2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ආතල් මවන පාටි....!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 196

ඔන්න මචෝ අද අපි අරගෙන ආවේ වසංගතේ නිසා දියවෙලා ගියපු ඒත් මේ දවස්වල ආයෙත් ඔලුව උස්සන Y Trend එකක්. කතා දෙකක් නෑ මේ ට්‍රෙන්ඩ් එක නම් එච්චර හොඳ එකක් නෙවෙයි වස්තු. අපි කලිනුත් මේ ගැන පොඩ්ඩ පොඩ්ඩ කතා කරලා තියෙනවා. ඔන්න එහෙනම් අද කතාව Beach Party, Face Book Party සංස්කෘතියේ අලුත්ම වර්ෂන් එක ගැන.

අපේ බ්‍රෝලා සිස්ලා එකෙන්ම දන්නවා Night Club ගැන Beach Party, Face Book Party, Fill Party වගේ සීන් ගැන. කොවිඩ් වසංගතයට කලින් රටේ ගොඩක් දෙනෙක් කිව්වේ මේ පාටි කියලා කියන්නෙත් වසංගතයක් කියලා. මුලදී නම් මචෝ මේක පටන් ගත්තෙ බස්නාහිර පළාතේ වෙරළකරෙන්. පස්සෙන් පහු මේක රටේ මැදටම ගියා. සුදාලාට මතක ඇති පහුගිය කාලේ මේ පාටි වැටලීම් සම්බන්ධව පලවෙච්ච news. මේ පාටි නිසා සමහර තැන්වල අපේ තරුණයන්ගේ ජීවිත අහිමි වුණා. ඒත් වැඩේ නවතින පාටක් තිබ්බෙ නෑ. ඔන්න ඒ අස්සෙ තමයි කොවිඩ් වසංගතය ආවේ. සරලවම කියනවා නම් පාටි වසංගතය යටගියේ කොවිඩ් වසංගතය නිසා.

සුදාලාට මතක ඇති මේ වලට මුලින්ම අපේ රටේ මිනිස්සු කිව්වේ Facebook party කියලා. ඒකට හේතු වුණේ මේ පාටිවලට සෙනඟ එකතු කරන වැඩේ වගේම, ටිකට් විකුණන වැඩේත් ෆේස්බුක් එක හරහා මුලදී සිද්ධ වීම. ඒත් ආරම්භ එහෙම වුණාට පාටි කල්චර් එක අපේ රටේ නිර්මාණය වුණාට පස්සේ තවදුරටත් කවුරුන් ෆේස්බුක් එකෙන් පාටි ඕගනයිස් කරේ නෑ. හැබැයි මචෝ ඒක අපේ රටේ සාමාන්‍ය මහජනතාවගෙන් ගොඩක් දෙනෙක් හරියට දන්නෙත් නෑ. ලංකාවේ පාටි සංස්කෘතිය ඇතිවුණා. ඒක වෙනම උප සංස්කෘතියක් මචෝ.

මේ පාටි සීන් එකේ මූලික අංග දෙකයි තිබ්බේ. පළවෙනි එක music. පාටියක සංගීතය කියලා කිව්වම අපේ අයට නම් මතක් වෙන්නෙ ගායකයෙක් සින්දු කියලා බෑන්ඩ් එකක් ගහලා කොල්ලො කෙල්ලො ඩාන්ස් පාරක් දාලා ආතල් එකක් ගන්න එක. හැබැයි වස්තුවේ මේක ඒ වගේ එකක් නෙවෙයි. DJ කෙනෙක් music track තමයි මෙතැනදී කට්ටියට අහන්න දෙන්නෙ. Techno music, House music එතකොට මන්ත්‍ර වගේ ඩිජිටල් සංගීතය තමයි පාටි සංස්කෘතිය ඇතුළේ භාවිතා කරන්නේ. 
අපි මේ music ගැන කාලෙකට කලින් පොඩ්ඩක් විස්තර කියල තියෙනවා. අඳුර වගේම පාට පාට ලයිටුත් මේ වැඩේට අතිශය වැදගත් වෙලා තිබුණා. වෙලාවක in detail පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න මචෝ මේ පාටිවල අත්‍යවශ්‍යම අංගයක් තමා music.

දෙවැනියට මේ පාටිවල නැතුවම බැරි වුණු දේ තමයි මත්ද්‍රව්‍ය. ඔන්න ඔතනදී තමයි අපේ කතාව ටිකක් භයානක වෙන්නේ සහෝලා. මත්ද්‍රව්‍ය කියලා කිව්වම ඔය අරක්කු, විස්කි, බියර් වගේ දේවල් නෙවෙයි. Tablet, Stamps එතකොට අෂ්, කුෂ් වගේ මත්ද්‍රව්‍ය තමයි මේ වගේ පාටිවලදී භාවිතයට ආවේ. විශේෂයෙන්ම Fill දානවා කියලා තමයි මේ සංස්කෘතිය අය මත්ද්‍රව්‍ය ගැන කතා කළේ. පාටි සංස්කෘතිය නිසා රටේ තරුණ පරම්පරාවෙන් සැලකිය යුතු පිරිසක් මේ මත්ද්‍රව්‍යවලට යොමු වුණා. නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා ආතල් එකක් ගන්න බැරි කෙල්ලො කොල්ලො තැන තැන සංවිධානය වන පාටිවල ගොදුරු වුණා.

පාටි සංස්කෘතිය අලගිය තැන් මුලගිය තැන් අපි කලින් කතාකරලා තියෙන නිසා අද කතා කරන්නේ නෑ මචෝ. කොහොම හරි මේ පාටිවලට පොලිසියෙන් වැට බඳින්න පටන් ගත්තම. ඒ කාලේ තවත් සීන් එකක් පටන් ගත්තා. ඒ තමා private party. උපන්දිනයක් නැත්නම් වෙන මොනවා හරි උත්සවයක් පදනම් කරගෙන ගෙදරක තමයි මේ පාටි සංවිධානය වුණේ. ඒත් ඒකෙ වැඩ කිඩ ටික සිද්ධවෙන්නේ අර මුලින් කිව්ව පාටිවල විදිහටමයි. සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබුණ නිසා කට්ටිය මේ වගේ තැන් හොය හොයා යන්න පටන් අරගෙන තිබුණේ.

ඒ අස්සෙ කොවිඩ් වසංගතයේ එනකොට තුන් හතර දෙනෙක් එකතුවෙලා අරක්කු බෝතලයක් බොනවා වගේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා party පාටි සංවිධානය වෙන්න පටන් අරගෙන තිබුණා. Stamp හරි ටැබ්ලට් හරි කටේ දාගෙන බ්ලූටූත් බෆල් එකකින් music අහගෙන කාගෙ හරි ගෙදරක පාළු තැනක වැටිලා ඉන්නවා. පුටුවේ ඉඳන් නටනවා. නැත්තං ඔලුව වන වන ඉන්නවා. ඇයි බැරිනං නැගිටලා තනියම හරි නටනවා. සිරාවට මචෝ මේක වෙනම සීන් එකක්. හැබැයි වැඩේ පටන් ගත්ත තැනම නැවතුනේ වසංගතයේ හින්දා.

ඒත් වසංගත සමයේ පනවපු සංචරණ සීමා එහෙම පහුගිය කාලේ ලිහිල් වෙද්දී ඔන්න ආයෙම වැඩේ පටන් අරගෙන. තැන තැන ලාවට පාටි කෑලි දෙක තුන සංවිධානය වෙනවා. Private party නං ගොඩක් තැන්වල තියෙනවා. ඇත්තම කතාව ලොකු ලොකු අයගේ අවධානයක් දැන් ගිලිහිලා තියෙන්නෙ සීන් එක ගැන. ඒ මදිවට මේ සංස්කෘතියේ ඊළඟ පරිවර්තනය මේ වෙද්දී සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට තහවුරු කරන්න පුළුවන් මචෝ. මේ ටික තමා වැදගත්ම. වගකිවයුත්තෝ දන්නවද නැද්ද කියලා නම් අපි දන්නෙ නෑ. මේක තමයි new version එක.

Tablet, Stamps එතකොට අෂ්, කුෂ් වගේ මත්ද්‍රව්‍ය පාටි සංස්කෘතිය හරහා භාවිතාවට ආව කියලා අපි කිව්වානේ. පාටි නැතිවීමත් එක්ක මේවා භාවිතා කරන කට්ටිය වෙන වෙන විකල්ප හොයන්න පටන් ගත්තා. මේ වෙද්දී මේ කෙල්ලො කොල්ලන්ගෙ අංක එකේ විකල්පය වෙලා තියෙන්නෙ අයිස් කියන මත්ද්‍රව්‍ය. අයිස් ගැන වෙනම දවසක පැහැදිලි කරන්නම්. පරලොවටම කිව්වොත් ලෝකේ මේ වෙද්දී භාවිතයේ තියෙන අතිශය භයානකම මත්ද්‍රව්‍යයක් තමයි අයිස් කියලා කියන්නේ. පාටි බැහැපු උන් තැන් තැන්වල දැන් අයිස් ගහනවා.

Music නෑ Dancing නෑ පාට පාට ලස්සන ලයිට් නෑ. අන්තිමට ඉතුරු වුණේ මත විතරයි. Y Trend වගේ ආතල් සීන් කෝන් එකක් ලියලා. අපි නිකං බලධාරීන්ගේ නිලධාරීන්ගේ අවධානය දිනාගන්න පුළුවන් වෙයි කියලා කියලා නං හිතන්නෑ සුදෝ. ඒත් මේක තමා සිරා කතාව. භයානක Y Trend එකක්. ලස්සන දවටනවල ඔතලා ගේන භයානක Trend අවසානය මේක තමයි. එහෙනම් කවුරු කවුරුත් පරිස්සමින් ඉන්න. අදට ඇති.