2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ඇයි ජීවිතය මිනිස්සුන්ට එහෙම නපුරුකම් කරන්නේ...

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

ජීවිතය කියන්නේ කවදාවත් කාටවත් නිශ්චිත නිර්වචනයක් නැති මහ අමුතු ලියවිල්ලක්. ඒ ලියවිල්ලේ අන්තිම පිටු අංකය සහ අවසානය අපි දන්නෙ නෑ කොයි විදිහට තීරණය වී තියෙනවාද කියලා.. ජීවිතය අපිට ආදරයෙන් දෙන දේවල්ම තවත් වෙලාවකට ජීවිතය අපෙන් උදුරා ගන්නවා. 

සමහරවිට ජීවිතය දෙන දේවල් පරිස්සම් කර ගන්න බැරි අහේතුව අපි ඒ දේවල් අපි විසින්ම නැති කර ගන්නවා. ජීවිතය කියන්නේ කොච්චර සැලසුම් කළත් හෙට කුමක් වේදැයි නිශ්චයක් නැති මහා අවිනිශ්චිතයක් කියලත් හිතෙනවා. ඒ කොහොම වුණත් ජීවිතය අත්හරින්න බෑ අපට.. යන්නම වෙනවා අවසානයක් මුණගැහෙන තෙක් ඒ ගමන. හෙට කෙසේදැයි නොදනිතත් හෙට දවස වෙනුවෙන් ජීවිතය අල්ලාගෙන ඉන්න වෙනවා අපිට නිසැකයෙන්ම.

The Dirty Picture සිනමා රෑපකාරකය තුළ කතා කරන්නේ ජීවිතයේ මහා වාසනාවක් සහ අවාසනාවක් ජීවිතයට තුරුළු කරගත් ගැහැනියක් පිළිබඳවය. මහා දුප්පත්කමත් සමඟ ජීවිතය ගෙවමින් සිටි ඇයට වාසනාව සමඟ පුදුමාකාර ජනප්‍රියත්වයක් හිමිවෙයි. ඒ ඇය නොසිතන මොහොතක ඇයට සිනමා නිළියක් ලෙස ඉන්දීය සිනමාවට අවතීර්ණ වෙන්නට ලද අවස්ථාවක් සමඟයි. බත් ටිකක් කන්නට හාල් ඇටයක් තරම්වත් නැති දුප්පත්කමත් එක්ක රස්තියාදුකාර කටකාර ගැහැනියක් ලෙස කල් යල් යවමින් සිටි ඇයගේ ජීවිතය වෙත පැමිණි ඒ වාසනාව වූ කලී ඇය කිසිදාක ඇයට හිමිවෙතැයි අපේක්ෂා නොකළ වාසනාවකි. ඇය ජනප්‍රියත්වයේ තුරුම්පුවටම යන විට ඇය එක් එක් කඩවසම් පිරිමින්ගේ තුරුල්ලටද යයි. ඇයට ආදරයක් අවැසි නැත. ආදරය යැයි සිතමින් ඇය සොයන්නේ කුමක්ද යන්න ඇයත් නොදනී. ජනප්‍රියත්වය ඇයට හිමි ඉල්ලුම මේ සියල්ල සමඟ ඇය ජීවත් වන්නේ ඇය විසින්ම නිර්මාණය කරගත් සොඳුරු මනෝමය ලෝකයකය.

එහෙත් යථාර්ථය එක් මොහොතක අත්විඳින්නට ඇය සිදුවෙයි. ඒ යථාර්ථය ඇය නොසිතන තරම් කටුකය. කළුවරය. ඇය ගෙවූ දුප්පත්ම දුප්පත් ජීවිතය තුළ ඇසිදිසි කළුවරටත් වඩා ඇය ජීවත් වූ සුරංගනා ලෝකයේ සිට සැබෑ ලෝකයට පා තබන විට ඇය විඳි අත්දැකීම කටුකය. සැබැවින්ම එය ඇයට ඔරොත්තු නොදෙන තරම් කටුක විය.

ඇය ඇය සමඟම අරගල කරන්නට පටන් ගන්නේ එවිටය. වරෙක ඇය ඇගේ තැන අත්පත් කරගත් සුන්දර ගමක නිළියන් කෙරේ මැඩගත නොහැකි ඊර්ෂ්‍යාවකින් පෙළෙයි. ඇගේ තුරුල්ලේ නැලවූ පිරිමින් ඒ තුරුල්ලෙන් තවත් තුරුල්ලකට යද්දී ඇය වියරු වැටුණු විලසින් හැසිරෙයි. එහෙත් ඒ සියල්ල හමුවේත් අවසානයේ ඇයට හිමි වූයේ පරාජයම පමණි. අවසානයේ ඇය ඇයටම දරාගත නොහැකි ලෙස වියරු වැටුණාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇයටත් ඇය අහිමි වීමය. බලය සහ ජනප්‍රියතාව මිනිසා කොතරම් දැඩි ලෙස මානසික අන්ධභාවයකට පත් කරන්නේ දැයි The Dirty Picture චිත්‍රපටය නරඹද්දී පසක් වෙයි.

අහම්බයෙන් මෙන් ඇගේ සිනමා ජීවිතය පටන් ගනිද්දී ඇයට වැටෙන නම සිල්ක්ය. සිල්ක් සිල්ක් රෙදි කඩක් සේම අවසානයේ සියල්ල අහිමිව දුහුල් ජීවිතයකට උරුමකම් කියන්නීය. ජීවිතය හැර යා යුතු යැයි යන සිතුවිල්ලම අවසානයේ ඇය පැමිණෙන්නේ ඒ අනුවය. ඇය ලියුමක් ලියා තබා ජීවිතයට සමුදෙයි. දහස් ගණන් මිනිසුන් සාරසුබාවට ජීවිතය අස්වැද්දී තිබූ කාලයේ ඇය වටා සිටියද අවසානයේ ඇයට කිසිවෙකුත්ම නැත. ඒ හුදෙකලාව දරාගෙනම ඇය අවසානයේ ජීවිතයට සමු දුන්නාය.

ඇයි ජීවිතය මිනිස්සුන්ට එහෙම නපුරුකම් කරන්නේ.. එය හැමදාමත් මිනිසුන් අසන එහෙත් කවදාවත් මිනිසුන් පිළිතුරක් නොලබන ප්‍රශ්නයක් පමණි.