කාලයත් එක්ක වෙනස් නොවෙන කිසිදු දෙයක් මේ ලෝකයේ නැහැ. මිනිස්සුත් කාලයත් එක්කම වෙනස් වෙනවා. ඒක බොලිවුඩයේ තරුවකට වුවත් අනිවාර් යෙන්ම සිදුවෙන දෙයක්. ඒත් කාලයත් එක්ක සමහර අය හිටියටත් වඩා ලස්සන වෙද්දී තවත් සමහර අය කාලයත් එක්ක වයසට ගිහින් හිටියට වඩා අවලස්සන වෙනවා. තවත් සමහරු කාලයකට කලින් හිටියට වඩා බෙහෙවින් වෙනස් වෙනවා. බොලිවුඩයේ සමහර නළු නිළියන් තමන්ගේ පළමු සිනමාපටයේ හිටියට වඩා හඳුනා ගැනීමට නොහැකි තරම් අද වන විට වෙනස්වෙලා තියෙනවා. අද මේ ලිපියෙන් අන්න ඒ වගේ නළු නිළියන් කිහිප දෙනෙක් ගැන තමයි ඔබට කියන්න හදන්නේ.
බොලිවුඩ් සිනමාවට පැමිණි කාලයේදී සමහර නළු නිළියන්ට එතරම් ආකර්ෂණීය පෙනුමක් තිබුණේ නැහැ කියලා ඔවුන්ම සමහර අවස්ථාවලදී කියා තියෙනවා. ඒත් කාලයත් එක්ක ඔවුන් තම පෙනුම බෙහෙවින් වෙනස් කර ගැනීමට කටයුතු කොට තියෙනවා. අද අපි මේ ලිපියෙන් කියන නළු නිළියන් ගැන ඔවුන්ගේ එදා සහ අද ඡායාරූප බලලා ඔබටම නිර්ණය කරන්න පුළුවන්.
ඔවුන් තමන්ගේ පෙනුම සුන්දර කරන්න ගොඩක් මහන්සි වී තියෙනවා. සමහර නළු නිළියන් කකා බිබී සාදවල වැඩි කාලයක් රැඳෙද්දී තමන්ගේ රුව හැඩට තියාගන්න උනන්දු වෙන නළු නිළියන් වැඩි කාලයක් ජිම්වල ගත කරමින් හෝ යෝගා අභ්‍යාසවල නිරත වෙමින් සහ තමන් කැමති ආහාර වර්ග තිබුණත් ආහාර පාලනය කරමින් ඉතාම වෙහෙස මහන්සියෙන් තමයි ඔවුන්ගේ පෙනුම සුන්දරව පවත්වාගෙන යන්නේ. ඒත් සමහර නළු නිළියන් තමන්ගේ රුව හැඩ කර ගැනීමට ප්ලාස්ටික් සැත්කම් පවා කරගෙන තියෙනවා කියන එක බොලිවුඩයට පෙම් බඳින ඔබට දැනටමත් රහසක් නොවන බව අපි දන්නවා.
1993 නොවැම්බර් 12 වැනිදා අබ්බාස් - මුස්තාන් අධ්‍යක්ෂණය කළ ගනේෂ් ජෛන් සහ චම්පක් ජෛන් විසින් නිෂ්පාදනය කළ බාසිගර් සිනමාපටය තිරගත වුණා. මේ සිනමාපටයෙහි ශාරුක් ඛාන්, කාජොල් ඇතුළු නළු නිළියන් කිහිප පොළක්ම චරිතවලට පණ පොවනවා. බාසිගර් සිනමාපටයෙහි සීමා චොප්රා කියන චරිතයට පණ පොවන්නේ ශිල්පා ශෙට්ටි. මේ සිනමාපටයෙන් තමයි ශිල්පා ශෙට්ටි බොලිවුඩ් සිනමාවට පය තබන්නේ. බාසිගර් එකේ දකින ශිල්පා ශෙට්ටි සහ අද ඔබ දකින ශිල්පා ශෙට්ටි අතර කොච්චර වෙනස්කම් තියෙනවද කියලා ඔබම ඇයගේ ඡායාරූප බලලා නිර්ණය කරන්න. ඇය නම් කියන්නේ තමන් යෝගා අභ්‍යාසවල නිරත වීමෙන් තමන්ගේ රුව හැඩට තියාගන්නවා කියලා. ඒත් ශල්‍යකර්මයකින් ඇයගේ පෙනුම ශිල්පා ශෙට්ටි වෙනස් කර ගත්තා කියලා ඉන්දීය මාධ්‍යනම් වාර්තා කොට තියෙනවා.
ආක්ෂය කුමාර් කියන්නේ බොලිවුඩ් සිනමාවේ අඩුම දින ගණනකින් සිනමාපට හදන කෙනෙක් විදියට තමයි දැනට ප‍්‍රසිද්ධවෙලා ඉන්නේ. ආක්ෂය කුමාර් සිනමාපටයක් හදන්න ගත කරන්නෙ දින 45ක් වගේ කාලයක්. ඒත් ආක්ෂය කුමාර් සිනමාවට පිවිසි අලුත ඔහුගේ සිනමාපට කිහිපයක්ම එක දිගටම අසාර්ථක වෙනවා. ආක්ෂය කුමාර් 1991 ජනවාරි 25 වෙනිදා රාජ් සිප්පි අධ්‍යක්ෂණය කළ සෞගන්ධ් කියන සිනමාපටයෙන් තමයි සිනමාවට පිවිසියේ. ආක්ෂය කුමාර් එක්ක එම සිනමාපටයෙහි ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශාන්තිප‍්‍රියා. ආක්ෂය කුමාර් තම පළමු සිනමාපටයට පෙනී සිටින කාලය වන විටත් කඩවසම් තරුණයෙක් වුණත් ඔහු අදටත් තම ශරීරයට අවශ්‍ය ව්‍යායාම කරන්න පටන් ගන්නේ උදේ පාන්දර හතරට කියලා කියනවා. ඒ වගේම ආක්ෂය කුමාර් රෑ 10 වෙනකොට නින්දට යන කෙනෙක් විදියටත් බොලිවුඩය තුළ හැමෝම දන්න කාරණයක්. ආරම්භයේදී ආක්ශය කුමාර්ගේ පෙනුමයි අද වන විට ඔහුගේ පෙනුමයි කොයි වගේද කියලා ඔබටම මේ ඡායාරූපවලින් බලාගන්න පුළුවන්.
සායිෆ් අලී ඛාන් කිව්ව ගමන් හින්දි සිනමාවට පෙම් බඳින කිසිවෙක් ඔහු ගැන නොදැන ඉන්න විදියක් නැහැ. මොකද අවුරුදු 50 පැන්නත් සායිෆ් අලී ඛාන් අදටත් හැසිරෙන්නේ නව යොවුන් වියේ පසුවෙන්නෙක් විදියටයි. හින්දි සිනමාවේ ජනප‍්‍රිය නිළියක් වන කරීනා කපූර් ඛාන් එක්ක දැනට විවාහවෙලා සිටින සායිෆ් කරීනට කලින් විවාහවෙලා සිටියේ අම්රිතා සිං එක්ක. අම්රිතා සහ සායිෆ්ගේ දියණිය තමයි සාරා අලී ඛාන් කියන්නේ කියන එක අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නැති වුණත් සායිෆ් ගැන කියද්දී ඇය ගැනත් සඳහන් නොකරම බැහැ. ඒ වගේම ජනප‍්‍රිය නිළියක් වුණු ශර්මිලා තාගෝර් තමයි සායිෆ්ගේ මව. 1993 වසරේදී යාශ් චොප්රා අධ්‍යක්ෂණය කළ පරම්පරා සිනමාපටයෙන් හින්දි සිනමාවට පා තබන සායිෆ් අලී ඛාන් පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලද නළුවෙක්. ඔහුගේ පළමු සිනමාපටයෙහි පෙනුමත් මේ වන විට පෙනුමත් කොච්චර වෙනස් වෙලාද කියන එක ඔබම ඡායාරෑප බලලා නිර්ණය කරන එක තමයි වඩාත්ම සුදුසු.
කිං ඛාන් කිව්ව ගමන් ශාරුක් ඛාන් ගැන තමයි කියන්න හදන්නේ කියලා බොලිවුඩයට හිතැති ඕනම කෙනෙක් දන්නවා. ගිය සතියේ නොවැම්බර් 02 වැනිදා ශාරුක් ඛාන් තම 56 වැනි උපන් දිනය සැමරුවා. පද්ම ශ්‍රී සම්මානය ඇතුළු සම්මාන රාශියක් තමන්ගේ නමට වෙන් කරගෙන සිටින ශාරුක් ඛාන් දීවානා සිනමාපටයෙහි ඔහුගේ ප‍්‍රථම රංගනය ඉදිරිපත් කරද්දී පෙනුම සහ අද වන විට ඔහුගේ පෙනුම අතර කොතරම් වෙනස්කමක් තියෙනවද? ඒ කාලේ ඔහුගේ කොණ්ඩා මෝස්තරයේ සිට ඔහු වෙනස් වූ තරම් ඔබ ඔහුගේ ඡායාරෑප නරඹා නිර්ණය කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.
බබීතා සහ රන්ධීර් කපූර්ගේ වැඩිමහල් දියණිය ලෙසින් සහ කරීනා කපූර්ගේ වැඩිමහල් සහෝදරිය ලෙසින් ඉපදුණු කරිස්මා කපූර් 1991 වසරේ පේ‍්‍රම් ක්වාදී සිනමාපටයෙන් බොලිවුඩ් සිනමාවට පැමිණි අතර කරිස්මා කපූර් දැක්ක කිසිවෙක් ඇය බොලිවුඩ් සිනමාවේ මෙතරම් දුරක් ඒවියැයි සිතුවේ නැහැ. ඇය මුලින්ම සිනමාවට පැමිණි කාලයේ කොණ්ඩා මෝස්තරයේ සිට ඇහිබැම දක්වා කිසිවක් නොගැලපුණු අතර ඇය පසුව වඩාත් හැඩකාර නිළිය ලෙසින් ප‍්‍රසිද්ධියට පත්විය.
කරිස්මා කපූර්ට වඩා කරීනා කපූර් බොලිවුඩ් සිනමාවට පා තබන විටත් හැඩට හිටිය කෙනෙක් කියන එක ඇයගේ ඡායාරූප දැක්කම පේන්න තියෙන දෙයක්. ඇය සිරුර මනාව පවත්වාගෙන යන අයෙක් වූ අතර වඩාත්ම ආකර්ෂණීය නිළියක් විදියට ඇය අදටත් තම සිරුර මනාව පවත්වාගෙන යන නිළියක්. කරීනා කපූර් ඛාන් 2000 වසරේදී තිරගත වූ රිෆියුජි සිනමාපටයෙන් හින්දි සිනමාවට පා තැබූ අතර ඇය රංගනයෙන් දායක වූ සෑම සිනමාපටයක්ම වාගේ අති සාර්ථක සිනමාට බවට පත්වුණු බව නොරහසක්. ඒත් කරීනා හින්දි සිනමාවට පිවිසෙන විට ටිකක් තරබාරු අයෙක් වූ අතර අද වන විට ඇය සිහින් සිරුරක් බවට තම සිරුර පවත්වාගෙන යන බව ඇයගේ ඡායාරෑප නරඹා ඔබටම නිර්ණය කරන්න පුළුවන්.
ශෝමු මුඛර්ජී සහ ජනප‍්‍රිය හින්දී සිනමා නිළියක් වුණු තනූජාගේ දියණිය වන කාජොල් ඇයට වයස 17 වන විට 1992 දී බේඛුදී හි තම මව සමඟම පෙනී සිටින අතර ඇය මුල් කාලයේ ආකර්ෂණීය නොවන නිළියක් ලෙසින් සම්මාන උළෙල සහ සිනමාපටවල පෙනී සිටියද අද වන විට කොතරම් වෙනස්වෙලා තියෙනවද කියන එක ඇයගේ ඡායාරූප දැක්කම හිතාගන්න පුළුවන් වෙනවා.
දබංග් ඛාන් ලෙසින් හඳුන්වන හින්දී සිනමාවේ වීරයෙක් බවට පත්වූ සල්මාන් ඛාන් මෛනේ ප්‍යාර් කියා සිනමාපටයෙන් තිරයේ අති දක්ෂ ආදරවන්තයෙක් බවට පත්වූ අතර ඔහු එදා පටන් අද වන තෙක් තම සිරුර මනාව පවත්වාගෙන යමින් හින්දි සිනමාවේ නිල නොලත් රජුන් බවට පත්ව සිටිනවා.
ප‍්‍රියංකා චොප්රා ලෝක රූ රැජනියක් (2000 වසරේදී) බවට පත්ව සිනමාවට ප‍්‍රවිශ්ට වන විට දේශීය කෙල්ල ලෙසින් ප‍්‍රසිද්ධියට පත්වූ අතර ඇයගේ මුල්ම සිනමාපටය දමිළ (2002 තෛමිෂාන්) එකක් බව දන්නේ ඉතාම අල්ප ප‍්‍රමාණයක් පමණි. ඉන් අනතුරුව ඇය තම ප‍්‍රථම හින්දි සිනමාපටය ලෙසින් රංගනයෙන් දායක වූයේ අබ්බාස් - මුස්තාන්ගේ හම‍්‍රාස් සිනමාටයෙනි. ඇය ප්ලාස්ටික් සැත්කම්වලින් පවා තම රුව හැඩ කරගෙන ඇති බව බොලිවුඩයේ සමහර මාධ්‍යවල සඳහන් කරුණකි. ඇය සිනමාවට පිවිසි කාලය සහ අද වන විට කෙතරම් රුවෙන් හැඩ වී ඇත්දැයි ඇයගේ මුල් කාලයේ සහ අද ඡායාරෑප නැරඹීමෙන් ඔබටම නිර්ණය කර ගැනීමට හැකිය.
1988 අප්‍රේල් 29 තිරගත වූ මන්සූර් ඛාන් අධ්‍යක්ෂණය කළ නසීර් හුසේන් නිෂ්පාදනය කළ සුන්දර ආදර කතාවක් රැගත් අමිහිරි ලෙසින් අවසන් වන සිනමාපටයක් වූ ක්‍යාමත් සේ ක්‍යාමත් තක් සිනමාපටයෙහි ප‍්‍රධාන චරිතයන්ට පණ පෙව්වේ ආමීර් ඛාන් සහ ජුහී චාව්ලා විසිනුයි. මිස්ටර් පර්ෆෙක්ට් ලෙසින් හඳුන්වන ආමීර් ඛාන් විවාහ දෙකකින් මේ වන විට දික්කසාද වෙලා හිටියත් ඔහුගේ පෙනුම අදටත් තරුණයෙක් වගේමයි. ඒත් ආමීර්ට මේ වන විට වයස අවුරුදු 56ක් වුවද ඔහු සිනමාවට පිවිසි කාලයේ සහ දැන් ඔහුගේ පෙනුමේ වෙනස ඔබම නිර්ණය කරන්න.