2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

මගේ හීනෙ පැරීසිය

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 256

මේ සති අන්තයේ My Travel ගැන කතා කරන්න අපත් සමඟ එකතු වන්නේ මේ දිනවල විකාශනය වන නාඩගම්කාරයෝ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ගීතිකාට රඟපාන  ප්‍රවීනා දිසානායකයි. 

ප්‍රවීනා.. මොනවද මේ දවස්වල තොරතුරු?

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ වැඩ කරගෙන යනවා. ඊට අමතරව Interනැෂනල් - 2 ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා.

ප්‍රවීනා.. ඔබ Travel කියන දේට ආසා කරන කෙනෙක්ද?

ඔව්. මම Travel කරන්න ගොඩක් ආසා කෙනෙක්. විවේකයක් ලැබුණොත් සෑම වෙලාවකම මම ගෙදර කට්ටියත් එක්ක හරි යාළුවොත් එක්ක හරි කොහේ හරි ඇවිදින්න යනවා. හැබැයි දැන් රටේ පවතින කොරෝනා ප්‍රශ්නත් එක්ක මෑතකදි නම් කොහෙවත් යන්න බැරි වුණා. 

ඔබ Travel කියන දේ විනෝදාංශයක් විදිහට කරන කෙනෙක්ද?

පොඩි කාලේ ඉඳන් ගොඩක් වෙලාවට විවේකයක් ලැබු‍ණොත් ගෙදර කට්ටියත් එක්ක ඇවිදින්න යනවා. නමුත් විනෝදාංශයක් විදිහට Travel කරන්න පටන් ගත්තෙ මෑතකදීයි. 

ඔබ ඇවිදින්න යන්න වඩාත් කැමති කාත් සමඟද?

මෙහෙමයි. මම යාළුවොත් එක්කත් ඇවිදින්න යනවා. ඒ වගේම ගෙදර කට්ටිය එක්ක යන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට Travel එකක් කරන්නෙ පවුලෙ අය සමඟයි. 

යාළුවොත් සමඟයි පවුලේ කට්ටියත් එක්කයි Travel කරන එකේ දැනෙන වෙනස කොහොමද?

ඒක අත්දැකීම් දෙකක්. ඒ දෙකටම මම හරි කැමතියි. ඒ දෙක හරි විනෝදයි. ඒ නිසා මම ඒ දෙවිදිහටම කැමතියි. විශේෂයක් නැහැ.

මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබගේ හිතට දැනිච්චම ගමන කුමක්ද?

අවසානයට ගිය නුවරඑළිය ගමනට මම ගොඩක් කැමතියි. ඒ වගේම මම මුහුද ආශ්‍රිත ප්‍රදේශවලත් Travel කරන්න කැමතියි.

ඇයි නුවරඑළිය ගමනට එච්චරම කැමති?

කොරෝනා ප්‍රශ්නත් එක්ක එක තැන හිරවෙලා ඉඳලා පොඩි නිදහසක් ලැබුණු වෙලාවෙ ගිය ගමන සහ නුවරඑළියේ දේශගුණය, පරිසරය සහ පවුලේ අයත් සමඟ ගියපු නිසා ඒ ගමනට මම ගොඩක් කැමතියි.

ඔබ ගිය නුවරඑළිය ගමනෙදි සිදුවූ අමතක නොවන සිදුවීම් ඇතිනෙ?

එක හේතුවක් තමා උදේ පාන්දර නුවරඑළියේ තියෙන දේශගුණය. මීදුමත් එක්ක ඇති පරිසරය මාරම ලස්සනයි. ඒ වගේම අමතක නොවනම සිදුවීම තමයි අපි නැවතුණු නවාතැනට ලස්සනට දුම්රිය ගමන් කරන දර්ශනය පෙනවා . අන්න ඒ සිදුවීමත් මාරම ලස්සනයි. ඒ හේතු තමයි ඒ ගමනෙ සිදුවුණු අමතක නොවන සිදුවීම්. 

නුවරඑළිය වගේ ගමනක් යාමට පෙර කොහොමද ඒ ගමන සැලසුම් කරන්නෙ?

ගොඩක් වෙලාවට ගමනක් යනකොට ඒ ගමන සැලසුම් කරන්නෙ ගෙදර කට්ටියයි. ඒත් ලොකුවට දවස් ගණන් නම් සැලසුම් කරන්නෙ නෑ. විවේකයක් හම්බවුණු ගමන් යමු කියලා තමයි කතා වෙන්නෙ. 

ඔබ දැනට කරපු විදෙස් සංචාරවලින් ඔබේ හිතට දැනුණු සංචාරය මොකක්ද?

මම දැනට ඉන්දියාවට විතරයි ගිහිල්ලා තියෙන්නෙ. ඒ ගමන ගියෙත් අපේ නැටුම් කණ්ඩායමත් සමඟයි. අපි මාසයක් විතර එහෙ හිටියා. ගොඩක් තැන්වල ඇවිද්දා. ලස්සන ලස්සන තැනුත් ගොඩක් බැලුවා. ඒ වගේම මම ගෙදරින් පිට තනියම හිටපු පළවෙනිම අවස්ථාවයි. ඒ ගමනෙන් මගේ ජීවිතයට ගොඩක් අත්දැකීම් ලැබුණා. මම ඉදිරියෙදිත් විදෙස් සංචාරවලට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ප්‍රවීනා.. ඔබ Travel කියන දේ දකින්නෙ මොන විදිහටද?

Travel කියන දේ මම දකින්නෙ අපිට කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් ඈත්වෙලා පවුලේ අයත් සමඟ සහ යාළුවොත් සමඟ ඉන්න ලැබෙන හොඳම අවස්ථාවක් ලෙසයි. ඒ වගේම ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න සහ විවිධ අත්දැකීම් ලබාගන්නත් හොඳම දේ තමයි Travel කියන්නෙ. 

ඔබ කවදාවත් නොගියපු නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවද?

මම මාරම ආසයි පැරිස් යන්න. 

ඒකට හේතුවක් තියෙනවද?

පොඩි කාලෙ ඉඳලම මම ඡායාරූපවලින් වීඩියෝවලින් පැරිසිය දැකලා තියෙනවා. ඒ දැකපු ලස්සන ඇත්තටම දැකගන්න මට මාර ආසාවක් තියෙනවා. ඒ නිසා මම කවදා හෝ පැරිස් යන්න තමයි ආසාවෙන් ඉන්නෙ. 

ප්‍රවීනා.. ඔබ වගේ Travel කරන සහ කරන්න ඉන්න අයට ඔබ මොන වගේ අවවාදයක්ද දෙන්නෙ?

මට දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි අපි කොහෙ හරි තැනක Travel කරනවා නම් ඒ තැන අපි විඳිනවා වගේම තවත් කෙනෙකුට විඳින්න සහ බලන්න පුළුවන් ආකාරයට ඒ තැන ආරක්ෂා කරන්න කියලයි.