහෙත් අවසානයේ කෝවලන් සිටුවරයාට සිදුවෙන්නේ මහා කලකිරීමක් එක්ක මාධවීගේ මන්දිරයෙන් පිටමං වෙන්න. ඒ වන විට ඔහු සතු කිසිවක් නෑ. තමන් වෙත කළ සියලු ද්‍රෝහිකම් විඳ දරාගෙන ඒ වෙද්දිත් ඔහු එන පෙර මං බලා සිටි කන්නගී දේවිය පමණයි අවසානයේ ඔහුට ඉතිරි වෙන්නේ. ධන සම්පත්, මුතු මැණික් නැති කල සියලු යාළු මිත්‍රයෝත් ඔහුගෙන් දුරස් වී ගිහින්. අවසානයේ තම හිමියාට වදනකින්, හිතුවිල්ලකින්වත් ද්‍රෝහි නොවී ස්නේහයෙන් ළඟ සිටි ඇය ඇගේ පා සළඹ ඔහුට දෙනවා ඔබ මෙය විකුණන්න, මුදල් රැගෙන ජීවත් වෙන්න මඟක් සලසා ගන්න කියලා. පා සළඹ දෙකම ඇය ඔහු වෙත දුන්නත් ඔහු එක් පා සළඹක් ඇය වෙතටම දෙනවා. ඔබේ පය සැරසූ මේ සළඹ තවත් ගැහැනියකගේ පාදයක් සරසනවා දකින්න මම කැමති නෑ. ඒ නිසා මම එක් පා සළඹක් පමණක් විකුණා සල්ලි ගන්නම්. එහෙම කියන කෝවලන් එම පා සළඹත් රුගෙන පඬි රටට යනවා. ඔහු පා සළඹ විකුණන්න යද්දි ඒ රටේ රජ බිසවගේ පා සළඹක් නැතිවෙලා. අවසානයේ කිසිදු වග විභාගයකින් තොරව නොකළ වරදකට වගඋත්තරකරු වී නොසිතූ නිමේෂයක මරණය වෙත යන්න ඔහුට සිදුවෙනවා. කන්නගී කුමක් හෝ අවසනාවක් සිදුව ඇතැයි සිතමින් ඔහු සොයා පඬි රටට එද්දි ඔහු ජීවිතය හැර ගිහින්. ඇයට ඒ ළසෝ දුක දරාගන්න බෑ. ඇය ඇගේ වම් පියයුර කඩා විසිකර මා විසින් සුරක්ෂා කළ පති භක්තිය සත්‍යයක්නම් මේ පඬි රට පතිවත සුරක්ෂා කරන්නන්, දරුවන්, රෝගීන්, මහල්ලන් හැර සියල්ලන් ගින්නෙන් පිළිස්සී මිය යත්වායි ශාප කරනවා. ඇගේ පති දහමේ අනුහසින් පඬි රට ගිනි ගන්නවා. අවසානයේ කෝවලන්ට දාව මාධවී බිහිකළ දියණිය බුදුන් සරණ ගිය උපාසිකාවක් ලෙස ඇය අබිමුවට පැමිණ ඇයට බුදු දහම ගැන කියා දෙනවා. කන්නගී බුදුන් සරණ යනවා. අවසානයේ ඇය මතු බුදුවන ප්‍රාර්ථනාව ඇති පත්තිනි දේවිය නමින් පත්තිනි දේව වරම් ලබනවා.
මේ කතාව ප්‍රස්තුත කරගෙන තමයි පත්තිනි සිනමා රූපකාරකය නිමවෙන්නේ.
කන්නගී අම්මා කෙනෙක් වෙන්නේවත් ඇගේ ළය ලෙය දරුවකු වෙනුවෙන් කිරි එරෙන්නෙ නෑ. එහෙත් පත්තිනි වරම් ලබන පත්තිනි දේවිය ආමන්ත්‍රණය ලබන්නේ පත්තිනි අම්මා නමින්. දරුවන් බාර කරමින් දරුවන් වෙනුවෙන් කිරිඅම්මා දානය දෙන්නෙ පත්තිනි අම්මාට. මව් පදවිය නොලද කන්නගී දේවත්වය තුළ සියලු දරුවන්ට අම්මා කෙනෙක් වෙන හැටි හරි පුදුමයි. ඒත් ඒ පුදුමය හරි සොඳුරුයි. පත්තිනියගේ ඇකයේ දරු සෙනෙහසට ඉඩ ලැබුණත් කන්නගීගේ ඇකයේ කවදාවත් දරුවෙක් සුරතල් වුණේ නෑ. එහෙත් පත්තිනි අම්මා යනු සැබෑ අම්මාවරුන් පිළිබඳව, සැබෑ පතිනියන් පිළිබඳව ජීවමාන සංකේතයක් ලෙසයි සලකන්නේ.
ඓතිහාසික පර් යේෂණ ලෙස යොදාගනිද්දි ඉතිහාසය තුළ අනුභූතික ලෙස යොදාගෙන විමසුමට ලක් කළ හැකි දේ බොහොමයි. සාහිත්‍ය, ඇදහිලි, විශ්වාස, ප්‍රතිමාන මේ සියල්ල සැබැවින්ම තියෙන්නේ සහේතුක පදනමක් වෙනුවට ප්‍රබන්ධ සහ නිර්මාණාත්මක පසුබිමක්. එහෙත් අතීතය පිළිබඳව ගවේෂණාත්මක විවරණයක යෙදෙද්දී පැහැදිලි වන එක් සත්‍යයක් නම් එම අතීත සංසිද්ධීන් වර්තමාන සන්දර්භය තුළ යළි ප්‍රතිජීවමාන කළ නොහැකි බවයි.
එහෙත් සිනමාව වේවා ගීතය, නවකතාව, සාහිත්‍ය වේවා මේ සියලු කලාවන් තුළදී ඒ අතීතයේ රස තැන් සොයා යන සොඳුරු ගවේෂකයන් ඉන්නවා. දේව පුරාණ සාහිත්‍යමය හා සිනමාරූපී මෙවලමක් බවට පත්වෙන්නේ ඒ යථාර්ථය තුළ. පත්තිනි කියන්නෙත් එසේ අතීතය සොයා ගිය ගමනක සොඳුරු නිමැවුමක්. ඒ සොඳුරු නිමැවුම තුළ සහ පත්තිනි සංකල්පය තුළ මට දැනෙන සොඳුරුම සත්තාව තමයි මවක් නොවූ කන්නගී පත්තිනිත්වය තුළ සියලු දරුවන්ට අම්මා වූ සොඳුරුතාව...
අම්මා කෙනෙක් වෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕන නෑ ඒ තමා අවසානයේ පත්තිනි දේවිය ලෝකයටම කියූ කතාව.